සතියක් තිස්සේ කොවිඩ් එක්ක හැප්පුණු මිනිස්සු

234

මුළු ලොවම දැන් වසර දෙකක් තිස්සේ ජීවත් වන්නේ කොවිඞ් 19 වෛරසය සහ ඉන් බිඳී ඇතිවන සෙසු වෛරස ප‍්‍රභේද සමගය. ජාත්‍යන්තරයේ රටවල් අතරත්, ලංකාවේ පළාත් සහ ප‍්‍රදේශ අතරත් මිනිස් සම්බන්ධතාවය අන්තර්ජාල සම්බන්ධතාවයකට සහ දුරකතන සංවාදවලට කොටු කරමින් මනුස්සකමත් අමනුස්සකමත් යහමින් මතුකරමින් දැන් සියල්ලෝම ජීවත් වෙති.

ගමේ පැල්පතේ සිරිපාලගේ සිට මහාරාජා අධිපති කිලී මහරාජා දක්වා පන්ති භේදයකින් තොරව මරණය උරුම කරන්නට කොවිඞ් වෛරසයට හැකිව තිබේ. එපමණක්ද? රටපුරා මියයන දහසක් ජනතාවට නිදහසේ දැවි අළු වන්නටවත් නොහැකි පසුබිමක ආදාහනාගාර ඉදිරිපිට පෝලිමක තෙරපමින් ආදාහනය වන්නටත් නැති තත්ත්වයක් කොවිඞ් විසින් ඇති කර තිබේ.

  • වටපණු රෝගයට දෙන බෙහෙත් කොවිඞ්වලට…?

මේ අතර, සතුන්ගේ පණු හා පරපෝෂිත රෝග සඳහා ලබාදෙන අයිවර්මෙක්ටීන් (Ivemectin) ඖෂධයට කොවිඞ්-19 වෛරසයේ ක‍්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාවක් තිබෙන බව ලොව පුරා සිදුකර තිබෙන පර්යේෂණ මගින් තහවුරුව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කියා සිටියේ ඉකුත් සතියේය.

මෙම ප‍්‍රකාශය සමග නැවතත් ජනතාව තුළ ජීවත්වීම සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් ඇති වුවද, ඒ සඳහා තරමක කුතුහලයක්ද ඇතිව තිබේ. මේ වන විට කොවිඞ් සඳහා ඖෂධයක් බලාපොරොත්තුවෙන් සිටින කොවිඞ් භීතිකාව සහිත සමස්ත ජනතාව ඖෂධයේ නම කී සැණින් මෙතැන් පටන් එය පාවිච්චි කිරීමටද උත්සාහ කරන්නෝය.

ඇමරිකාව, එංගලන්තය, සිංගප්පූරුව, ආර්ජන්ටිනාව ඇතුළු රටවල් රැසක කොවිඞ් රෝගීන්ට මෙම ඖෂධය ලබාදෙන බවත් ඉන් සාර්ථක ප‍්‍රතිඵල අත්ව තිබෙන බවත් අශෝක දංගොල්ල වෛද්‍යවරයා කියා සිටි නමුත්, තමන් පශු වෛද්‍යවරයෙකු බැවින් මිනිසුන්ගේ මාත‍්‍රාව තීරණය කිරීමට තමාට සදාචාරාත්මක අයිතියක් නැති බවද කියා සිටියේය. අදාළ ඖෂධය මගින් සතුන්ගේ ස්වසන පද්ධතියේ හටගන්නා වෛරස්වලට කෙතරම් බලපෑමක් එල්ල කළ හැකිද යන්න සම්බන්ධව පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින්ද මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය. කෙසේ නමුත් මේ වන විට ivemectin ඖෂධයට වෙළෙද පොළේ හොඳ ඉල්ලූමක් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද, කොවිඞ් සමයට පෙර මාසයකට පෙති දහසක් පමණක් අලෙවි වූ බවද කී වෛද්‍යවරයා එය මේ වන විට තුන්ගුණයකින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයිද කීවේය. අයිවර්මැක්ටින් නැමැති ඖෂධය 1975 දී සොයා ගන්නා ලද බව කියැවේ. එය 1981 දී වෛද්‍ය භාවිතයට ගෙන ඇති බවද එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අත්‍යවශ්‍ය ඖෂධ ලැයිස්තුවේ ඇති බව ද පැවසේ. නමුත්, කොවිඞ් 19 සඳහා ප‍්‍රතිකාර ලෙස මෙම ඖෂධය යොදා ගත් බවට සාක්ෂි නොමැති බවද ජාත්‍යන්තර සෞඛ්‍ය පර්යේෂකයන් පවසා තිබේ.

  • කොවිඞ් සඳහා නියමයක් නැති ප‍්‍රතිකාර

දැන් දැන් ජනතාවගේ එකම බලාපොරොත්තුව මරණයෙන් ගැලවීමය. කොවිඞ් 19 පැමිණි මුල් වකවානුවේ වාෂ්ප අල්ලා උණු වතුර සහ කොත්තමල්ලි වතුර බිව් ජනතාව දැන් නවතම සොයාගැනීම් පසුපස යන්නේ දේශීය ඖෂධ ද බටහිර ඖෂධ යන්න පවා නොතකාය. විවිධ පැණි වර්ග ලබා ගන්නට පෝලිම් ගැසී කෑගල්ලේ වෙද මහතා වටා රැස්කකා සිටි පිරිස් අපට මතකය. පාර්ලිමේන්තුවේ දෙසිය විසිපස්දෙනාගෙන් බහුතරය ද, වගකිවයුතු ආගමික නායකයින්ද මේ පැණිය විශ්වාස කොට ගෙන එය පාවිච්චි කළහ. කාලි මෑණියන් හා සම්බන්ධයක් මතු වූ තැන ඒ වෙදමහතාගෙන් ඉවත් වන්නට ජනතාව කටයුතු කළහ.

අනතුරුව කරලියට ආවේ විවිධ දේශීය ඖෂධ කුඩු වර්ගය. කුඩා තෙල්බෙහෙත් වර්ගය. ඉන් ප‍්‍රතිඵල ලැබූ පිරිස් ඇති බවට තොරතුරු ප‍්‍රචලිත වූ තැන බොහෝ පිරිස් ඒ පසු පස ගොස් ඒවා පාවිච්චි කළහ. තවත් උදවිය බටහිර ඖෂධ වර්ග විටමින් වර්ග පාවිච්චි කළහ. මේ සියල්ලකින්ම ජනතාව අපේක්ෂා කළේ කොවිඞ් වෛරසයෙන් බේරී සිටීමටය.

  • රට්ටුන්ගේ ආදායම

රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කළ යුතු බව හැබෑය. නමුත් නිවසට වී සෙසු පිරිස් ආශ‍්‍රයෙන් වෙන්ව ජීවත් වන්නට නම් ඒකපුද්ගල ආදායම ඉහළ අගයක තිබිය යුතුය. මේ විෂම සමාජයේ, ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ආදායම් මාර්ග සහ වැටුප් හිමිකම වෙනස්ය. බොහොමයක් පිරිස එදා වේල සරිකර ගැනීම පිණිස රැකියාවල නිරත වෙති. ඇතැමුන් කොවිඞ් සමයේ ලාභ ඉපැයීම පසෙක ලා ජනතා සේවය සඳහාම කැපව සිටියහ. කඩුවෙල එක්තරා වෙළෙඳ සැලක තබා තිබූ දැන්වීමකින් ඒ බව සනාථ විය. ”කොවිඞ් සමයේ කොරෝනාවෙන් ලාභ එපා..!” යැයි සඳහන් කරමින් එහි වෙළඳසැල් හිමියා සර්ජිකල් මාස්ක් එකක් රුපියල් පහකටත් කේ 95 මාස්ක් එකක් රුපියල් තිහකටත් සැනිටයිසර් මිලිලීටර් පනහක බෝතලයක් රුපියල් හැටපහකට සහ මිලිලීටර් සියයේ බෝතලයක් රුපියල් අනූ පහකටත් විකිණිමට තමා කටයුතු කරන බව දන්වා තිබිණි. ඔහු ඉන් බලාපොරොත්තු වන්නේ තම මනුස්සකම ජනතාව අතරට යැවීමටය. ලාභ ලැබීම වෙනුවට ජනතාවට ලාභයක් වන ලෙස කටයුතු කිරීමටය.

ඇතැම් මල්ශාලා හෙවත් මිනීපෙට්ටි සපයන්නන් කොවිඞ් ආදාහනය සඳහා අවශ්‍ය මිනීපෙට්ටි සහනදායී මිලකට හෝ නොමිලයේ ලබා දීමට කටයුතු කළහ. වතුපිටිවල රෝහලේ කොවිඞ් මෘත දේහ සඳහා අවශ්‍ය පෙට්ටි ලබා දීමට අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාව මැදිහත්ව සිටියේය. ප‍්‍රාදේශීය සභාව තුළදීම පෙට්ටි සකස් කිරීම සඳහා වැඩපිළිවෙළක් යෙදූ ඔවුහු ජනතාවට එපරිද්දෙන් හෝ සහනයක් ලබා දීමට කටයුතු කළහ.

ඒ අතර ප‍්‍රශ්නද ඇත. කොවිඞ් හේතුවෙන් නිවෙස්වල මියයන පිරිස් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්නේ රෝහල්වලදීය. එවිට මෘතදේහය රෝහල වෙත ගෙන යා යුතුය. මේ සඳහා ඉදිරිපත්වන ඇතැම් මල්ශාලා හිමිකරුවන් ප‍්‍රවාහන පහසුකම් සඳහා අය කරන්නේ දැරිය නොහැකි මුදලක්ය. මේ සඳහා රජය මේවනතුරුම අවධානය යොමු නොකිරීමෙන් හෙම්බත්ව ඇත්තේ ග‍්‍රාමීය අහිංසක ජනතාවය. මේ කතා අතර අපූරු කතාද තිබේ. විදේශීය සංචාරකයින් රටපුරා රැගෙන ගොස් රටේ සුන්දර ස්ථාන පෙන්වීම රැකියාව කරගත් පුද්ගලයෙක් කොවිඞ් සමයේ කොවිඞ් රෝගීන් රැගෙන යාම සඳහා තම වාහනය යෙදවීමට අදහස් කිරීම එයය. ඔහු තමන්ගේ වාහනයේ කොවිඞ් රෝගීන් රෝහල් වෙතත්, රෝහලෙන් නිවෙස් වෙතත් ගෙන යන්නට කටයුතු කර ඇත. එවන් උතුම් මිනිසුන්ද මේ මිහිපිටම සිටිති.

  • සහන මල්ලෙන් කෑ පිරිස්
සතියක් තිස්සේ කොවිඩ් එක්ක හැප්පුණු මිනිස්සු

කොවිඞ් පැතිරීම වළක්වා ලීම සඳහා රජයේ සහ සෞඛ්‍ය අංශවල තීරණ මත රට වරින් වර වසා දැමුණේ ජනතාව ඒකරාශිවීම වළක්වාලීමටය. දෛනික ආදායම් ලබන්නන් හට සහනයක් වන්නට රජය රුපියල් පන්දහසක මුදලක් ලබා දීමට මුලින් කටයුතු කළේය. එවිට ඇතැම් රජයේ නියෝජිතයින් රුපියල් පන්දහස බෙදා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූහ. පසුකාලීනව රුපියල් පන්දහස වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත බඩු මල්ලක් ලබා දීමට පියවර ගෙන තිබිණි. එම සහන මල්ලෙන් ගසා කෑ බව කියන සිදුවීම් රට පුරාම තැනින් තැන වාර්තා විය. තම තමන්ගේ බඩ වඩා ගන්නේ අසරණ කොවිඞ්රෝගීන්ගේ පවුල්වලට හෝ නිරෝධායනයට යොමුව සිටින පිරිසගේ බවට හැඟීමක්ගසාකන පිරිසට මතක්වන්නට නැතිව ඇත. මේ අතර පවුල් ආරවුල් ද එමට විය. කොවිඞ් ආසාදිතව ජීවිතයත් මරණයත් අතර සටන් කරන බොහෝ දෙනා රෝහලේ සිට සුවවී යන එන මං නැතිව අසරණව සිටි අයුරු අප දුටුවෙමු. තම ඉඩකඩම් සියල්ල එක කුස උපන් බාල සහෝදරයා වෙත ලියා දුන් වැඩිමහල් සහෝදරියක් කොවිඞ් ආසාදිත වූ මුහුණ දුන් සෝචනීය පුවත අපි ඇසුවෙමු. කොවිඞ් වැළඳුන පසුව අක්කා නිවසට වද්දා නොගත් මල්ලී කෙනෙකු ගැන අපි ඇසුවෙමු දුටුවෙමු. තමන්ටත් කුමන හෝ අවස්ථාවක කොවිඞ් ආසාදනය වේයැයි ඔවුහු නොසිතනවා විය හැකිය.

තම මව පියා කොවිඞ් ආසාදිත වූ විට බස් නැවතුම් පොළක දමා යන්නට තරම් සැහැසි වු පිරිස් ගැනද අපි කොවිඞ් මුල් වකවානුවේ ඇසුවෙමු. අදටත් වැඩිහිටි නිවාසවල නතර කර දමා සිටින දෙමව්පියන් කොවිඞ් ආසාදිත බවට දැනගත් විට ඒ පිළිබඳව සොයාබැලීමටවත් නොහැකි දරුවෝ එමට සිටිති.

  • ප‍්‍රභූවරුන්ගේ උරුමය..

පන්ති භේදයක් හෝ ආගමික ජාතික බෙදීමක් නැතිව වෛරසය ව්‍යාප්ත වූයේය. කොවිඞ් ආරම්භයේ ආරුමුගම් තොණ්ඩමන් මහතා මිය යන අවස්ථාව වන විට ඔහු දේශපාලනඥයෙක් බැවින් කොළඹ සිට හැටන් දක්වා ජන ග`ගක් ගැලූවේ දේශපාලනඥයකු වෙනුවෙන් කළ යුතු ගරුබුහුමන් ගැන කියමිනි. නමුත් දෙස් විදෙස් පතල නමක් තැබූ මංගල සමරවීර අගෝස්තු දහතුන් වැනිදා කොවිඞ් ආසාදිතව රෝහල් ගත කළේය. ඔහු කොවිඞ් සමග ජීවත් වූයේ දින දහයක් වැනි කෙටිකලක් පමණි. දහසක් ජනතාව සහ හිතෛෂී දේශපාලනඥයින් සමූහයක් වෙත සිය මෘතදේහය පවා නොපෙන්වා හවස් වන විටම බොරැල්ල කනත්තේදී සියල්ල අතැර දමා ගිය මංගල ගේ සමුගැනීම ඔස්සේ රටට කියන්නේ අත්හැරීමේ ආදීනවය. මේ වන විට රටපුරා පළාත් සභා මැති ඇමැතිවරු නාගරික මන්තී‍්‍රවරු ප‍්‍රාදේශීය සභා නියෝජිතවරු කොවිඞ් මාරයාට බිලිවී සිටී. බොහෝ දෙනා තම තමන්ගේ තාන්න මාන්න සියල්ල පසෙකලා කොවිඞ් මාරයා සමග යන්නට ගිහින්ය. කොපමණ බලපුළුවංකාරකමක් තිබුණද කොවිඞ් මාරයාගෙන් ආරක්ෂා වීමට ඔවුන් කිසිවෙකුටත් හැකියාවක් ලැබුණේ නැත. මෘත දේහය ආදාහනය කළේද සාමාන්‍ය කොවිඞ් මරණ සේමය. මේ අතර අපූරු සිදුවීම්ද තිබේ. එක්තරා බන්ධනාගාරයක ප‍්‍රධාන පෙළේ නිලධාරියෙකු වෙත බන්ධනාගාර ගතව සිටි ප‍්‍රමුඛ පෙළේ ජාවාරම්කරුවකු ඔහු වෙත රුපියල් ලක්ෂ සියයක මුදලක් ලබා දී තිබුණේ මෙයට මාස දහදොළහකට පෙරය. අදාළ නිලධාරියා එම මුදල ව්‍යාපාරිකයකු වෙත ලබා දී තිබුණේ සියයට විස්සේ පොලියකටය. පොලී මුදල ලබමින් සිටි බන්ධනාගාර නිලධාරියා දැනට මාස තුනකට පමණ පෙර මුදලින් අඩක් ඉල්ලා සිටියද ව්‍යාපාරිකයා එය මගඅරිමින් සිට ඇත. මේ අතර අදාළ බන්ධනාගාර නිලධාරියා ඉකුත් දා කොවිඞ් ආසාදිතව මිය ගියේය. කෝටිපති ව්‍යාපාරිකයන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළුව රටේ සමස්ත ප‍්‍රභූවරු බොහොමයක් මේ වන විට කොවිඞ් ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටී. අප ඉතා හොඳින් දන්නා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීතිඥ අජිත් රෝහණ ආදීහුද කොවිඞ් ආසාදිතව පෞද්ගලික රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිති.

  • සෝචනීය මරණ….

නූපන් බිලිඳාගේ සිට වයෝවෘද්ධ මහල්ලා දක්වා දැන් දැන් මරණ සිදුවන්නේ කොවිඞ් බිල්ලක් ලෙසය. මේ වන විට රට තුළ කොවිඞ් ආසාදිත ගර්භනී කාන්තා මරණ විසිපහකි. සෝචනීයම පුවත වන්නේ මාස පහක් වයසැති කලලයක මිය යාමය. මව කොවිඞ් ආසාදිතව කොවිඞ් නියුමෝනියා තත්ත්වයට පත් වීමෙන් පසුව ගර්භයේ වු මාස පහක කලලය මිය ගොස් තිබේ. ගම්පොල රෝහලේදී ඉකුත් දා මෙම සිදුවීමට මුහුණ දුන් මව මේ වන විටත් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

හයවැනි විවාහ සංවත්සරයට සූදානම් වෙමින් සිටි කැලණියේ පදිංචි ඉංග‍්‍රීසි ගුරුවරයා සහ බිරිඳ කොවිඞ් සමග මෙලොව හැර ගියේ සිය පස් හැවිරිදි දියණිය මෙලොව තනිකර දමමිනි. රාගම රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා මෙලොව හැර ගියේ පුතුන් දෙදෙනකුගේ හදවත්වල වේදනාව ඉතිරි කරමිනි. මහනුවර මුරුතලාවේ එකම නිවසේ පියා සීයා සහ ආච්චි කොවිඞ් සමග ගියේ මුණුපුරන් දෙදෙනකු තනිකර දමාය. ඇතැම් නිවෙස්වල හය හත්දෙනා මිය යන්නේ එකිනෙකාට හොර රහසේ මෙන්ය.

කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා වයස අවුරුදු පහළොව දක්වා දරුවන් දැන් දැන් කොවිඞ් වසංගතයේ බිල්ලක් බවට පත්වෙමින් තිබේ. කොළඹ බොරැල්ල ආර්යා රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලින් සී. කිතුල්වත්ත මහතා කියා සිටින්නේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා හුස්ම ගැනීමේ අපහසුතාවය දැඩි වූ විට දරුවන් කොවිඞ් ආසාදිත බවට තහවුරු වන තැනට දැන් පත්ව ඇති බවය. එවැනි තත්ත්වයක් මත දරුවන් පිළිබඳව දැඩි අවධානයකින් සිටින ලෙසද වෛද්‍ය කිතුල්වත්ත මහතා අවධාරණය කරයි. වයස අවුරුදු තුනහමාරක දරුවෙක් හිටිහැටියේ ඇදවැටී මිය ගිය අයුරු බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තා වී තිබිණි. වයස අවරුදු දහයක දියණියක් හිටි හැටියේ ක්ලාන්ත ගතියක් පෙන්වා රෝහල් ගත කළ පසුව මිය ගිය පුවත කොළඹින් වාර්තා වී තිබිණි. අනුරාධපුර පදිංචි හත් හැවිරිදි දියණියක හිටිහැටියේ මියගිය පුවතක්ද වාර්තා වී තිබිණි. මේ සියල්ලක්ම කොවිඞ් වෛරසයේ බලපෑමෙන් සිදුවූ මරණය. මිනුවන්ගොඩ, බණ්ඩාරවෙල, කොළඹ, ගම්පහ පමණක් නොව රටපුරා තැනින් තැන නිවෙස්වල මියගිය පිරිස මේ වන විට දහසකට ආසන්නව තිබේ. රටේ කොවිඞ් මරණ සංඛ්‍යාත්මකව අට දහස ඉක්මවමින් සිටින්නේ, වයස් භේදයක් නොමැතිවය. නමුත් වයස හැටට වැඩි මරණ ගණන ඉහළය. වැඩිහිටි ජනගහනයෙන් කොවිඞ් ආසාදිත වන සෑම පුද්ගලයින් පස්දෙනකුගෙන් එක් අයකු මේ වන විට මිය යමින් සිටී. රජයේ සංඛ්‍යාත්මක ගණනයට අනුව, කොවිඞ් මරණ ලෙස හඳුන්වන්නේ කොවිඞ් නියුමෝනියාව වැළඳුන පිරිස පමණි. නිදන්ගත රෝග ඇති කොවිඞ් මරණ ද මෙම සංඛ්‍යාත්මක දත්තයන්ට එක්කාසු වන්නේ නම් මේ වන විට ලංකාවේ කොවිඞ් මරණ දස දහසද ඉක්ම වන්නේ මෙයට මාස කිහිපයකට පෙරදීය.

  • එන්නත්කරණය සහ කොවිඞ්

ශී‍්‍ර ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළ බොහෝ ස්ථානවල ඉතා පිළිවෙළකට කාල කළමනාකරණයෙන් සිදුවන බව කියැවෙයි. ඒ අතරම තවත් බොහෝ තැන්වල ග‍්‍රාමීය ජනතාවට ලැබෙන්නට නියමිත මාත‍්‍රා දේශපාලන හෝ සෞඛ්‍ය අංශවල උදවියගේ හිතෛෂීන්ට රහසිගත ලෙස ලබා දීමට යෑමෙන් කුණු පැල්ලම් ගා ගන්නට එන්නත්කරණ ක‍්‍රියාදාමයට දායකවී සිටින්නෝ කටයුතු කර තිබේ. කෙසේ වුවද එන්නත්කරණයේ ප‍්‍රතිඵල ලබා ගන්නේ ශී‍්‍ර ලාංකික ජනතාවමය. කොවිඞ් එන්නත්කරණයේදී වයස අවුරුදු හැටට වැඩි අය සහ බෝනොවන රෝගවලින් පෙළෙන අයට ප‍්‍රමුඛතාව ලබාදෙමින් එය සිදු කරන ක‍්‍රමවේදයක් තමන් පසුගිය මැයි මාසයේදීම ජනාධිපතිවරයා වෙත බාරදුන් බවත් එහි සඳහන් ආකාරයට පළවෙනි එන්නත් මාත‍්‍රා මිලියන දහයක් භාවිතා කළේ නම් අද සිදුවන මරණ වලින් සියයට අසූවකටත් වඩා වළක්වාගත හැකිව තිබුණු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් දා කියා සිටියේය. තමන් ඉදිරිපත් කළ එම ක‍්‍රමවේදයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය ලැබී තිබියදී ජනාධිපතිවරයාටත් ඉහළින් යමින් කිසියම් පාර්ශ්වයක් එය වෙනස් කර ඇති බවටයි එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා චෝදනා කර සිටියේ.

  • කොවිඞ් පරීක්ෂණ
සතියක් තිස්සේ කොවිඩ් එක්ක හැප්පුණු මිනිස්සු

ඉකුත් වසරේ කොවිඞ් රෝගයට ලක්ව ඇති පිරිස් සොයා ගියේ නිශ්චිත ක‍්‍රමවේදයක් අනුව නමුත් පහු පහුවන විට කොහු කොහු ස්වරූපයක් මේ වන විට ක‍්‍රියාත්මක වන්නේය. සුළු හෝ රෝග ලක්ෂණ ඇති සහ අවදානමට ලක්ව ඇති පිරිස් පීසීආර් පරීක්ෂණ වෙත යොමු කරනු ලැබුවද එහි ප‍්‍රතිඵල පැමිණෙන කාලය වන විට අදාළ පුද්ගලයා තමන් සතු වෛරසය සමාජයේ බොහෝ දෙනා වෙත පතුරුවා අවසන්ය. පීසීආර් ප‍්‍රතිඵල සැලකිල්ලට ගැනීමේදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණය සුදුසු යැයි හැෙ`ග්. ඊට එකම හේතුව අදාළ ප‍්‍රථිපලය එසැණින්ම ලැබීමය. නමුත් එයද දැන් සීනි පරිප්පු සැමන් ගාණට වැටී තිබේ.

මෙරට රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මාෆියාවක් ආරම්භ වී තිබේ. මේ මාෆියාව පසුපස සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ වෛද්‍ය විශේෂඥයින් පිරිසක් බවත් ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා සකස් කරගෙන ඇත්තේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් නොව ඔවුන්ට මුදල් ඉපයීම සඳහා බවත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ඉකුත් දා කියා සිටියේය.

මේවා අපි කියන්නෙ මේ වෘත්තීයමය භේද හදාගන්න නෙවෙයි. අද සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරලා තියෙන්නෙ කොරෝනා වසංගතයට දාන මේ ගයිඞ්ලයින් කියන මාර්ගෝපදේශ පවා එක එක්කෙනා තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් යොදවා ගන්නවා. වෛද්‍ය පරීක්ෂණයක් කරන්න තමයි මේ රටේ වෛද්‍ය සභාවෙ ලියාපදිංචි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයෙක් ඉන්නෙ. අපි කවදාවත් කොයිම තැනකවත් පරීක්ෂණයක් කරන්න බැහැයි කියලා නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගයිඞ්ලයින් ගහන අය කියනවා ක්ෂණික ප‍්‍රතිදේහජනක පරීක්ෂණයක් කරන්නත් ක්ෂුද්‍රජීවී විශේෂඥ වෛද්‍යවරයෙක් ඕනෙලූ. රටේ මේ හතරක් පහක් ඉන්න ක්ෂුද්‍රජීවී වේදියෙක් අරගෙන පරීක්ෂණ කරන්න යොදවා ගන්නවා කියන්නෙ මේ රට කොච්චර නාස්තියක් කරනවාද? පරීක්ෂණයක් කරන්න එහෙම වේදියෙක් ඕනෙත් නෑ, ඒගොල්ලො කළා කියලා ඒවා නිවැරදි වෙන්නෙත් නෑ. හැබැයි ගයිඞ්ලයින් එක හදන්න ගෙන්වා ගන්නෙ ඒගොල්ලො විතරක් නිසා ඒගොල්ලො බලනවා කොහොමද එයාලාට ගතමන්ට් එකක් එන විදියට මේක හදාගන්නෙ, කොහොමද එයලා නැති තැන්වල මේක නවත්තන්නෙ කියලා.

මේ රටේ මේ මොහොතේ සමාජගත වෙච්ච රෝගයක් තියෙන්නෙ. ඒක තාම සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නෙ නෑ. සමාජගත වෙච්ච රෝගයකදී ලෝකෙ තියෙන්නෙ සෙල්ෆ් ටෙස්ටින්, හෝම් ටෙස්ටින්. හැබැයි අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ ටෙස්ට් කරන්න බැරිවෙන්න අදාළ ගයිඞ්ලයින්. ක්ෂණික ප‍්‍රතිදේහජනක කට්ටල එකම එකයි තාම ලංකාවෙ තියෙන්නෙ. ඒක නිසා බරපතළ ඒකාධිකාරයක් ගොඩනැගෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක් ව්‍යාපාරයකදී. අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය එකම එක කට්ටලයක් තියාගෙන මේ කරන එකෙන් පරීක්ෂණයක් කරන්න විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. ඉස්සර පීසීආර් කට්ටලයක් ගත්තෙ 5500ට. අද 800 ටත් ඊට වඩා හොඳ කට්ටල තියෙනවා. එනිසා පීසීආර් කට්ටලයටත් වඩා වැඩි මුදලකට ගන්න සිදුවෙලා තියෙනවා ක්ෂණික ප‍්‍රතිදේහජනක කට්ටලයක්. ඒක වෙලා තියෙන්නෙ කට්ටල විකුණන පුද්ගලයාගෙ ප‍්‍රශ්නයකට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ඒකාධිකාරීන් රකින්න විශේෂඥයින්ගෙ පෞද්ගලික වුවමනාවන් රකින්න රටේ අවශ්‍යතාවට වඩා තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය තමන්ට වුවමනා විදියට කරන්න බරපතළ උත්සාහයක් ගන්න හින්දා.

එනිසා අපි ඉල්ලනවා ලංකාව පුරා පරීක්ෂණ කරගැනීමට ඇති හැකියාව මහජනතාවට කරුණාකරලා ලබාදෙන්න. අපි ලෑස්තියි දිසා රෝහල් දක්වා ක්ෂණික ප‍්‍රතිදේහජනක පරීක්ෂණ කරන්න, රැපිඞ් පීසීආර් කරන්න, අපි ලෑස්තියි ප‍්‍රධාන රෝහල්වල පැය විසිහතර පුරා පීසීආර් පරීක්ෂණ කරන්න” රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඉකුත් විසිදෙවැනිදා පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  • රෝහල් සේවාව

ලංකාව පුරා සෑම රෝහල් පාහේ මේ වන විට කොවිඞ් රෝගීන් රැකබලා ගත හැකි තත්ත්වයට පත්කොට ඇත. ඊට අමතරව අඩු රෝග ලක්ෂණ සහිත කොවිඞ් රෝගීන් නිවෙස්වල සහ තම තමන්ගේ ආගමික ආයතනවල නතර කොට ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ රැකබලා ගන්නා තැනටද දැන් කටයුතු යෙදී තිබේ. මෙවැනි පසුබිමක ඉකුත් දා දේශපාලනඥයකු කියා සිටියේ තවමත් කොවිඞ් සමාජගත වී නැති බවය.

ජනතාව වෙළඳපළේ ඇති ඔක්සිජන් සිලින්ඩර මිලට ගෙන තමන් නිවාස වල ගොඩ ගසා ගන්නා තත්ත්වයක් උදා වී ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය කියා සිටියේ මේ නිසාය. මෙම සිලින්ඩර රුපියල් ලක්ෂය දක්වා වූ ඉහළ මිල ගණන්වලට නිවසට ගෙන ගියද මේ මෙම කටයුත්ත ඉතාම අනවශ්‍ය ක‍්‍රියාවක් බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. සැබෑ ලෙසම ඔක්සිජන් අවශ්‍ය පුද්ගලයෙකුට වුවද ඔක්සිජන් ලබා දිය යුතු බව ප‍්‍රමාණයන් හා ක‍්‍රමවේදයන් නොදැන ඒවා ගබඩා කර ගැනීමෙන් පලක් නැති බව ද ඒ මහතා කියා සිටී. ඔක්සිජන් පුද්ගලයෙකුට වැඩිපුර ලබා දුන්නොත් එම පුද්ගලයාට නිව්මෝනියා තත්ත්වය ඇති විය හැකි බවද වෛද්‍යවරයා අනතුරු අඟවන්නේය. නමුත්, දැන් ජනතාවට අවශ්‍යව ඇත්තේ හුස්ම පොද රැකගැනීමය. යුක්රේන ජාතිකයන් මෙරටට ගෙන්වා ලාංකිකයන්ට කොවිඞ් ආසාදනය වන්නේද යන්න කළ පරීක්ෂණය දැන් සාර්ථක වී තිබේ. එහි සාර්ථක ප‍්‍රතිඵල හේතුවෙන් මේ වන විට සෑම පැයකටම අටදෙනෙක් කොවිඞ් නිසා මිය යන්නේය.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment