ලොව පහලවූ ශාස්තෘවරුන් අතරින් පුද්ගලයාගේ දුක, සන්තාපය නිවා දැමීමට උත්සාහ කළ නිසා බුදුරජාණන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූහ. උන්වහන්සේ පුද්ගලයාගේ කායික මානසික රෝගයන් සඳහා ප්‍රතිකාර ක්‍රම පෙන්වා දී ඇත. මධ්‍යම ප්‍රතිපදාව තුළින් පුද්ගලයාගේ ශාරීරික හා මානසික යන දෙඅංශයටම වැළඳෙන රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා උපදෙස් ලබා දුන්හ.
“ආරෝග්‍යා පරමා ලාභා” නිරෝගිකම උත්කෘෂ්ටතම ලාභය ලෙස පෙන්වා දී ඇත.
“අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේදී පුද්ගලයකුට වැළඳෙන රෝගාබාධ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වා ඇත.
- කායික රෝග
- මානසික රෝග
කායික රෝගවලින් වැළකී අවුරුදු කිහිපයක් හෝ අවුරුදු සියයක් වුවත් නිරෝගීව ජීවත් විය හැකිය. බක්කුල මහ රහතන් වහන්සේ එබඳු වාසනා ගුණ තිබූ උතුමෙකි. නමුත් මානසික රෝගවලින් එක මොහොතක් හෝ පීඩා නොවිඳ සිටින අය අතරින් රහතන් වහන්සේලා හැර වෙන කෙනෙක් සොයාගැනීම දුෂ්කරය. පුද්ගලයා අසහනකාරී තත්ත්වයන්ට පත්වන මානසික රෝග 1510 ක් පමණ ඇති බව ධර්මයේ සඳහන් වේ. මෙම සියලු රෝග නිදානයන්ට බෙහෙත් කළ හැකි බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
පුද්ගලයා තුල වාතය, පිත, සෙම කිපීම යන රෝග දෝෂයන් නිසා කායික රෝග හටගනී. මෙම දොස් කිපීමෙන් ඇතිවන කායික රෝගයන්ගෙන් පුද්ගලයා නිදහස් වුවද මානසික රෝගයන්ගෙන් පුහුදුන් පුද්ගලයාට නිදහස් විය නොහැක. කායික නිරෝගීකම නිසා පුද්ගලයා තුළ ආරෝග්‍ය මදය ඇතිවේ. එනම් පුද්ගලයාට ඇතිවන සාගින්න, පිපාසය ආදි රෝගයන්ය. එසේම ශරීරයේ දහදිය, කෙළ, සෙම, සොටු, මළ මූත්‍රා ගැලීම් ආදිය ද රෝගයන්ය. මේ අයුරින් බලනවිට ස්ථිර වශයෙන්ම රෝග නොවැළඳෙන ශරීරයන් දැකිය නොහැකිය. ධර්මයෙන් ඈත්ව වසන පුද්ගලයා නිතර රෝගවලින් පෙළෙන පුද්ගලයා දැක තමන් නිරෝගි යැයි සිතා රෝගවලින් පෙළෙන පුද්ගලයා පහත්කොට පිළිකුල් කරමින් තමන් නිරෝග යැයි තමන් උසස්කොට මානය ඇතිකර ගනියි. මෙය දියුණුවීමෙන් පුද්ගලයා තුළ ආරෝග්‍ය මදය ඇතිවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. ආරෝග්‍ය මදය මෙලොව පරලොව සැප නසන පාපයට පුද්ගලයා යොමු කරවයි.
‘ගිරිමානන්ද සූත්‍රයේදී” පුද්ගලයන්ට කායිකව වැළඳෙන රෝග 48 ක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඒවා නම්,
- ඇසෙහි හටගන්නා රෝග, 2. කනෙහි හටගන්නා රෝග, 3. නාසයෙහි හටගන්නා රෝග, 4. දිවෙහි හටගන්නා රෝග, 5. කයෙහි හටගන්නා රෝග, 6. හිසෙහි හටගන්නා රෝග, 7. පිටකොන්දෙහි හටගන්නා රෝග, 8. මුවෙහි හටගන්නා රෝග, 9. දත්වල හටගන්නා රෝග, 10. කැස්ස, 11. ඇදුම, රෝගය 12. පීනස් රෝගය, 13. ශරීරයේ දාහය, 14. ජරාවට පත්වීම, 15. උදරයේ හටගන්නා රෝග, 16. සිහිමුර්ජාවීම, 17. ලේ අතීසාර රෝගය, 18. සුළු වාත රෝග, 19. මහා අතීසාරය, 20. කුෂ්ඨ රෝග, 21. ගණ්ඩ රෝග, 22. ඕජස් ගලන රෝග, 23. ක්ෂය රෝග, 24. අපස්මාරය, 25. දද රෝග, 26. කැසීම් රෝග, 27. සුළු කැසීම් රෝග, 28. නියෙන් සීරුණු තැන හටගන්නා රෝග, 29. මහා කැසීම් (පණු හොරි රෝගය), 30. ලේ පිත් රෝග, 31. දියවැඩියා රෝගය, 32. අංශභාග රෝගය, 33. පිළිකා රෝගය, 34. මල මුත්‍රා මාර්ග අතර හටගන්නා වූ ගෙඩි, 35. පිත කරණකොට හටගන්නා රෝග, 36. සෙම කරණකොට හටගන්නා රෝග, 37. වාතය කරණකොට හටගන්නා රෝග, 38. තුන්දොස් කිපීමෙන් හටගන්නා රෝග, 39. සෘතු විපර්යාසයන් හටගන්නා රෝග, 40. විෂම හැසිරීමෙන් හටගන්නා රෝග, 41. වධ බන්ධනාදී පරෝපක්‍රමයෙන් හටගන්නා රෝග, 42. කර්ම විපාකයෙන් හටගන්නා රෝග, 43. සීතල නිසා හටගන්නා රෝග, 44. උෂ්ණයෙන් හටගන්නා රෝග, 45. සාගින්න, 46. පිපාසය, 47. මලපහ කිරීමේ ආබාධ, 48. මුත්‍රා පහ කිරීමේ ආබාධ.
ඉතිරි කොටස ලබන සතියට…
දඩල්ල, වාලුකාරාම වෙහෙර වැසි,
ශාස්ත්‍රපති රත්ගම සුනීත නාහිමි