සද්‍රාන් ලා ශ්‍රී ලංකාවට දැවැන්ත අභියෝගයක් එල්ල කරති

166

ආරම්භක පිතිකරු ඉබ්‍රහිම් සද්‍රාන් තරගාවලිය තුළ ලබා ගත් දෙවෙනි ශතකය සහ නජිබුල්ලා සද්‍රාන් ඔහුට සහාය වෙමින් ලබා ගත් අර්ධ ශතකයේ සවියෙන් ශ්‍රී ලංකාවට එරෙහි අවසාන එක් දින තරගයේදී කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස් කිරීමට සංචාරක ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ ඊයේ (30 වැනිදා) මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී සමත් වූහ.

තරගාවලියේ එකදිගට තෙවැනි තරගයේදී ද කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයාට අහිමි වූ අතර ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන නායකයා තීරණය කළේය.

එහෙත් ඇෆ්ගනිස්තාන ඉනිමේ ආරම්භය එතරම් සතුටුදායක එකක් නොකිරීමට මීට දින තුනකට පෙර දී යුග දිවියට පිවිසි වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත වගබලා ගත්තේය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු රහමනුල්ලා ගුර්බාස්ගේ කඩුල්ල සිය දෙවන පන්දුවාරයේ පළමු පන්දුවේදී දවාගත් අලුත් මනමාලයා පළමු තරගයේ දී සහ දෙවැනි තරගයේදී අර්ධ ශතක ලබාගත් රාමට් ශා ගේ කඩුල්ල ද සිය දෙවෙනි ගොදුර ලෙස ලකුණු 22කට දවා ගත්තේය.

ඇෆ්ගනිස්ථාන නායකයාගේ ඉනිම ලකුණු 4කට සීමාකිරීමට ධනංජය ද සිල්වා සමත් වූ අතර ඒ වන විට ඇෆ්ගනිස්ථාන ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලෙස දිස්විය.

එහෙත් හතර වැනි කඩුල්ල සඳහා ලකුණු 154 ක ශ්‍රී ලංකාවට හිසරදකාරී සම්බන්ධතාවයක් පැවැත්වීමට සද්‍රාන් දෙපළ සමත් වූහ. එහිදී ක්‍රියාත්මක වූ වනිඳු හසරංග නජිබුල්ලාගේ ඉනිම ලකුණු 77කට නිමා කිරීමට සමත් වුවද ඉබ්‍රහිම් සද්‍රාන් ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ගැලවීමක් නොවීය.

මෙවර තරගාවලියේ පළමු තරගයේ දී ද ලකුණු 106 ක් ලබා ගැනීමට ඉබ්‍රහිම් සද්‍රාන් සමත්ව සිටියේය.

ඊයේ තරගයේ දී ඉබ්‍රහිම් සද්‍රාන් පන්දු 138කදී ලකුණු 162ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 15ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 3ක්, වනිඳු හසරංග කඩුලු 2ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 1 ක් සහ ධනංජය ද සිල්වා එක කඩුල්ලක් දවා ගත්තේය.

ලහිරු කුමාර සහ ධනංජය ලක්‍ෂාන් වෙනුවට මෙම තරගය සඳහා දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කැඳවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment