වස්සාන සෘතුවේ අවසාන පොහොය ඉල් පුන් පොහොය යි. එය සම්බුද්ධ ශාසන ඉතිහාසයෙහි අනුස්මරණීය සිද්ධීන් කිහිපයකට මුල් වුණු වැදගත් දිනයකි. මෛත්‍රී බෝධිසත්ත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරජාණන් වහන්සේ තුන් බෑ ජටිලයන් දමනය කරනු වස් උරුවෙල් දනව්ව බලා වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, චීවර මාසයේ අන්තිම පොහොය එනම්, කඨිනාස්තරණ විනය කර්මය කළ හැකි අවසාන දිනය වීම, අගසව් සැරියුත් මාහිමියන්ගේ පරිනිර්වාණය සිදුවීම යනාදී කරුණු රැුසක් ම සිදුවුණු දිනයක් වශයෙන් ඉල්මස පුරපසළොස්වක් පොහොය දිනය සලකනු ලැබේ.
”මහණෙනි! බොහෝ දෙනාට හිත පිණිස ද බොහෝ දෙනාට සැප පිණිස ද ලොවට අනුකම්පා පිණිසද, දෙව් මිනිසුන්ට වැඩපිණිසද, හිත සුව පිණිස ද, සැප පිණිස ද, චාරිකාවෙහි හැසිරෙන්න. දෙනමක් එක් මගකින් නොයව. මහණෙනි….! මුල මැද අවසැන යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මය දෙසවු. පිරිසිදු වූ බ්රහ්මාචර්යය ප්‍රකාශ කරවු” යි, අවවාද දී ධර්මදූත සේවයෙහි යෙදවූයේ ඉල් පොහෝ දිනයකය. මේ උතුම් පොහොය දිනයේ මෙරට ඉතිහාසයේ ඉතා වැදගත් දෙයක් සිදුවෙයි. ලංකාවට පමණක් නොව ථෙරවාදී ලෝකයටම විශේෂය.
21 වැනි සියවසේ ඉදිවූ ලොකුම චෛත්‍යය වන ‘සඳහිරු සෑය’ බෞද්ධ ලෝකයට දායාද වන්නේ අද දිනයේය. අතීතය අනුව යමින් වසර 30 ක් මෙරට මුල් බැසගෙන තිබුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කර මව් බිම ලැබූ යුද ජය සැමරීමත්, එම යුද්ධයේදී ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලූ දෙනාහට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව මෙරට විශාලත්වයෙන් හතරවැනි චෛත්‍යය ලෙස අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම ඇරැඹිණි. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අසල දුටුගැමුණු රජු හා එළාර රජු මුහුණට මුහුණලා සටන්කර දුටුගැමුණු රජ ජයගත් ජය භූමියේ සඳහිරු සෑය ඉදිවී තිබේ. සඳහිරුසෑය ඉදිකිරීම පිළිබඳව මීට කලකට පෙර අදහස් දැක්වූ පුරාවිද්‍යා චක්‍රවර්තී මහාචාර්ය එල්ලාවල මේධානන්ද හිමියන් ප්‍රකාශ කර තිබුණේ 21 වැනි සියවසේ ලෝකයේ ඉදිකෙරුණු විශාලතම හා සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කෙරෙන එකම දාගැබ මේ සඳහිරු සෑය වන බවයි. මුල් සැලැස්ම අනුව මෙම චෛත්‍යයේ වැඩ කටයුතු 2016 දී අවසන් කිරීමට අපේක්ෂා කළත් 2015 පත්වූ යහපාලන රජය මේ චෛත්‍යයේ ඉදිකිරීම් පිළිබඳව විශේෂ උනන්දුවක් නොදැක්වූ නිසා මෙහි ඉදිකිරීම් ප්‍රමාද විය. නමුත් වත්මන් ජනපතිවරයා බලයට පත්වීමත් සමග මේ සුවිශේෂී කටයුත්ත වේගවත් වූ අතර අද එය බෞද්ධයින් හා අනෙකුත් ජාතීන් වෙනුවෙන් ජාතියට දායාද වෙයි. මෙම සඳහිරු සෑයේ තවත් විශේෂත්වයක් වනුයේ අනුරපුර විශාලතම ශෛලමය
කලාගාරයක් ද මෙම දාගැබ පරිශ්‍රයේ ඉදිකෙරෙන නිසාය. සෑයේ සලපතල මළුව හා වැලි මළුව අතර, ප්රාකාරයේ සතර දෙසට අඩි 400 බැගින් වූ ප්‍රදේශයේ ගලින් නෙළන ලද බෞද්ධ කැටයම්, දස පාරමිතා, බුදු දහමේ විකාශය, ශාසන ඉතිහාසය මෙන් ම යුද්ධය අවසන් කිරීම දක්වා විවිධ අවස්ථා නිර්මාණය කර ඇත. වසර 1600 කට පසු අපේ රටේ ඉදිවන විශාලතම දාගැබ නිමවූයේ සම්පූර්ණයෙන්ම රණවිරු දෑතින් වීම විශේෂත්වය වේ.
‘සඳහිරු සෑය’ යන්නෙහි තේරුම සඳ මෙන් සෞම්‍යය ද හිරු මෙන් තේජස් බවින් යුක්ත ද රජුන් යන්නයි. එසේම ඉර හඳ තිබෙනතාක් රටේ සාමය පවතීවායි යන්න එනමින් සංකේතවත් කෙරේ. අද පස්වරුවේ සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය නිරාවරණය කරන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. තිසා වැව් පාමුලින් නැඟී සිට අහස් කුස සිඹින සඳහිරු සෑය රටටම ආශිර්වාදයක් වනු නොඅනුමානය.