සද්ධන්තයන් දණ ගැස්වූ තාරුණ්‍යයේ හීන්සැරය

271

* දින 25 ක් ගතවන ගාලුමුවදොර අරගලයට පසුවදනක්

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවූයේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අලුත් අවුරුද්දක් ලෙස ය. ඒ උදෑසන මා නින්දෙන් පිබිදුණේ ස්වාභාවිකවම ය. අලුයම හෝ රාත්‍රිකාලය මුළුල්ලේ හෝ රතිඤ්ඤා හඬක්, වෙඩි හඬක්, රබන් හඬක් වැනි බාධකයක් මගේ නින්දට අඩ තැබුවේ ද නැත. වීථී සුනඛයන් බිය වද්දමින් වෙනදා තොරතෝංචියක් නැතිව පුපුරාගිය වෙඩිවරුසා අවම වීම, අභාවයට යෑම කවදත් මගේ එක් ප්‍රාර්ථනයක් වූයෙන්, ඒ නිසංසල උදෑසනේදී ම සිතට නැගුණේ අස්වැසිල්ලකි.

එහෙත් ඒ නිහැඬියාව, ගර්ජනාවක් බවට පත්ව තිබුණේ ගාලුමුවදොර පිටියේ දී ය. එහි රාව නැංවූයේ තරුණ තරුණියෝ ය. ‘මේ පරපුරේදී අපහට සිදුවේ තැවිලි ගන්නට, දුදනන් විසින් කළ දුෂ්ට කටයුතු ගැන නොව, සුදනන් විසින් පෑ භයංකර, අශෝභන නිහැඬියාව ගැන යනුවෙන් මාටින් ලූතර් කිං අවධාරණය කළ ඒ ගැඹුරු අදහස, රුවන් වැකියක් ලෙස පමණක් මෙතෙක් ප්‍රතිඋච්ඡාරණය කරමින් හුන් අප වෙනුවෙන්, එය ක්‍රියාවට නැංවූවෝ ඔවුහුම වෙති. ඔවුන්ගේ අරගලය, ‘නිර්දේශපාලනික’ යැයි කීව ද සත්‍යයට වඩාත් ළංවන්නේ ‘එය පක්ෂ දේශපාලනයෙන් තොර’ යැයි කීම ය. එහෙත් එහි දේශපාලනයක් නොවූවේ යැයි කිසිසේත් කිව නොහැකිය. Gota Go Home යන ඔවුන්ගේ කෙටි තේමාපාඨය තුළ ගැබ්ව තිබුණේ දිග කතාවකි. 225 ගෙදර යන්න යන ඉලක්කම් තුනෙන් හා අකුරු හයෙන් අර්ථ ගැන්වුණේ ද ඔළුගෙඩි පිළිබඳ කතාවක් ම නොවන බැවින් දේශපාලන පක්ෂ නියෝජිතයන් ඒ ගැන එතරම්ම කලබල විය යුතු නැති බව අපගේ අදහසයි. කෙසේ වුවද මහා ජලගැල්මක් මෙන් හදිසියේ මතුව නැගුණ තාරුණ්‍යයේ ප්‍රවාහයට යමක් එක්කිරීම සඳහා තමනට අවකාශයක් විවර නොවීම හේතුවෙන් මඳ විපිළිසරයකට පත්ව සිටින එකම කණ්ඩායම දේශපාලන පක්ෂ පමණක් ද නොවේ. අදේශපාලනිකව යම් යම් සමාජ ක්‍රියාකාරකම්වල නියැළුණ ඇතැම් පුද්ගල කණ්ඩායම් තුළට ද මදිපුංචිකමකට හුරු හැඟීමක් කාන්දු කිරීමට මේ විකසිත තාරුණ්‍යය සමත් වූ බවක් පෙනෙයි. කෙසේ වුව ද හිතේ සවිය, ගතේ සවියට යාවූ විට තරුණ ජවය ප්‍රාතිහාර්ය පාන අන්දම දැකබලා ගැනීමට අවශ්‍ය නම් අද දවසේදී යායුතු හොඳම තැන වන්නේ ගාලුමුවදොර පිටිය වන බව අපගේ අදහසයි.

සාගර වෙරළෙන් අලුත් සාගරයක් පැන නැගුණාක් මෙන් රැළි නගමින් පැවැති තාරුණ්‍යයේ හඬ, සිත තුළ ප්‍රබෝධයක් මෙන්ම බලාපොරොත්තුවක් ද ජනිත කළේ එය දුටු මුල් අවස්ථාවේදී ම ය. සැබැවින්ම එය මා අන්දමන්ද කළේ ය. සිත විස්මපත් කළේ ඒ ජවයට, වේගයට සමාන්තරව ඔවුන් ප්‍රකටකළ පුදුමාකාර සංවරය යි. ක්ෂණික අරගලයකට එවැනි විනයක්, ශික්ෂණයක් ආරෝපණය වූයේ (පවත්වාගත හැකිවූයේ) කෙසේ ද යන්න අවිනිශ්චිතයි. කිලෝමීටර ගණනාවක් දිග්ගැස්සුණූ වාහන පෝලිමේ මඳක් නිශ්චලව සිටි අතරේ මම විමසුම් සහගත නිරීක්ෂණයක යෙදුණෙමි. නොඉවසුම් සහගතව වාහනය ඉස්සර කරගැනීමට වලිකන, පරුෂ වචනයෙන් එකිනෙකාට බැණ අඬගසා ගන්නා රියැදුරන් මා දුටුවේ ම නැත. හිරවීම්, තෙරපීම් මැද සැලකිය යුතු දුරක් පාගමනින් ගෙවා දමද්දී ඇඟේ හැපුණු පමණින් කඩා පනින මිනිසුන් මට හමුවූයේ ද නැත. මාර්ග නීති නොතකන, අනීතික, අසංවර පදිකයන් ලෙස ඇතැම්විට දෝෂදර්ශනයට ලක්ව සිටි ග්‍රාමීය හා නාගරික මිනිසුන් ප්‍රකට කරමින් සිටියේ ඇදහිය නොහැකි ශික්ෂණයකි. මුහුදු සුළඟ ගෙනඑන ගීතරාව, සංගීතරාව හා සටන්පාඨ සමෝසමේ සංකලනය වෙමින් හැම හදවතකටම, හැම සිරුරකටම අලුත්ම ජීවන රිද්මයක් කාවද්දා තිබුණාක් සේ ය. අරගලයේ එක් ප්‍රබල සටන් පාඨයක්, තුර්ය වාදනයක් පරිද්දෙන් වා මඬලේ රැව් නැගුණේ ය. වාහන නලාව තුර්ය භාණ්ඩයක් බවට පත්කරගෙන සිටියේ සියදහස් ගණනක් වූ රියැදුරෝ ය. මේ රිද්මය, මේ අභ්‍යාසය ඔවුනට එක රැයින් පුරුදු පුහුණු කළ ගාන්ධර්වයකු පංචසිඛයකු කොතැනින් නම් ප්‍රාදුර්භූතවූවේ දැයි සිතා ගැනීම අසීරු ය.

සංගීතරාව, ගීතරාව ඉහවහා යන අරගල භූමිය සැබෑ සටන් බිමක් ද යන පැනය ඉස්මත්තට නැගෙමින් ඇත්තේ ද ඒ සමග ය. සැබැවින්ම එය අමුතු ය: ආගන්තුක ය. සාමාන්‍යයෙන් නම් අරගලයක්, කැරැල්ලක් කියන්නේ ඩා දියෙන් කඳුළෙන් හා රුධිරයෙන් නිර්මිත වූවකට ය. මෙය අරගලයක් දැයි ප්‍රශ්න කෙරෙන්නේ ඒ නිසා ය. ගාලුමුවදොර පිටියේ රැළි නගන්නේ සටනක් දැයි විමසන අතිමහත් බහුතරය කියවා ඇත්තේ ද අප කියවූ ඉතිහාස පොතම ය. ඉතිහාසය අවසාන යැයි කියා ඇත්තේ ෆ්‍රැන්සිස් ෆුකුයාමා ය. එහෙත් ලෝකයේ, ජීවිතයේ අනවරත වෙනසට සමගාමීව මිනිසාගේ පූර්ව නිගමන සුන්නද්දූලි වී යෑමේ සම්භාවිතාවක් ද පවතී. ඒ බව පෙනීයන්නේ දාර්ශනික මානයකින් ප්‍රශ්නය දෙස බැලූවකුට ය. එක මිනිසකුට එකම ගඟකට දෙවරක් බසින්නට බැරි යැයි කීවේ ග්‍රීක චින්තකයකු වූ හෙරක්ලිටස් ය. කෙසේ වෙතත් යුද කඳවුරක ලක්ෂණ, ගතිසොබා අතික්‍රමණය කළ මේ ප්‍රජාතත්ත්‍රවාදයේ සටන් භූමියට භාෂාවේ අලුත්ම වචනයක් සොයා සපයා ගත යුතු බව ය. අපගේ අදහස වන්නේ.

අපට හැඟෙන දැනෙන හැටියට නම් ‘ගෝඨා ගෙදර යන්න’ යන කෙටි සටන් පාඨය තුළින් තරුණ තරුණියන් පවසා සිටින්නේ ගෝඨා හෝ රාජපක්ෂවරුන් පමණක් හෝ අකුළාගෙන යා යුතු බව නොවේ. ඔවුන් ඉල්ලා සිටින්නේ සමස්ත ක්‍රමයේ ම වෙනසකි. අලුත්ම නිදහසකි. කවරනම් නිදහසක් ද? නිදහස් දිනයේ රාජ්‍ය නායකයා සහ ආර්යාව එකපෙළට සිටුවා (දෙවන තෙවන මංගල පෝරු මස්තකප්‍රාප්තවීමක් සිහිකැඳවමින්) ඔවුනට ගෞරවාචාර දැක්වීම සඳහා කෝටිගණන් මුදල් පුළුස්සා හරින නිදහස් උත්සවවලින් නිදහස් විය යුතු යැයි ඔවුහු කියති. අසාධ්‍ය රෝගීන් මහමග සිටුවා පොදු මංමාවත් සින්නක්කර අයිතියට පවරා ගනිමින් පිම්මේ ඇදීයන මහේශාඛ්‍ය, ප්‍රභූ දේශපාලකයන්, මහජන නියෝජිතයන් ලෙස නම් කිරීමේ විහිළුව නතර කරන මෙන් ඔවුහු ඉල්ලා සිටිති. සුදුස්සාට, නවෝත්පාදකයාට හුළං බොන්නට සලස්වා ගජමිතුරු කල්ලියේ පුස්සන්ට, මැට්ටන්ට තුණ්ඩුකෑලිවලින් රැකියා ලබාදීමේ ක්‍රමවේදය තුරන් විය යුතු බව ඔවුහු කියා සිටිති. රටේ මර්මස්ථානවල උස පුටුවලට නිකමුන්, අල්පශ්‍රැතයන් පත්කිරීමේ නිශේධනීය ක්‍රමවේදයට තිත තැබිය යුතු බව ද පවසති.

මෙවර නොනගතයේදී පන්සල් යන්නට හැකි වූයේ මේ රටේ සුළුතරයකට ය. අවුරුද්දට ගම්රටවල් බලා යන මිනිසුන්ගේ බහුතරය මෙදා නැකැත් ගෙවෙනතුරුම රැදී සිටියේ තෙල් පෝලිම්වල ය: ගෑස් පෝලිම්වල ය. මුළු රටම ගතකරමින් සිටියේ පැය ගණනකට සීමා නොවූ දීර්ඝ නොනගතයකි. මේ නොනගතය ගෙවීයන වෙලාව ගැන අනාවැකි පළකළ හැකි නැකැත් කරුවකු සිටියේ නැත. රාජ්‍ය නායකයා හෝ මුදල් ඇමැතිවරයා හෝ මහබැංකු අධිපති හෝ ඒ ගැන දැන සිටියේ ද නැත. තරුණ තරුණියන්ට පෙරමුණ ගන්නට සිදුවූයේ මේ රටේ ඒ දීර්ඝකාලීන නොනගතය නිමාකරනු පිණිස ය.

බොහෝ මිනිසුන් මෙවර අවුරුදු සැමරීම සඳහා පිටව ගියේ තමන්ගේ ගම් රටවලට නොව අගනුවර හදවත කරා ය. මේ හදවත, මේ ගම, මේ ජනපදය නම් කර තිබුණේ ‘ගෝඨාගෝගම’ ලෙස ය. ගෝඨාගෝගමට නෑගම් ආවේ සිංහල, දමිළ, මුස්ලිම් ඥාතීහු ය. මේ අපූරු සුසංයෝගයේ, සොඳුරු ඥාතිත්වයේ අරමුණ පිළිබඳ සාහිත්‍යයික නිදසුනක් සපයන්නේ ‘ගොවිපළේ පෙරැළිය’ නම් වූ පරිවර්තිත නවකතාව ය. ගොවිපළ තුළ යදම්වලින් බැඳ සිරකර සිටි සියලු වර්ගයේ සතුන් – ශාක භක්ෂකයන්, මාංශ භක්ෂකයන් එකමුතුව, ඒකරාශීව සිටියේ පොදු සතුරාට එරෙහිව ය. දීර්ඝ කාලයක් මු`ඵල්ලේ හාම්පුතුන් විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මර්දනය, අසාධාරණය වෙනුවෙන් සකලවිධ වූ වර්ගීකරණයන් ඉවත හෙළීමට සතුනට සිදුවී තිබිණ.

ගෝඨාගෝගම කරා පැමිණි සිංහල, දෙමළ, මුස්ලිම් නෑදෑයෝ සිංහකොඩි අත දරමින් ඒ ඓතිහාසික අවුරුදු උලෙළ වර්ණවත් කළහ. දේදුන්නක වැනි අමුතුම වර්ණ සංකලනයක් වූ එහි සම්ප්‍රදාය මෙන්ම නූතනත්වය ද සංගීතය හා නර්තනය ද සිතුවම ද එකහා සමානව දැකගත හැකි විණ. මේ අපූරු, ආගන්තුක දසුන අපට කීවේ ‘මේ රටේ ජාතිභේද වැපිරුවේ රාජපක්ෂවරුන් ය.’ යන මතවාදය වෙනසකට බඳුන් විය යුතු බව ය. ඒ අනුව ‘ජාතීන් භේදභින්න කළේ රාජපක්ෂවරුන් නම් ඒ සියලු ජාතීන් එක් කළේ ද රාජපක්ෂවරුන් මය’ යනුවෙන් අපි එය සංශෝධනය කළෙමු.

අප සිංහල අවුරුද්ද සමරමින් සිටින්නේ චිරාත් කාලයක සිට ය. අවුරුදු උදාවෙමින්, ගෙවීයමින් පැවැති ඒ දීර්ඝ කාලසීමාව මුළුල්ලේ ම චින්තනයෙන් අලුත්වීමේ වුවමනාවක් අප වගා දිගා කර ගත්තේ ද යන්න සැක සහිත ය. හැමදාමත් අපි නොනගතයට පන්සල් ගියෙමු: ලිතක් ඇතත් නැතත් රූපවාහිනි නාලිකාවකින් නැකැත් වේලාව විමසා, වේලාව නොවරදවා ළිපගිනි මෙළවූවෙමු: හිස තෙල් ගෑවෙමු. රාජ්‍ය නායකයෝ ද මේ සිරිත් මේ ආකාරයෙන්ම අනුගමනය කළ හ. එහෙත් ඒ රූපවාහිනි කැමරා මධ්‍යයේ ය. දර කෑල්ලක් අතින් අල්ලා නැති සුකුමාළ ආර්යාවන් ළිප ගිනි මෙළවීම සඳහා ගිනිකූරු ගසන විසුළු දසුන් දෙස අපි ඔහේ බලා සිටියෙමු. රාජ්‍ය නායකයන්ගේ නීරස, ඒකාකාරී අවුරුදු පණිවිඩ, අවුරුදු ප්‍රාර්ථනා ඔවුනට පමණක් ශුභඵල අත්පත් කරදෙන ආකාරය දකිමින් තුෂ්ණිම්භූතව පසුවුණෙමු. අප සියල්ලන්ම රට ද සමගින් අවුරුද්දෙන් අවුරුද්දට අශුභය කරා පල්ලම් බසිද්දී ප්‍රදර්ශනකාමීව අවුරුදු සිරිත් අනුකරණය කළ රාජ්‍ය නායකයෝ විදුලි වේගයෙන් සෞභාග්‍යය කරා ඇදීයමින් සිටිය හ. හිඟන්නාගේ ආධාර පවා ලබාගත යුතු තරමට රටක් වශයෙන් අපි බංකොළොත් වී සිටියෙමු. දුක් මහන්සියෙන් ගෙවා දැමූ අපගේ බදුමුදල් මකර කටක් තුළ අතුරුදන් වෙද්දී නායකයන් ඩොලර් කඳු මත පන්දු කෙළිමින් සිටින්නේ කෙසේ දැයි සිතන්නට අපට ඉස්පාසුවක් තිබුණේ ද නැත.

ශූභඵල යැයි කියන්නේ තනිවම භුක්ති විඳිය හැකි, පෙට්ටගමක සඟවා තැබිය හැකි කිසිවක් නොවන බව අපට ඒත්තු යමින් ඇත්තේ දැන් දැන් ය. රටේ විදේශ විනිමය බිංදුවට බැසීම යැයි කියන්නේ අපගේ පෞද්ගලික බැංකු ගිණුම හිස්වීමට ද වැඩියෙන් අහිතකර, භයංකර තත්ත්වයක් බවත් මුදල් නෝට්ටු, කඩදාසි කැබලි බවට පත්වන ආකාරයත් අපට තේරුම් කර දෙන්නේ ඉන්ධන පෝලිම්වල අත්දැකීම් ය. ‘සියරට දේ සිරිසැප දේ’ ස්ලෝගනය අදටත් වලංගු වන්නේ නම් තෙල් පෝලිම්වල ගෑස් පෝලිම්වල තවදුරටත් තැග්ගැහි ගැහි ඉන්නට සිදුවන්නේ නැති බව අපට කල්පනා වන්නේ ද මේ අල්ලපනල්ලේම ය.

සයුරුතෙර රැළිනගන, රැස්විහිදුවන තාරුණ්‍යයේ කාහළ නාදය අපට වරින්වර තට්ටු දමන්නේ මේ අතීතය මතක්කර ගැනීමට ය. අවුරුදු පහකට වරක් ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් පැන්සලෙන් කතිරයක් ගැසූ පමණින් අපගේ සමාජ වගකීම නිමා නොවන බව යළි යළිත් අපට සිහිකැඳවන්නේ ඔවුන් ය. තවමත්, මේ මොහොතේත් අප රැඳී සිටින්නේ ගෙවල් ඇතුළේ ය. එහෙයින් අරගලයේ අවසානය කුමක් දැයි ප්‍රශ්න කිරීමටත්, අරගලයට පාඩම් කියා දීමටත් වඩා වැදගත් වන්නේ මෙතෙක් ලබා ඇති ඔවුන්ගේ ජයග්‍රහණ ගැන විමසීම ය. කැබිනට් මණ්ඩලයක් ගෙදර හැරීමෙන් ඇරඹුණ ඒ ජයග්‍රහණ, දිග්ගැසෙමින් තිබූ සුප්‍රකට සීනි වංචාව කෙරෙහි විගණකාධිපතිගේ ඇස් ක්ෂණිකව විවර කරලීම දක්වාම ප්‍රසාරණය වෙමින් පවතී. ‘ප්‍රේම වඩා සැම භේද දුරැර දා’ මුළු රටම එක කොඩියක් යටට ගෙන ඒමට සමත්වීම මේ සටනේ විශේෂත්වයයි: අපූර්වත්වයයි.

එහෙත් මේ තරුණ රැල්ලේ අනාගතය ගැන අනාවැකි කියන්නට අපට පුළුවන් කමක් නැත. මේ සටහන අදාළ වන්නේ එහි වර්තමානයට ය. කුමාරතුංග මුනිදාස සූරීන් ‘හීන්සැරය’ කෘතිය ලියා ඇත්තේ ද සද්ධන්තයන් දණගැස්සීමට කුඩා සතෙකුට ඇති හැකියාව පෙන්වා දීමට ය. කෙසේ වෙතත් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අලුත් අවුරුද්දක් බවට පත් කළේ තාරුණ්‍යයේ හීන්සැරය ම බව නම් නොකියාම බැරිය.

කැත්ලීන් ජයවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment