සතුන් වෙනුවෙන් කැපවුණු උතුම් මිනිසෙක්

60

කොළඹ – ආමර්වීදිය පංචිකාවත්ත වටරවුම ආසන්නයේ අංක – 470 යාබද දොරගුලු දමා තිබෙන ගොඩනැගිල්ල ඉදිරිපස පදික වේදිකාවේ පෙ.ව. 7.30 ත් 8.15ත් අතර දිනපතාම දකින්න ලැබෙන දසුන මහත් සංවේදීය. වසාදමා තිබෙන එම ගොඩනැගිල්ලේ දැවැන්ත දොරේ බිමට සම්බන්ධ කොටසේ කොටසක් නිරාවරණයව ඇත. නිරාවරණය වූ ස්ථානයෙන් ඇතුළත පිරිපුන් සුරතල් පූසන් හය හත් දෙනකුගේ නිවස්න බවට පත්ව ඇත.

එම සතුන් හට කෑම රැගෙනවිත් පදික වේදිකාවේ දණ ගසාගෙන කෑම කවන මැදි වයසේ පුද්ගලයකු දක්නට ලැබේ. මොරසූරන වරුසාවක වුවද මෙම පුද්ගලයා තෙත් බරිතව පවා දේව කාර්යයක් සේ නොවරදවාම දෛනිකව උදයේ එම සතුන් හට කෑම කවන අයුරු මහත් සංවේදීව නෙතට දිස්වේ.

වාහන වලින් යනෙන මෙන්ම, පදික වේදිකාවේ පිය මනින පිරිස් හටද මෙම දසුන සුලභව දැකිය හැකිය. ඒ කිසිවක් කෙරෙහි අවධානයක් ඔහුට නැත. වතුර බෝතල් සහ බෑගයක් සහ ලොකු කවරයක් රැගෙන එන හෙතෙම එම ස්ථානයට සමීපවීමට මීටර් කිහිපයක් තිබියදී එක් පූසෙකු ඔහු ඉදිරියට දිවයයි. කෙසේ වෙතත් ඔහු එම ස්ථානයට පැමිණ රැගෙන ආ දේවල් බිත්තියේ ගසා ඇති ඇණයක දවටනවාත් සමග ඇතුළත සිටින පූසන් එළියට පැමිණ කෑගසමින් ඔහු වටා කරකැවේ. බොහෝ දිනවල ඔහු රැගෙන එන්නේ අමු මාළුය. කුමක් රැගෙන ආවද ඩෙනිමක් සහ අත් කොට කමිසයකින් සැරසී සිටින හෙතෙම තම පාවහන් යුගල ගලවා ඒ මත දණ ගසාගෙන කොලයක් එලා තමන් රැගෙන ආ ආහාර පූසන්ට කෑමට දෙයි. සෑහෙන වේලාවක් එලෙස ගතකර, සතුන්ට බීමට වතුර ලබාදී තම දෑතද සෝදාගෙන හෙතෙම නැගිට සිටියි. සතුන් කා බී අවසන් වූ පසු, කෑම දැමූ කොලයද ඉවත්කර සතුන් ගොඩනැගිල්ල තුළට ගිය පසු හෙතෙම පංචිකාවත්ත දෙසට ගමන් කර නොපෙනී යයි.

දිනපතා සිදුවන මේ කටයුත්ත මාද දකින අතර ඡායාරූප කිහිපයක් මා විසින් ගන්නා ලදී. එය දුටු හෙතෙම මහත්තයා ෆේස්බුක් දාන්න නම් එපා. මහත්තයා කවුද? මගේ අනන්‍යතාවය හෙළිකළ පසු ඔහු මා සමග මෙසේ පැවසීය.

මම ජයරත්න. මාලිගාවත්තේ පදිංචිවෙලා ඉන්නේ. ගෙවල් ළඟත් මේ වගේ සත්තු ටිකක් ඉන්නවා. ඒ අයටත් කන්න දීලා තමයි මම මේ තැනට එන්නේ. මෙතන මම කාලයක් සිකුරිටි කෙනෙක් විදිහට වැඩ කළා. දැන් වහලා දමලා කාලයක් ගතවුණා. මේ අයට එදත් මම කන්න දුන්නා. අදත් කරන්නේ ඒකම තමයි.

ඔයා මොකද කරන්නේ?

මම මේ ළඟ සිකුරිටි ජොබ් එකක් කරනවා. ලොකු පඩියක් නැති වුණත් මම හරිම ආශාවෙන් මේ සතුන්ට කන්න අරන් දෙනවා. මාළු එහෙම දැන් ගණන් තමයි. කරන්න දෙයක් නෑ මහත්තයෝ මේ සත්තු අසරණයි. ඉල්ලාගෙන කන්නද? මට පුළුවන් තරම් කාලයක් මේ සත්තු ටික බලාගන්නවා. මම යන්නම් මහත්තයෝ පරක්කු වුණා.

සතුන්ට නොව දෙමාපියන්ටද… කොටින්ම මනුසතාටද ඇත්තටම අද බොහෝවිට හව්හරණක් නැහැ. එවන් සෝචනීය කනගාටුදායක තත්ත්වයක් හමුවේ මෙවැනි සංවේදී පුද්ගලයකුගේ ක්‍රියාකලාපය සැබැවින්ම ඇගයිය යුතු නොවන්නේද?

නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment