සන්සෝනි කොමිසම ඉදිරියේ සිංහල ජන අයිතිය රකින්නට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූ විද්වතා ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග

1524

ලෝකයේ මාණික්‍ය අතර දියමන්ති ද, වෘක්ෂ අතර සඳුන් ද, මුවන් අතර කස්තුරි මුවන් ද, ඇතුන් අතර සද්ධන්ත කුල ඇතුන් ද, ශංඛ අතර දක්ෂිණාවෘත ශංඛය ද ඉහළින්ම වටිනවා සේ මිනිසුන් අතර වටිනා ම මිනිසා වනුයේ ආත්මාර්ථය වෙනුවෙන් නොව, පරාර්ථය වෙනුවෙන් කැප වූ මිනිසා ය. එසේ පරාර්ථය වෙනුවෙන් නැත්නම් තම රට-දැය-සමය හා බස වෙනුවෙන් පසු කලෙක තම ජීවිතයම කැප කළ පින්වත් බිලිඳකුගේ ජන්මය 1931 ඔක්තෝබර් 25 වැනි දිනට යෙදුන වප් පුර පසළොස්වක දිනක සිදු විය.

ඒ්, සියනෑ කෝරලයේ මිනුවන්ගොඩ, මැඩෑමුල්ල නම් ග‍්‍රාමයේ දේශීය අක්ෂි වෛද්‍යරයකු වූ ඩබ්.එම්.ඞී.බී. විජයතුංග පියාණන්ට සහ අමරාවතී ජයසිංහ මෑණියන්ට දාව සිවු වන දරුවා ලෙස මෙළොව උපත ලද හරිශ්චන්ද්‍ර විජයතුංගයන් ය. ඔහු තම නමේ වචනාර්ථයෙන්ම සත්‍යවාදියකු ම විය.

ගමේ ද්විභාෂා පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි හරිශ්චන්ද්‍ර ළදරුවා, දෙවන ලෝක යුද සමයේ කොළඹ නාලන්දාව මිනුවන්ගොඩ වෙත ගෙන ගොස් තිබුණ බැවින්, නාලන්දාවට ඇතුළු වීමේ වාසනාව ලැබීය. යුද සමයෙන් පසු කොළඹ නාලන්දාවට පැමිණි හෙතෙම පී. ද එස්. කුලරත්නයන්, එල්. එච්. මෙත්තානන්දයන් සහ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් මඟ පෙන්වූ නාලන්දා සම්ප‍්‍රදාය තම ජීවිතය කර ගත්තේය. ආචාර්ය වෛද්‍ය ගුණදාස අමරසේකර ශූරීන් පාසලේ දී ඔහුගේ පන්ති සගයා විය. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විද්‍යා විෂය හැදෑරුව ද කලා කටයුතුවල නියැළීමට මෙන්ම, හෙළ හවුලේ විද්වත් ඇසුර ලැබීමට ද හරිශ්චන්ද්‍ර භාග්‍ය සම්පන්න වූවේ ය.

ඔහු විද්‍යා අංශයෙන් ඉහළින් සමත් වුව ද, වෛද්‍ය විද්‍යාල ප‍්‍රවේශය අතහැර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලැබුවේ ලේඛනය කෙරෙහි දැක් වූ දැඩි උනන්දුව නිසා යි. අනතුරුව මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ රසායන විද්‍යා ගුරුවරයා විය. 1956 පෙරළියත් සමග සිංහලය නැවත රාජ්‍ය භාෂාව බවට පත්ව තිබූ අවධියයි. ඒ සමග අධ්‍යාපන මාධ්‍යය ද සිංහල විය. එහෙත් සිංහල පොත්පත් විද්‍යාව වැනි විෂය ඉගැන්වීම සඳහා දුලභ අවස්ථාවක වහා ක‍්‍රියාත්මක වූ හරිශ්චන්ද්‍රයෝ ඉංග‍්‍රීසි පොත්පත් පරිවර්තනයට සහ නව විද්‍යා පෙළ පොත් සම්පාදනයට පිළිපන්හ. ඔහු 1956 සිට විවිධ ශබ්දකෝෂ ග‍්‍රන්ථ සම්පාදනයට ද දායක අතර, මහා සිංහල ශබ්දකෝෂය ඒ අතර සුවිශේෂී වෙයි.

සන්සෝනි කොමිසම ඉදිරියේ සිංහල ජන අයිතිය රකින්නට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූ විද්වතා ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග

හරිශ්චන්ද්‍ර මහතා 1973 දී නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දී ගම්පහ උසාවියේ සේවය කළ අතර, 1978 දී ඔහුට තම ජීවන වෘත්තීය මදකට අතහැරීමට සිදු විය. එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන තම රජය පත් වූ පසු 1977 අගෝස්තු 13 සිට සැප්තැම්බර් 15 දක්වා සිදු වූ (සිංහල-දෙමළ වාර්ගික ආරවුල්* සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීමට ‘සන්සෝනි කොමිෂන් සභාව’ පත් කරනු ලැබීමය. එය අවස්ථාවක් කරගත් දෙමළ අන්තවාදීහු අහේතුක-අසත්‍ය කරුණු කොමිෂම ඉදිරියේ සාක්ෂ්‍ය වශයෙන් ඉදිරිපත් කළහ. මෙවැනි පසුබිමක නිස්සරණ අධ්‍යාසයෙන්, සිංහල බෞද්ධයන්ට එරෙහිව ඉදිරිපත් වන දුර්මත බිඳ හෙළීමට ඉදිරිපත් වූ නීතිඥවරුන් අතර වැඞීම කැප කිරීමක් කළ හරිශ්චන්ද්‍රයෝ දෙමළ අන්තවාදීන්ගේ අභූත චෝදනා ඛණ්ඩනය කරමින්, සිංහල බෞද්ධ අයිතීන් සුරැුකීමට අපක්ෂපාත තීන්දුවක් ලබාගැනීමට කටයුතු කළහ.

එතුමා ග‍්‍රන්ථ කර්තෘවරයෙක් වශයෙන් විද්‍යා, සාහිත්‍ය, විචාර, ආගමික ඉතිහාස, දේශපාලන, නීති, දේශීය වෛද්‍ය, බුද්ධ ශාසනයට සහ සිංහලයන්ට වන අහිතකර බලපෑම් ආදී වශයෙන් පොත්පත් රාශියක්, පුවත්පත් සඟරා කිහිපයක කර්තෘ ධුරය ද දරා ඇත. විශේෂයෙන් ම රට-දැය-සමය රැුකගැනීම වෙනුවෙන් ප‍්‍රකාශයට පත් කර ඇති අතර එයට අමතරව පුවත්පත්වලට ලිපි සැපයීම ද කරනු ලැබීය.

හරිශ්චන්ද්‍ර මහතා පක්ෂ දේශපාලනයෙහි ද නිරත වූයේය. ඒ ඔහුගේ ‘සිංහලයේ මහා සම්මත භූමී පුත‍්‍ර පක්ෂය’ මුල් කරගත් ප‍්‍රතිපත්ති ගරුක දේශපාලනඥයකු වශයෙනි. එය රට සූරා කෑමට නොව සිංහල බෞද්ධ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ම විය. ඒ හැර දේශපාලනයෙන් බඩ වඩාගැනීමේ කෑදරකමක් ඔහුට කිසිසේත්ම නොවීය. හරිශ්චන්ද්‍රයන් ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූයේ නම් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වනවා නොඅනුමානය. වරෙක ඔහුගේ නම ප‍්‍රධාන ධාරාවේ පක්ෂයක ජාතික ලැයිස්තුවට ඇතුළත් කර තිබුණ ද, මන්ත‍්‍රීධුරය ලැබීමට ඉහළින්ම සුදුසු ඔහුට නොදී නිලියකට සහ වන්දිභට්ටයකුට පිරිනමනු ලැබිණ. ඒ ඔවුන්ගේ බල දේශපාලනයට හරිශ්චන්ද්‍රයන් නොගැළපෙන බැවින් විය හැකිය.

හරිශ්චන්ද්‍ර මහතා ජීවිත කාලය පූරාම සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. ‘මහාසම්මතවාදය’ සහ ‘භූමිපුත‍්‍ර’ සංකල්පය රට තුළ ප‍්‍රවර්ධනය කර, සිංහල බෞද්ධයනට තම අයිතිවාසිකම් මතක් කර දුන්නේය. එහෙත් එම මතවාදයේ වාසිය ලැබුවේ ද බල දේශපාලනයේ යෙදුන අවස්ථාවාදීන්ය. එහි අහිතකර ඵලවිපාක අපි භුක්ති විඳ ඇත්තෙමු – අද ද විඳවමු. ඇත්තෙන්ම පරම විඥානාර්ථ සංගමයෙන් බිහි වූ ආනන්දය, නාලන්දාව, ධර්මරාජය ආදි පාසල්වලින් බිහි වූ පී. ද එස්. කුලරත්න, එල්. එච්. මෙත්තානන්ද, මහාචාර්ය ගුණපාල මලලසේකර ගුරු-ශිෂ්‍ය සුධීමතුන්ගේ අවසාන පුරුක ද, සෑබෑ ජාතික දේශපාලනයේ යෙදුන කේ. එම්. පී. රාජරත්න, මහාචාර්ය එෆ්. ආර්. ජයසූරිය, සෝමවීර චනද්‍රසිරි, කේ. එම්. පී. රාජරත්න, මහාචාර්ය එෆ්. ආර්. ජයසූරිය වැනි භාෂාපේ‍්‍රමී දාමයේ අවසාන පුරුක ද වන ඔබට තව තවත් රට වෙනුවෙන් සේවය කිරීමට ආයුරාරෝග්‍ය සම්පත්තිය ලැබේවා! යැයි ප‍්‍රාර්ථනා කරමු .

පානි වෑවල
භාෂාපේ‍්‍රමී සන්ධානය

advertistmentadvertistment
advertistmentadvertistment