ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට කොමිස් හැටියට රු. බිලියන 35 කටත්වැඩියෙන් මහජන මුදල් ගෙවලා

ඛනිජ තෙල් බෙදාහරින්නන්ගෙන් වැඩි කොටසක් පසුගිය ආණ්ඩුවලට සම්බන්ධ අය

මෙරට පිරවුම්හල් වැඩිහරියක්ම දේශපාලකයන්ගේ හා හිතවතුන්ගේ

හිටපු ජනාධිපතිවරු දෙදෙනකුගේ හිතවතුන්ටත් පිරවුම්හල්

සහෝදරයන්- බිරින්දෑවරුන්-මවුපියන් ඇතුළු තවත් අයගේ නම්වලින් පවා පිරවුම්හල් ලබාගෙන

‘ගිනි පෙනෙල්ලෙන් බැට කෑ එකා කණාමැදිරි එළියටත් බයයි’ කියන්නේ කටකහනවාට නොවේය. අපේ රටේ තෙල් ප්‍රශ්නයට ද කියන්නට ඇත්තේ එයම ය. එනම්, පසුගිය කාලයේ තෙල් නොමැතිව සති ගණන් පෝලිම් තුළ සිටි ආකාරයත්, ඒ නිසා රටේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම කඩාවැටුණු අන්දමත් සිහිමඳ ගතිය නැති ඕනෑම අයකුට හොඳටම මතක ය. එවන් අසුන්දර වූ අතීතය යළි සිහිපත් කරමින් පසුගිය සතියේ උද්ගත වූ ඛනිජ තෙල් අර්බුදය ද රට තුළ බොහෝ ආන්දෝලනාත්මක පුවත් මැවෙන්නට තුඩුදුන් බව සැබෑ ය. එය එසේ වෙද්දී, වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙත ‘කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ කඩන්නට’ බොහෝ පාර්ශ්ව ද තැත්කළ බව ද රහසක් නොවේ ය. ඒ තෙල් අර්බුදය ඉදිරියට දමා ජනතාවට අනියත බියක් ඇතිකරන්නට ය. එහෙත් මෙරට කිසිදු වැසියකු යළි ඒ අමිහිරි අතීතයට පණදෙන්නට කිසිසේත්ම සූදානම් නැත. හාල් – පොල් – බිත්තර ප්‍රශ්නය ද යන්තමින් අළුගසා නැඟිටිද්දී ආණ්ඩුවට නැවතත් ‘බකට් එක’ දමන්නේ තෙල් බෙදුම්කරුවන් හා ඉන්ධන පිරවුම්හල් හිමියන් ය. ඒ ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කොට නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය දිනක තීරණය කිරීමත් සමගම ය.

සියයට තුන අහෝසි කළොත් තෙල් නැහැ ලු

මෙරට ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදෙන 3%ක දීමනාව අහෝසි කිරීමට පියවර ගන්නා බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා ප්‍රකාශයක් කළේ ය. ඒ අනුව නව සූත්‍රයක් ඔස්සේ තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අරමුණ ය. එහෙත් එම තීරණයට විරෝධය පළකරමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ඉකුත් 28 වැනිදා ප්‍රකාශයක් කරන්නේ එදින මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවට ය. එම සංගමය කියන්නේ, තම ගැටලුවට නිසි පිළිතුරක් ලැබෙනතුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් ද වැළැකී සිටින බව ය. තෙල් ගැටලුවේ ආරම්භය සිදුවන්නේ එසේ ය.

තෙල් හිඟයක් ගැන බිල්ලන් මවන්නට ඇතැම් පාර්ශ්ව කටයුතු කරන්නේ, පසුගිය 28දා තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ඉහත කී ප්‍රකාශයත් සමගම ය. මේ කතාව සමාජ මාධ්‍ය ජාලාවල ළැව් ගින්නක් සේ පැතිර ගියේ ය. මාධ්‍ය තුළින් විවිධ පුවත් මවන්නට ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ කතාව ඉවහල් වූයේ ය. රට පුරා පිරවුම්හල් අසල නැවත පෝලිම් තත්ත්වයක් ද ඇතිවිය. බොහෝ අය චෝදනා කළේ, ආණ්ඩුවට තෙල් ආනයනය කරගන්නට නොහැකිව වැඩේ ‘අල’ වී ඇති බවට ය. එහෙත් මේ කතාවේ ඇත්ත ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. කොටින්ම කිවහොත් තෙල් අර්බුදයක් ගැන යළි කතාබහට ලක්වෙන්නේ පවතින ආණ්ඩුවේ දුර්වලතාවයක් නිසා නොවේ ය. එයට හේතුව ආණ්ඩුවේ නව සූත්‍රය හේතුවෙන් තෙල් බෙදුම්කරුවන්ගේ කොමිස් මුදලට තට්ටු වන බව ඔවුන් දැනසිටීම ය.

තෙල් කතාවේ තිත්ත ඇත්ත

අන් කවර අර්බුදයකටත් වඩා රටක තෙල් අර්බුදය යනු, මුළු රටටම බලපාන්නා වූ ප්‍රශ්නයකි. එය ප්‍රවාහනය මූලික කරගත්, රටේ සමස්ත ක්‍රියාවලියම බිඳදැමීමට තෙල් අර්බුදයට පුළුවන් නිසා ය. අවාසනාවකට මෙන් මෙරට තෙල් සම්පත නැතිහෙයින් මුදල් යහමින් වැයකොට තෙල්රැගෙන එන්නට අපට සිදුවී ඇත. එසේ රැගෙන එන්නේ බොරතෙල් හා පිරිපහදු කරන ලද ඉන්ධන ය. බොරතෙල් මෙරට පිරිපහදුකොට 30%ක පමණ ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගන්නා අතර හිඟ ඉන්ධන ප්‍රමාණය පිරිපහදු කළ තෙල් ලෙස ආනයනය කරනු ඇත. ඒ සඳහාම මෙරට වගකිව යුතු ආයතනයක් ද ඇත්තේ ය. ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ය. තවත් විදිහට කිව්වොත්, මෙරට තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, පිරිපහදු කිරීම සහ විකිණීමේ අරමුණ ඇතිව 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ සංස්ථාපිත කරන ලද රාජ්‍ය සංස්ථාවක් අපේ රටට ඇත. ඒ විතරක් දනොවේ ය. මෙරට දීපව්‍යාප්ත බෙදාහැරීමේ ඉන්ධන පිරවුම්හල් ජාලයෙන් සමස්ත ඉන්ධන වෙළෙඳපොළෙන් 80%කටම හිමිකම් කියන්නේ මේ කියන සංස්ථාව ය. ඒ, රට පුරා ඉන්ධනහල් 1,400ක ප්‍රමාණයක් ඇති අතර එයින් 700ක් පමණ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධනහල් ය. තෙල් ප්‍රශ්නය මතුවන්නේ ද මෙකී ඉන්ධනහල් අයිතිකරුවන්ගෙන් ය.

ලංකාවේ ඛනිජ තෙල් බෙදාහැරීම ගැන කීමට තවත් අටුවාටීකා අවශ්‍ය නැත. අපේ රටේ තෙල් ආනයනයේ සිට බෙදාහැරීම දක්වා සිදුවන යාන්ත්‍රණය කොමිස් මත සිදුවන්නක් බව කිවහොත් ඉතා නිවැරදිය. කොටින්ම කිවහොත් තෙල් සංස්ථාව විකුණන්නට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට හේතු වන තැනට පත්වන්නේ ද එකී ආයතනය තුළ සිදුවන අකාර්යක්‍ෂමතාවය, වංචාව හා දූෂණය නිසා පාඩු ලබන ආයතනයක් බවට පත්වීම නිසා ය. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව, 2022 වර්ෂයේ අප්‍රේල් මස අවසානය වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත අලාභය රුපියල් මිලියන 628,381 කි. සංස්ථාව එසේ පාඩු ලබන්නේ, සේවකයන්ට අතිකාල දීමනා හා බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගෙවීම සඳහා අත දිගහැර මුදල් යෙදවීමෙනි. එම වාර්තාවේ දක්වා ඇත්තේ, ඛනිජ තෙල් ආනයනය කිරීමට පසුගිය කාලය තුළ මෙරට ඩොලර් අර්බුදක් පැවැතියදීත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයට ද පටහැනිව බෙදුම්කරුවන් සඳහා රුපියල් මිලියන 6,500 කට අධික කොමිස් මුදලක් වැඩිපුර ගෙවා ඇති බව ය.

බෙදුම්කරුවන්ට කොමිස් මුදල් ගිය හැටි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනහල්වලට මෙතෙක් කලක් සියයට 2.75ක කොමිස් මුදලක් ද පෞද්ගලික ව්‍යාපාරිකයන්ට අයත් ඉන්ධනහල් හිමියන්ට 3%ක කොමිස් මුදලක් ද ලබාදීමට තෙල් සංස්ථාව මෙතෙක් කටයුතු කළේ ය. එහෙත් සංස්ථාවට සෘජුවම පාරිභෝගිකයන් වෙත ඉන්ධන අලෙවි කිරීමේ හැකියාව පැවතියදීත් මෙකී නියෝජිතයන්ට අතිරේක කොමිස් මුදලක් ගෙවා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන පදනම කුමක්දැයි විගණනයට ද ගැටලුවක් වී තිබුණු බව සැබෑ ය. එනම් 2009 වසරේ සිට ඛනිජ තෙල් බෙදුම්කරවන්ට ලැබුණු කොමිස් මුදලේ ප්‍රතිශතය මෙසේ ය. එය 2009 වසරේ 1.5% සිට 1.75% කි. 2016 වසරේ 2.25% සිට 2.5% ක් වූ අතර 2019 වසරේ 2.75% සිට 3% දක්වා වැඩිවී ඇති අතර මේ දක්වාම ඛනිජ තෙල් සැපයුම්කරුවන්ට එම කොමිස් මුදල් ලබාදී ඇත.

2009 වසරේ පෙට්‍රල් ලීටරයක මිල වූයේ රු.117 කි. එකල ඉන්ධන බෙදාහරින්නන්ට ලීටරයට 1.5%ක කොමිස් මුදලක් හිමිවිය. මුදලින් කිවහොත් ලීටරයකට රු.1.75 ක් පමණ ය. එහෙත් එම මුදල ප්‍රමාණවත් නොවූ හෙයින් ඉන්ධන බෙදාහරින්නන් නැවත කොමිස් මුදල් වැඩි කරන ලෙස නැවත ඉල්ලීම් කරද්දී ඒ පිළිබඳව සොයා බැලීමට පත්කරන ලද කොමිසම, 3%ක් බෙදුම්කරුවන්ට දෙන්නට තීරණය කළ අතර තෙල් මිල වැඩිවන විට ද ලීටරයක මිල රු.162ක් වෙනතුරු උපරිමය ලීටරයකට රු. 4.86ක් ලබාදුනි. තෙල් මිල රු.162ට වඩා වැඩිවුව ද කොමිසම තීරණය කළේ ලීටරයකට උපරිමය රු. 4.86 ක් පමණි.

එහෙත් සිදුවූයේ, තෙල් බෙදුම්කරුවෝ සෑම කාලයකම වැඩිවන තෙල් මිලට සාපේක්‍ෂව 3% ඉල්ලා උසාවි යෑම ය. අධිකරණයෙන් කියන්නේ අදාළ කමිටු තීරණය, නිවැරදි බවත් එසේ කොමිස් මුදල් නොදිය හැකි බව ය. එහෙත් බෙදුම්කරුවෝ 3% ක මුදල් ඉල්ලීම අත්හරින්නේම නැත. යළි ඇපෑලක් ඉදිරිපත් කරන්නේ ‘මස් රාත්තලම’ ඉල්ලමින් ය. එහෙත් එයින් ද අධිකරණයේ තීරණය වෙනස් නොවන්නේ ය.

මෙතෙක් පැවැති ආණ්ඩු අධිකරණයේ තීරණය ද නොසලකමින් කමිටුවට ද ‘බම්බුගසන්නට’ කියා මේ කියන බෙදුම්කරුවන්ට තෙල් මිල වැඩිවෙන සෑම කාලයකදීම එසේ වැඩිවන මිලෙන් 3%ක් ලබාදෙන්නට ක්‍රියාකළේ ය. පසුගිය කාලය තුළ පෙට්‍රල් මිල රුපියල් 550ට ඉහළ ගිය බව ද අපට අමතක කළ නොහැකි ය. ඒ අනුව පැවැති ආණ්ඩුව මෙකී ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට බන්දේසියේ තබා කොමිස් මුදල් දුන් බව තවත් කියන්නට සාක්‍ෂි ද අනවශ්‍ය ය. එකල වෘත්තීය සමිති පවා මෙකී කොමිස් මුදල් ලබාදීමට එරෙහිව නැඟීසිටියහ. අද පෙට්‍රල් ලීටරය ද රුපියල් 309 කි. ඒ අනුව 3% සැලකීමේදී පෙට්‍රල් ලීටරයකින් රුපියල් 9 කටත් වැඩි මුදලක් බෙදුම්කරුවාට යන බව පෙනීයන්නේ ය.

මෙතෙක් පැවැති රජයන් මෙකී සෑම බෙදුම්කරුවකුටම ‘කොමිස්’ කුට්ටිය රිසිසේ ලැබෙන්නට ක්‍රියාකළේ දේශපාලන සන්තෝසමක් ලෙස ය. මේ වනවිට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට මුදලින් රු. බිලියන 35 කටත් වඩා ගෙවා ඇති බව රජයේ වාර්තා මගින් ද පෙන්වා දී ඇත. මෙකී මුදල් රටේ මහජනතාවගේ ධනය බව අප අමතක නොකළ යුතු ය. මෙසේ අනීතිකව මහජනතාවගේ මුදල් කොමිස් මුදල් ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට බෙදාදුන්නේ ඔවුන්ගේ වුවමනාවන්ට ය. දොළපිදේනි ලෙසට ය. එයට හේතුව මේ කියන ඛනිජ තෙල් බෙදුම්කරුවන්ට කුමන හෝ දේශපාලන සම්බන්ධතාවයක් පැවතීම ය. ඒ විතරක් ද නොවේ ය. මෙරට පිරවුම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් අයත් වන්නේ ද දේශපාලනයට සම්බන්ධ වූවන්ට ය. නැත්නම් වෙනත් අයකුගේ නමින් පිරවුම්හල් ව්‍යාපාරය සිදුකරන ආකාරයට ය. එසේත් නැත්නම් ආණ්ඩුවට අත දිගහැර වියදම් කළ අයකුට හෝ දේශපාලනඥයකුගේ ඥාතියකුට ය.

මැතිසබේ හෙළි කළ පිරවුම්හල් හිමි දේශපාලක ලැයිස්තුව

සති අන්තය ගිනියම් කළ පත්තු නොවුණු තෙල් කතාව

මේ වනවිට මෙරට පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල්වලට සම්බන්ධතා ඇති දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තුවක් පිළිබඳව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පසුගිය 01දා හෙළිදරව්වක් කළේ ය. ඔහු එහිදී ප්‍රකාශ කරන්නේ, දැනට පාර්ලිමේන්තුවේ සිටින සහ හිටපු මන්ත්‍රීවරුන්ගේ හා ජනාධිපතිවරු දෙදෙනකුගේ හිතවතුන්ට එකී පිරවුම්හල් අයත් ඒවා බව ය. ඒ අනුව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සම්බන්ධතා ඇති ඉන්ධන පිරවුම්හල් තිබෙන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරිවරයාට ද ඉන්ධන පිරවුම්හලක් ඇත. තව ද විපක්‍ෂයේ මන්ත්‍රීවරු පස්දෙනකුට සම්බන්ධකම් ඇති පිරවුම්හල් ඇති අතර ඒ අනුව ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, රංජිත් මද්දුමබණ්ඩාර හා ගයන්ත කරුණාතිලක මහතාගේ සහෝදරයකුගේ නමට ඉන්ධන පිරවුම්හලක් ඇති බව ද හෙළි කළේය. තව ද ප්‍රසන්න රණතුංග, වර්නන් ගුණරත්න, කුමාර වෙල්ගම, අකිල විරාජ් කාරියවසම්, පවිත්‍රා වන්නිආරච්චි, නිලානි ධර්මදාස ඇතුළු පිරිසට ද ඉන්ධන පිරවුම්හල් පවතින බව ද එහිදී හෙළි විය. මෙරට ඉන්ධන පිරවුම්හල්වලට ඇති දේශපාලන සම්බන්ධය එම නම් වැලෙන් අවසන් වන්නේ නැත. දුමින්ද දිසානායක, චන්දිම ගමගේ, කින්ස් නෙල්සන්, ඉන්දික බණ්ඩාරනායක, පියසේන ගමගේ, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු පිරිසකගේ සහෝදරයන්, බිරින්දෑවරුන්, මවුපියන් ඇතුළු තවත් හිතවතුන්ගේ නම්වලින් ඉන්ධන පිරවුම්හල් ලබාගෙන ඇතැයි ද හේ, කියා සිටියේ ය.

මෙකී නම් වැල ඇසූවෙකුට පසුගිය සතියේ සිට උද්ගතවූ ඇති තෙල් ප්‍රශ්නයේ ආරම්භ සොයාගැනීමට ඉතාපහසු වනු ඇත. අද වනවිට ඉන්ධන බෙදාහැරීම අඩපණ කරන කණ්ඩායම් ගැන ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණ අරඹා ඇත. විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැතිවරයා කියන පරිදිම ඉන්ධන සම්බන්ධ ගැටලුව ද විපක්‍ෂය විසින් ඇති කරවන ලද්දක් බවට කෙනකුට සිතීම ද සාධාරණ ය. ඔහු වැඩිදුරටත් කියන්නේ, ඛනිජ තෙල් බෙදාහරින්නන් කෙරෙහි විපක්‍ෂය කිඹුල් කඳුළු හෙළීමට හේතුව විපක්‍ෂයේ දේශපාලනඥයන් ගණනාවක් මෙරට තෙල් බෙදාහරින්නන් සමග සම්බන්ධ බවට බොහෝ සාක්‍ෂි සාධක ඇති නිසා බව ය. එහෙත් එදා පැවැති ආණ්ඩු නොකළ දේ, අද අලුත් ආණ්ඩුව කරන්නට යෑම අප අගය කළ යුතුම ය. එනම් මාර්තු 1 වැනිදා සිට මෙතෙක් ඛනිජ තෙල් බෙදුම්කරුවන් සඳහා ලබාදුන් 3% ක දීමනාව වෙනුවට නව ක්‍රමවේදයකට තෙල් බෙදුම්කරුවන්ට දීමනා ලබාදීම ය. එහෙත් එම ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු ඉකුත් 28දා මධ්‍ය රාත්‍රියේ සිට ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළැකී සිටීමට ඛනිජ තෙල් බෙදුම්කරුවෝ තීරණය කළෝ ය. ඔවුන් ඉල්ලන්නේ පෙර පරිදිම 3% කොමිස් මුදලම ය. ඒ අනුව ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා සහ බෙදුම්කරුවන් අතර සාකච්ඡාවක් පසුගිය 04දා පැවැත්විණි. ඒ පිළිබඳව ඉන්ධන පිරවුම්හල් සංගමය කියන්නේ ඉදිරි සති දෙක ඇතුළත ඉන්ධන බෙදාහැරීම සිදුකරන ලෙස උපදෙස් ලැබුණු බවත් ඉදිරි සති දෙක තුළ ඉන්ධන බෙදාහැරීම් හා පිරවුම්හල් හිමියන්ගේ කොමිස් මුදල සංශෝධනය කරන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ බව ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියන්නේ, ඉදිරි මාසය තුළ මෙම තත්ත්වය සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන බවත් අදාළ සංගමයන්හි ගැටලු ඔවුන් විසින් නැවත සංස්ථාවට ලබාදෙන බවත් ඒ පිළිබඳව ලබන 18 දා නැවත ඒ පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බව ය. ඔහු වැඩිදුරටත් කියන්නේ, මහජනතාවට ඉන්ධන පිළිබඳව ගැටලුවක් ඇති නොකරගන්නා ලෙසට ය. මේ වනවිට වත්මන් ආණ්ඩුව ඉන්ධන සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ගය ඉතා අගනේ ය. එයට හේතුව තෙල් මිල නිසා පීඩාවිඳින අතිබහුතර ජනතාවක් රටේ සිටීම ය. ඒ නිසාම ආණ්ඩුව කළයුත්තේ මෙරට මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කරන දූෂිත කොමිස් මුදල් මත යැපෙන දේශපාලනඥයන් හා ඔවුන්ගේ හෙංචයියන් මෙරටින් අතුගා දැමීම මිස ඔවුන්ගේ පදයට නැටීම නොවේ ය.

රමින්ද මාවතගේ


advertistmentadvertistment