සතොසින් හොරා කන සතොස

76

සතොස ගැන ලියනවා තබා සිතන්නටවත් බයය. සතොස ගැන එක අකුරක් හෝ ලිව්වොත් කොලින්ම නවතින්නේ උසාවියේය. එක්කෝ රහස් පොලිසියේය. මාධ්‍යවේදීන් නොව වගකිව යුතු දේශපාලනඥයන් පවා සතොස ගැන කතා නොකරන්නේ ඒ නිසා විය යුතුය. සතොස එතරම්ම ශුද්ධ වූ ආයතනයකි. ශුද්ධ වූ යන්න අර්ථ කිහිපයකින් ගත හැක. එකක් ‘‘සුද්ද’’ කිරීමය. අනෙක ‘‘පිරිසිදු’’ බවය. මේ දෙකම සතොසට ගැළපේ. ‘‘සුද්ද කිරීම’’ අතින් රටේ නම් දරාපු ආයතනයක් බවට සතොස පත්ව තිබේ. ඉතා ඉක්මනින්ම ‘‘පිරිසිදු’’ කළ ආයතනයක් හැටියටද සතොස හඳුනාගත හැකිය.

  • ආයෙත් වංචාවක් හඬ පටයෙන් මාට්ටු

මේ පිරිසිදු කිරීමේ ක‍්‍රියාවලිය ඉක්මනින් ආරම්භ කළ යුතු බව හැඟෙවෙන රතු නිවේදනයක් පසුගියදා වාර්තා විය. ඒ සතොස සභාපතිවරයාගේ ‘‘හඬ පටයක්’’ මාට්ටු වීමෙනි. ඒ කතාව මෙසේය. අදාළ හඬ පටයෙන් කියැවෙන්නේ කෝටි තුනහමාරක මුදල් ගනුදෙනුවක් ගැනය. එය අයථා ගනුදෙනුවකි. ඒ සමඟෙම ඒ හා සම්බන්ධ තවත් වංචා දූෂණ රැසක් පිළිබඳව හඬ පටයෙන් අනාවරණය වී ඇති බව කියැවේ. ‘‘සමහරු’’ ගහපු ගැහිල්ලේ හැටියට කෝටි තුනහමාරත් කජ්ජක් දැයි කෙනෙක්ට සිතෙන්නට පුළුවන. එහෙත් මේ කතාව අසන ඔබට මේ රටේ ජනතාවට වගකියන ආයතනවල සොරකමේ යෙදෙන ආකාරය ගැන තවත් උදාහරණයක් සැපයේ. අදාළ කෝටි තුනහමාරක මුදල කිසියම් ව්‍යාපාරිකයකු විසින් ලබාදී ඇත්තේ මේ වනවිටත් සතොසට සීනි සපයන ව්‍යාපාරිකයා ඉවත් කිරීම වෙනුවෙනි. ඊට පසු සතොසට සීනි සැපයුම කරන්නේ කෝටි තුනහමාර ලබාදුන් ව්‍යාපාරිකයාය.

ඕනෑම ජඩකමකදී අතරමැදියෙක් ගෑවී සිටීම වංචාවක ස්වභාවයයි. මේ කාරණයේදී ගනුදෙනුවේ අතරමැදියා බවට පත්වන්නේ සතොස ප‍්‍රවාහන අංශයේ කළමනාකරුවකු බව කියන ඉන්දික රත්නමල්ලය. අදාළ ව්‍යාපාරිකයා කෝටි තුනහමාරක මුදල ලබාදී ඇත්තේ එකී ප‍්‍රවාහන කළමනාකරුටය. එහෙත් කිසියම් සැකයක් නිසා අදාළ ව්‍යාපාරිකයා මේ ගැන ගනුදෙනුවට සම්බන්ධව සිටි සතොස සභාපතිවරයා දැනුවත් කරන්නේය. මෙම කතාබහ සිදුවන්නේ ජංගම දුරකථන මාර්ගයෙනි. සතොස සභාපතිවරයා එහිදී පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ ව්‍යාපාරිකයා සමඟෙ සංවාදයෙහි යෙදෙන්නේය. ඒ කාලය පුරාම සභාපතිවරයා උත්සාහ කරන්නේ ප‍්‍රවාහන කළමනාකරු ශුද්ධ චරිතයක් බවට පත් කරන්නටය. නොඑසේ නම් තමාගේ ගෝලයා බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නටය.

එමෙන්ම එම හඬපටය අනුව අදාළ ගනුදෙනුව පමණක් නොව තවත් බොහෝ ‘‘අත යට’’ ගනුදෙනු පිළිබඳව හෙළිදරව් වන්නේය. ඒවා අහනවිට දකිනවිට අපට, මේ නිලධාරීන් පත් කරපු අය ගැන පුදුම හිතෙන්නේය. හඬ පටයේ කියැවෙන පරිදි සතොස ආයතනය සතු මිල අධික තඹ යකඩ කියා විකිණීමද, පැරණි වාහන විකිණීම, ආයතනයේ දැනට භාවිත කරන විදුලි සෝපානය ඉවත් කිරීම හා අලූත් සෝපානයක් සවි කිරීමේ ගනුදෙනුව ආදී ජාවාරම් රැසකි. එතෙකින් නොනවතී සීනි මිලදී ගැනීම්, මුං ඇට මිලදී ගැනීම් ආදිය ගැනද කතාබහ රැසකි. මීට අමතරව ‘‘කතාබහට’’ ඇතුළත් නොවූ ගනුදෙනුද තව තිබිය හැකි බව ස්ථිරවම කිව හැකිය. රටක ආර්ථිකය කඩා වැටෙන අස්සෙත් හොරකම් කරන මෙවන් හොරු ගැන ලජ්ජා විය යුත්තේ උන් පුටුවලට පත් කළ අයය.

  • හඬපටය එළියට දමා ඇත්තෙත් කම්බා හොරෙකි

අදාළ හඬපටය එළියට පැමිණ ඇත්තෙත් අපූරු ආකාරයකටය. ආරංචි මාර්ග කියන පරිදි මේ හඬපටය ගැන අනාවරණය කර ඇත්තේ ද ගේම්කාරයෙකි. තක්කඩියෙකි.

ගංජා ළඟෙ තබාගෙන අසු වූ පසු වැඩ තහනමට ලක්ව සිටින පුද්ගලයෙකි. හඬපට එළියට දැමීමේ අරමුණ නැවත තමන්ගේ රැකියාව ලබා ගැනීමය. ‘‘හොරෙක්’’ වෙනුවට ‘‘කම්බා හොරෙක්’’ පත් කිරීම ආණ්ඩුවේ විලාසිතාවක් හැටියට පෙනෙන බැවින් අදාළ තැනැත්තාට රැකියාව ලැබුණද පුදුම විය යුතු නැත. තමන්ගේ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම පිණිස මේ තක්කඩියා තවත් හඬ පට ‘‘එළිදැක්වීමේ’’ සූදානමක් තිබෙන බවද වාර්තා වේ.

ඒ අනුව රටේ ජනතාව සිහි තබා ගත යුත්තේ එළියට ආ හොරා මෙන් තවත් බහුතරයක් හොරු තවමත් සතොසෙහි රැඳී සිටින බවය. උන් සතොසේ සිටින තාක් ජනතාව දුකසේ බවය.

සතොස සභාපතිවරයා නීතිඥවරයකු වූ වෙනුර ගුණවර්ධනය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳ උපාධිධරයෙකි. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රාජ්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ උපාධිධරයෙකි. එමෙන්ම හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකි. හිරේ විලංගුවේ නොවැටී වෙනුරට නැවත එම තනතුරම ලැබුණද කිසිවකුත් පුදුම විය යුතු නැත.

සතොස ගබඩාවේ සුදු ලූණු වංචාව ගැන කිවූ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන එම තනතුරෙන් ඉවත් කෙරිණි. එතැන් පටන් තුෂාන්ට කට උත්තර දීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බඩගාන්නට සිදුවිය. තුෂාන්ට විදෙස් ගමන් තහනම් විය. ගමන් බලපත‍්‍රය පොලිස් භාරයට ගැනිණි. හොරකම පිටුදැක්ක තුෂාන්ට එවැනි ඉරණමක් අත්වන විට ඒ ගැන ලියූ මාධ්‍යවේදීන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි. ඒ හොරකම ගැන ලියූ නිසාය. ඒවා අපූරු විමර්ශන කටයුතුය. විමර්ශන කටයුතු එතරම්ම දියාරු නිසා හොරකම කරන එකා හොරකම නවත්වන්නට සිතන්නේ නැත. විශේෂිත කාරණය වන්නේ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තනතුරට තුෂාන් ගුණවර්ධන පත්කරන ලද්දේ ජනාධිපතිවරයා වීමය. ඒ දිනවල තුෂාන් මාධ්‍යයට කීවේ තමා එම තනතුරට පත් කළේ දූෂණය නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟෙතාව මත බවය.

සතොස සභාපතිවරයා ලෙස වෙනුර ගුණවර්ධන පත්කර ඇත්තේද ජනාධිපතිවරයාය. එහෙත් තුෂාන් කිවූ කතාව වෙනුර ගුණවර්ධන තවමත් කීවේ නැත. පත‍්‍රය මුද්‍රණයට යන මොහොත දක්වාම වෙනුර ගුණවර්ධන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට හෝ පොලිසියට හෝ කැඳවා තිබුණු බවක් වාර්තා වූයේද නැත.

  • වැඩ තහනම

පසුගිය දිනෙක සතොස සභාපතිවරයාගේ සහ ප‍්‍රධාන කළමනාකරු ඉන්දික රත්නමලලගේ වැඩ තහනම් කර තිබිණි. එමෙන්ම අදාළ හඬපට ගනුදෙනු ගැන පමණක් නොව 2019- 2021 දක්වා වූ වසරවල සිදු වූ මූල්‍ය අක‍්‍රමිකතා, අයථා ගනුදෙනු සියල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නට අමාත්‍යාංශ ලේකම්වරියට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා උපදෙස් දුන් බව වාර්තා විය. එම විමර්ශනයන් සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන් තිදෙනකුගෙන් යුතු පරීක්‍ෂණ කමිටුවක් පත්කරන්නට ද සූදානම්ය. එහෙත් මෙවැනි තක්කඩිකම් කරන උදවිය ඒවා පයිසෙකට මායිම් කරන්නේ නැත. වෙනසක් ඇති කිරීම ජනාධිපතිවරයාගේ අභිලාෂය වුවද එය හෑල්ලූවට ලක් කරන මෙවැන්නන් තෝරාගත්තේ කවර හේතුවක් නිසාද යන්න පුදුමයකි. සේවය අත්හිටුවුවද පසුගියදා සිය ගෝලයා වූ ඉන්දික සමඟෙ සතොසට පැමිණ රාජකාරි ආරම්භ කර ඇත්තේ තමන් ඉවත් කරන්නට බන්දුල කවරෙක්ද යනුවෙන් විමසමිනි. හිටපු සභාපතිවරයා එසේ අවිනයවත්ව හැසිරී තිබෙන්නේ කොවිඞ් අසාදිතව සිටියදීය. හිටපු සභාපතිවරයාට කොවිඞ් වැළඳී ඇති බව ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂාවකින් තහවුරුව ඇත්තේ පසුගිය 11 වැනිදාය. එසේ තිබියදීත් 15 වැනිදා ඔහු බලහත්කාරයෙන් සේවයට වාර්තා කර තිබේ.

‘‘වියත් යැයි කියන සභාපතිවරුන්ගේ හැසිරීම මෙතරම් නිර්ලජ්ජි තැනක තිබීමම ප‍්‍රශ්නය තේරුම් ගැනීම සඳහා ප‍්‍රමාණවත්ය.

සතොස නිලධාරීන් මෙසේ ගසාකන විට සතොසට වඩා අදායම් උපදවන ආයතනවල තරම අමුතුවෙන් කිව යුතු නැත. පාලකයන් කෙසේ වෙතත් රටේ ජනතාව මේ බව තේරුම්ගත යුතුය. මේ ගහන්නේ අපේම බඩටය.

උදේශ සංජීව ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment