සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය සහ සසඳ කවි

367

‘ගමන්කවි’ හෙවත් ‘සසඳ කවි’ පාදක කර ගනිමින් රෝහණ බැද්දගේ සූරීන් විසින් නිර්මාණය කර තිබෙන මේ ගීතය සිංහල ගීත සමය පිළිබඳව ලියන ලද මහාර්ඝ පොතක් වැන්න. අතීතයේ මෙරට සංස්කෘතිය මහායාන බුදුදහමින් ද පෝෂණය වී තිබෙන බව නොරහසකි. සීගිරිය ද ඒ පිළිබඳ ව සාක්‍ෂි සපයා තිබේ.

පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයෙන ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ගේ පදරචනයක් වන “සතරවරම් දෙව් මහරජ” ගීතයේ අන්තර්ගත, ‘කලාවැව් දියේ උත්පල නෙළාගෙන ඇඟිලි පොකුරට’ යන්නෙන් සනාථ වන්නේ ද ඒ යථාර්ථය ම ය. ජලයේ ඉපදී, ජලයෙන් ඉහළට ඇදී ජලයේ නොගැටී පවතින ආකාරයේ නෙළුම් මලක් හෙවත් පද්මාකාර ජීවිතයක් එයින් දැක් වේ. එය, පරම ආධ්‍යාත්මික සුන්දරත්වය ය.

එක් අතකින් ගොනුන් බැඳි කරත්තය යනු, සංසාරයේ ස්වභාවය පිළිබඳ දස්සනානුත්තරීය දහමක් ප්‍රකාශිත සංකේතයකි. එසේම මෙබඳු ගමන් කවි යනු, අසාර සංසාරය පිළිබඳ සවනානුත්තරීය දහමක් ප්‍රකාශිත ජන සාහිත්‍යයකි. ඒ අනුව, “සකිය සගව්වට” යනුවෙන් නිර්මාණය වී තිබෙන්නේ උත්තම දහමක් ප්‍රකාශිත නූතන ගීතයකි. ආසියානු ධර්ම චින්තාවට අනුව බුදුන් වහන්සේ ප්‍රමුඛ, දෙවිවරු පද්මාසන මත වැඩ සිටිති.

එසේ නම්, ‘සගව්ව’ යනු කවරක් විය හැකිද? එයින් ‘ස-දෙව්’ ලෝක, වෙත යන ගමන් මාර්ගය සංකේතවත් වන බවට අනුමාන කළ හැකි ය. රෝදය යනු, දුක සැප ලෙසින් පෙරළෙන සංසාරය නමැති රියසක ය. කරත්ත ගමන දුක්ඛදායක ය.

එහෙයින් කරත්තකරුවෝ එසේ ගමන් යන අතරේ සසරේ දුක මෙනෙහි කළ හ. ‘සසඳ කවි’ යනු සංසාරය සහ බුදු දහම සසඳමින් ගායනා කරන ලද ජන සාහිත්‍යාංගයකි.

ඒ අනුව ‘දියපල්ලේ තිබෙන අල’ යනු කර්මය වේ.! ‘දිය මතුපිට තිබෙන කොළ’ මස්තකයෙහි වසන මස්ටකයන් යනු, සදහම් පරිසරය ආශ්‍රිත ව වෙසෙන්නා ය. මස්ටකයන්ට නෙළුම් මල, මුතුකුඩයකි. ඒ, පද්මාකාර ජීවිතය හෙවත් සදහම් මග ය.

සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයෙන් දේශනා වී තිබෙන්නේ, එකී සදහම් පණිවිඩය ය.

advertistmentadvertistment
advertistmentadvertistment