සන්නිවේදන විෂයට ගත යුතු ශිලා ලේඛණය

138

මෙකල ජනසන්නිවේදනය පිළිබඳ විශේෂයෙන් තරුණ පරපුරේ ඉතා විශාල අවධානයක් යොමු වී ඇති බව ඉතා ප්‍රකට කරුණකි. මා ඉතා සමීප ලෙසින් ඇසුරු කළ ජනසන්නිවේදන මාධ්‍යය පිළිබඳ ග්‍රන්ථ පහළොවක් පමණ ආචාර්ය නන්දන කරුණානායක මහතා විසින් ලියා ඇත. 2003 වර්ෂයේදී පළ කරන ලද ‘මානව සන්නිවේදනය’ නම් වූ ග්‍රන්ථයේ (පිටු 290 පමණ වූ) එක්තරා කරුණක් ඔහුගේ එම ග්‍රන්ථය ආරම්භයේදීම ලියා ඇත්තේ මෙසේය.

ජනසන්නිවේදන විෂයෙන් ආචාර්ය උපාධිය ලද (1972) ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන ඇමරිකාවේ එක්සත් ජනපදයේ මිනසෝටා බුවර්හෙඩ් රාජ්‍ය සරසවියේ ජනසන්නිවේදනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ෂෙල්ටන් ගුණරත්න සූරීන්ට එම ග්‍රන්ථය පුදකරන බව එහි සටහන් කර ඇත. (2003දී) ආචාර්ය නන්දන කරුණානායක මහතා ජනසන්නිවේදනය පිළිබඳ ලියූ ග්‍රන්ථයන් රැසක් මා විසින් ද පරිශීලනය කර ඇත.

ජනසන්නිවේදන මාධ්‍ය විශ්වවිද්‍යාල අධ්‍යයන ක්ෂේත්‍රය තුළ මා දන්නා තරමින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා සහ මහාචාර්ය විමල් දිසානායක මහතා (මෙකල ඇමරිකා එක්සත් ජනපදයේ හවාඩ් විශ්වවිද්‍යාලයේ) තවත් රැසක්ම මුල්ම යුගයේ මෙම ක්ෂේත්‍රයේ විශ්වවිද්‍යාලයන්හි (විශේෂයෙන් කැලණි විශ්වවිද්‍යාලයේ) ජනසන්නිවේදනය පිළිබඳ අධ්‍යයන ක්ෂේත්‍රයේ නියමුවන් ලෙසින් හඳුන්වා දිය හැකිය. මාගේ පුවත්පත් කලාව පිළිබඳ ක්ෂේත්‍රයේ ප්‍රායෝගික උපදේශකවරයකු වූ විශ්වවිද්‍යාල සන්නිවේදන කථිකාචාර්ය වූ ද ආචාර්යවරයකු ද වූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ද මාගේ පුවත්පත් කලා ක්ෂේත්‍රයේ කටයුතු සඳහා අතහිත දුන් විද්වතෙකි.

මා මෙසේ සටහන් කිරීමට අදහස් කළේ සති අන්ත ප්‍රවෘත්ති පත්‍ර කීපයකම ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් ‘ජනමාධ්‍ය අධ්‍යයනය සහ පුවත්පත් කලාව’ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ එකොළොස් වැනි කණ්ඩායම සඳහා වන පාඨමාලාව ආරම්භ කරන බව සඳහන් කර තිබූ නිසාය. මෙය සැබැවින්ම මෙකල තරුණ මාධ්‍යවෙදීන් හා මාධ්‍යවේදිනියන්ට මීට ඉහතදී පවත්වන ලද මෙම ඩිප්ලෝමා පාඨමාලා 10කින්ම උපරිම ඵල නෙළා ගෙන මෙකල ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටීම ඉතා වැදගත්ය. විශේෂයෙන් මුද්‍රිත මාධ්‍යයන්ට සම්බන්ධ වී කටයුතු කරන පිරිසට ඉතා වැදගත් අවස්ථාවක් මෙයින් උදාවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

මේ ගැන එම පුවත්පත් දැන්වීම අනුව මෙතෙක් ඩිප්ලෝමා පාඨමාලා 10ක්ම පවත්වා ඇත. එම ඩිප්ලෝමා පාඨමාලාවලට ඇතුළත් කර ගැනීමට නොහැකි වූ විෂය ක්ෂේත්‍රයක් පිළිබඳ අවධානය යොමු කිරීම මෙම ලිපිය ලිවීමේ පරමාර්ථයයි.

අප රටේ පැරණිම අක්ෂර හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ලංකාවේ ගල්ලෙන්වල ලියන ලද බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලා ලේඛනයන්ය.

සන්නිවේදන විෂයට ගත යුතු ශිලා ලේඛණය

බ්‍රාහ්මී අක්ෂර සහ අප මෙකල භාවිත කරන සිංහල අක්ෂර

බ්‍රාහ්මී අක්ෂර ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ පටන්ම ලංකාවේ භාවිතා වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා විසින් ලියන ලද INSCRIPTIONS OF CEYLON (පළවෙනි වෙළුම) (ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් සිලෝන්) යන ග්‍රන්ථයෙහි (1970) මෙම සිංහල අක්ෂර මාලාව බ්‍රාහ්මී අක්ෂරවලින් මුලදී පැවතුණු බවත් ඒවා පසු කාලයේදී සිංහල අක්ෂර බවට පත්වී ඇති ආකාරයත් අවධාරණයට ලක්කර ඇත. එතුමා පමණක් නොව ඊට පසු මා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන කාලයේ (2003) හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න මහතා ද මේ පිළිබඳ විග්‍රහ කරමින් ලියා ඇත.

ජනමාධ්‍ය අධ්‍යයන හා පුවත්පත් කලාව පිළිබඳ ඩිප්ලෝමාව ඉහත සඳහන් මෙම ඩිප්ලෝමාව හදාරන පිරිසට අපේ පුරාණ අක්ෂර ගැන නොව එකල පුරාණ කාලයේ පැවති ශිලාලේඛන සන්නිවේදනය පිළිබඳ අවබෝධයක් ලබාදීම ඉතාමත් වැදගත් බව මේ පිළිබඳව සමායෝජක මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. ඒ ක්ෂේත්‍රය පිළිබඳ මවිසින් ලියූ ග්‍රන්ථයට මහාචාර්ය විමල් දිසානායක මහතා විසින් පෙරවදනක් ද ලියා ඇත. එම ග්‍රන්ථයේ නම ‘ශ්‍රී ලංකාවේ ශිලා ලිපි සන්නිවේදනය’ යන්නය. මේ ලේඛකයා විසින් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනය මගින් 1992-1994 පවත්වන ලද පුරාවිද්‍යා විද්‍යාපති (MSC) පශ්චාත් උපාධි පරීක්ෂණය සඳහා ලියන ලද නිබන්ධය 2008 වර්ෂයේදී ග්‍රන්ථයක් ලෙසින් මුද්‍රණයට පෙර ඒ ග්‍රන්ථය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාරම්භක විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ මහාචාර්ය විමල් දිසානායක මහතාට භාරදුන්නේ ඒ පිළිබඳ ප්‍රස්තාවනාව ලිවීම පිණිස ඉතා ගෞරවයෙනි.

එම ප්‍රස්තාවනාව සම්පූර්ණයෙන්ම පළ කිරීමට මම අපේක්ෂා නොකරමි. එතුමා ආරම්භයේදී මෙම කෘතිය වූ ශ්‍රී ලංකාවේ ශිලා ලිපි සන්නිවේදනය ග්‍රන්ථයේ පළ කළ ආකාරය මෙසේය.

ශ්‍රී ලංකාවේ ශිලා ලිපි හා සන්නිවේදනය පිළිබඳ සිරිසමන් විජේතුංග මහතා විසින් සම්පාදිත මෙම ග්‍රන්ථය ඉතා වැදගත් කෘතියකි. මෙම කෘතිය සම්පාදනය කිරීමෙන් සිරිසමන් විජේතුංග මහතා ඉටුකොට ඇත්තේ මහඟු ශාස්ත්‍රීය සේවාවකි. ක්‍රමානුකූලව හා විධිමත්ව ශිලා ලිපිවල අගය පෙන්නුම් කිරීමට කතුවරයා සමත්ව ඇත. මේ කෙටි පෙරවදනින් මා වෑයම් කරන්නේ ශිලා ලිපි හා සන්නිවේදනය පිළිබඳ එක් දේශයක් කෙරෙහි ආලෝක ධාරාවක් යොමු කිරීමටය. (ශ්‍රී ලංකාවේ ශිලා ලිපි සන්නිවේදනය සිරිසමන් විජේතුංග – පෙරවදන මහාචාර්ය විමල් දිසානායක පි. XII – 2008)

මහාචාර්ය විමල් දිසානායක මහතා එම ප්‍රස්තාවනාව අවසන් කර ඇත්තේ මෙසේය.

සිරිසමන් විජේතුංග මහතාගේ අවධානය යොමු වී ඇත්තේ සන්නිවේදන මාධ්‍යයන්හි ක්‍රම විකාශය හා සම්බන්ධ දෙවැනි අවස්ථාව කෙරෙහිය. ලේඛන කලාවේ ආදිතර අවස්ථාව ශිලා ලිපිවලින් නියෝජනය වේ. ශිලා ලිපි හා සන්නිවේදනය අතර පවත්නා සම්බන්ධය කෙරෙහි ප්‍රමාණවත් විද්‍යාත්මක ආලෝක ධාරාවක් මේතාක් යොමු වී නැත. එබැවින් මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීමෙන් සිරිසමන් විජේතුංග මහතා ඉටුකොට ඇති වැදගත් ශාස්ත්‍රීය සේවාව විද්‍යාර්ථීන්ගේ නොමඳ පැසසුමට ලක්වනු නියතය.

(ඉහත සඳහන් ග්‍රන්ථයේ පෙරවදනෙන් උපුටා ගන්නා ලදී).

ශ්‍රී ලංකාවේ ශිලා ලිපි සන්නිවේදනය ග්‍රන්ථයක් ලෙසින් පළ වූ පසු වාතාවරණය එම කරුණ මා විසින් මෙසේ සඳහන් කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ එවක සේවය කළ උපකුලපතිතුමා වූ එම්.ජේ.එස්. විජයරත්න මහතා විසින් 2007 සිට 2008 තෙක් එම විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසින් මා පත් කිරීම පිළිබඳ නැවත ස්තූති කිරීම සඳහාය. මා එම කාර්යය ඉතා මැනවින් ඉටු කළ බව ඊට සහභාගි වූ උපාධි අපේක්ෂකයන්ගේ ප්‍රතිචාරවලින් මට හැඟුණි.

සිරිසමන් විජේතුංග
හිටපු සහකාර අධ්‍යක්ෂ
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික
මහාචාර්ය සෙනරත් පරණවිතාන
පදනමේ විධායක ලේකම්

advertistmentadvertistment
advertistmentadvertistment