සඳ හිරු තරු පවතින තුරු දිලෙයි නිරතුරු සෑය සඳ හිරු

388

රුවන්වැලි සෑයට පමණක් දෙවැනි වෙයි

මෙම මස 18 වන දින බැතිමතුන්ගේ වන්දනාව පිණිස සඟ සතු කොට පූජා කරයි

ස්ථූප ගඩොල් දෙකෝටි පනස් ලක්‍ෂයයි

සිමෙන්ති කොට්ට එක් ලක්‍ෂ හැත්තෑ දහසයි

වසර 1118ට පසුව මෙරට ඉදි වූ ලොකුම සෑය

රජරට අහස මත අභිනවයෙන් විරාජමාන වන එම අසිරිමත් ඉදිකිරීම වන සඳහිරු සෑය දෙවැනි වන්නේ මෙරට ස්ථුපවංශ කතාවේ විශිෂ්ටතම නිර්මාණය වන රුවන්වැලි සෑ රදුන්ට පමණය. වසර 11 ක කාලයක් මුළුල්ලේ දරන ලද ඉමහත් වෙහෙසක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මස 18 වන දින සිට දෙස් විදෙස් බැතිමතුන්ගේ අප‍්‍රමාණ වන්දනාවට පාත‍්‍ර වීමට නියමිත අනුරාධපුර සඳහිරු සෑය ඉදිකිරීම මේ වන විට මුළුමනින්ම නිමාවට පත්ව අවසන්ය.

එහි කූඨප‍්‍රාප්තිය ලෙස ඉකුත් 08 දා උදෑසන යෙදුන සුභ මොහොතින් සඳහිරු සෑ රදුන්ගේ චූඩා මාණික්‍ය පැලඳවීමේ පිංකම සිදු කරන ලදි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා හඬ මධ්‍යයේ සිදු කරන ලද එම පුණ්‍ය කර්මයේදී විශේෂ රඳවනයක තැන්පත් කරන ලද චූඩා මාණික්‍ය පොළොව මතු පිට සිට අඩි 142 ක් උස හතරැස් කොටුව මතට වැඩම කරවීමෙන් අනතුරුව එම තැන්පත් කිරීම සිදු කරන ලදී. මහා සංඝරත්නය සහ රණවිරුවන්ගේ සහභාගිත්වය සහිතව චූඩා මාණික්‍ය එහි තැන්පත් කරන ලද්දේ එම චූඩා මාණික්‍ය පරිත්‍යාග කරන ලද ආතර් සේනානායක මහතා විසින්ය. ඉකුත් 8 දා ආගමික වත්පිළිවෙත් ආදියට මුල් තැනක් ලබා දෙමින් එම කටයුත්ත නිමාවට පත් විය. ඒ අනුව ගල්, ගඩොල්, සිමෙන්ති හා සම සමව මුසු වූ අප‍්‍රමාණ භක්තියක අග‍්‍රඵලය ලෙස සඳහිරු සෑයේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට මුළුමනින්ම නිමාවටපත්වී ඇත.

ඊට අමතරව එම ස්ථානයේ තවත් පරිවාර ඉදිකිරීම් කීපයක් මේ වන විට සිදු කරමින් ඇත. අවසන් අදියරයේ පවතින එම ඉදිකිරීම් ආදිය ද නුදුරේ දිනක නිමාවට පත්වීමට නියමිතය. අංග සම්පූර්ණ සංඝාවාසයක්, භාවනා කුටි සමූහයක්, නවීණ කෞතුකාගාරයක්, මහජන විශ‍්‍රාම ශාලා සහ තවත් ඉදිකිරීම් කීපයක් ඒ අතරට අයත්ය. මෑත කාලීනව මෙරට ඉදිකරන අග‍්‍රගන්‍ය බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස ගැනෙන මෙම ව්‍යාපෘතියේ පවතින තවත් විශේෂත්වයක් බවට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමූහික වෑයමක ප‍්‍රතිඵලයක් ලෙස මෙම විසල් නිර්මාණය ජාතියට දායද කිරීමය.

සඳ හිරු තරු පවතින තුරු දිලෙයි නිරතුරු සෑය සඳ හිරු

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම මස 18 වන දින දෙස් විදෙස් බැතිමතුන්ගේ අප‍්‍රමාණ වන්දනාව පිණිස සඟ සතු කොට පූජා කිරීමට නියමිත සඳහිරු සෑය ඉදිකිරීම් පිළිබඳ එහි ව්‍යාපෘති සම්බන්ධීකාරක කර්නල් මොහාන් කුමාර මහතාගෙන් අප කළ විමසීමකදී මෙම සිරිමත් ඉදිකිරීමේ ආරම්භයේ සිට අවසානය දක්වා කෙටි සමාලෝචනයක් ඔහු විසින් සිදු කරන ලදී. කර්නල්වරයා තම අදහස් දැක්වීම ආරම්භ කරන ලද්දේ මෙරට ස්ථුප ඉදිකිරීම් ඉතිහාසයේ සුවිශේෂී ඉදිකිරීමක් පිළිබඳ මෙනෙහි කරමිණි.

මෙරට ස්ථුප ඉදිකිරීමේ ඉතිහාසය ගත්විට ක‍්‍රි. ව. 303 දී පමණ මහසෙන් රජු විසින් ඉදිකරන ලද ජේතවන ස්ථුපයට පසුව ඉදිකළ විශාලතම ස්ථුපය ලෙස සඳහිරු සෑය හඳුන්වන්න පුළුවන්. ඒ අනුව ජේතවන ස්ථුපය ඉදිකරල වසර 1118 කට පස්සෙ තමයි රුවන්වැලි මහා සෑයට පමණක් දෙවැනි වන මේ වගේ ඉදිකිරීමක් ලක් පොළොව මත මේ වෙද්දී සැබෑවක් බවට පත් වෙලා තිබෙන්නෙ.

එවකට ජනාධිපති වත්මන් අග‍්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් ලෙස ආරම්භ කරන මේ කටයුත්තේ ඉදිකිරීම් මුළුමනින්ම භාර දෙන්නෙ ශ‍්‍රී ලංකා යුද හමුදාවට සහ සිවිල් ආරක්‍ෂක බළකායට වීමත් මෙම ඉදිකිරීමේ පවතින තවත් විශේෂත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේ කටයුත්ත පිණිස ජාති ආගම් භේදයෙන් තොරව මේ රටේ ඕනෑම පුරවැසියෙකුට සහභාගි වීමේ අවස්ථාවක් හිමිවුණා. එතනදී ඒ අයට ශ‍්‍රමයෙන්, ධනයෙන් සහ වෙනත් පරිත්‍යාග හරහා මේ හා සම්බන්ධ වීමේ අවස්ථාව උදාකරල දුන්නා. ලංකාවේ සිව් කොනින් ආව බැතිමත් ජනතාවගේ දහදිය මහන්සිය මේ සඳහිරු සෑ රදුන්ගේ ඉදිකිරීම ඇතුලෙ පවතිනවා. ඊට අමතරව ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඒ වගේම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් දිවා රෑ නොබලා දරන ලද ප‍්‍රයත්නයක ප‍්‍රතිඵලයක් ලෙසත් මෙය හඳුන්වා දෙන්න පුළුවන් කම තිබෙනවා.

සඳහිරු සෑය ඉදිකිරීම් ව්‍යාපෘති භාර නිලධාරී කර්නල් මොහාන් කුමාර මහතා ඉන් අනතුරුව විස්තර කර සිටියේ සඳහිරු සෑය ඉදිකිරීම් සිදු වූ ආකාරය පිළිබඳවය. එහිදී කර්නල්වරයා අවධාරණය කර සිටියේ රජ දවස ස්ථුප ඉදිකිරීමේ ශිල්පීය ක‍්‍රම උපයෝගී කර ගනිමින් සහ දැනට මෙරට සිටින ස්ථුප ඉදිකිරීමෙහි විෂයෙහි ප‍්‍රාමාණිකයන්ගේ දැනුම හා උපදෙස් මත මෙම දැවැන්ත ඉදිකිරීම සිදු කළ බවත්ය.

සඳ හිරු තරු පවතින තුරු දිලෙයි නිරතුරු සෑය සඳ හිරු

‘‘ 2010 වසරේ නොවැම්බර් 11 වැනිදා මංගල පස් පිඬැල්ල කපල ආරම්භ කළ ව්‍යාපෘතියේ මූලික අදියර වශයෙන් ස්ථුපයේ පාදම සකස් කිරීම ආරම්භ කළා. එතනදී අඩි අටසිය එකකින් යුත් වට ප‍්‍රමාණයක් සහිත ඒ වගේම අඩි හතළිස් පහක ගැඹුරක් දක්වා පස් ඉවත් කිරීමෙන් පසුව තමයි මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන්න කටයුතු කළේ. එය සුවිශේෂී පාදමක්. පිහිටි ගල දක්වා පස් ඉවත් කොට ඒ මත කෘතීම කළුගලක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ඒ මත තමයි ඉදිකිරීම් ආරම්භ කරන්නේ. ඒ කටයුත්ත සඳහා මාස තුනක පමණ කාලයක් ගත වුණා. ඉන් අනතුරුව 2012 වර්ෂයේ පෙබරවාරි හතර වැනිදා ඒ කියන්නේ ජාතියට නිදහස හිමි වූ සුවිශේෂී දිනය මුල්කර ගනිමින් ස්ථුපයේ ඉදිකිරීම් ආරම්භ කරන්න අපට පුළුවන් කම ලැබුණා. ඒ කටයුත්තේදී ස්ථුප ඉදිකිරීම් පිළිබඳ අපේ රටේ තිබෙන පුරාණ පොත පතේ සඳහන් කරුණුවලට මුල් තැනක් දෙමින් ඒ වගේම විද්වතුන්ගේ උපදෙස් නිරන්තරයෙන් ලබා ගනිමින් ඒ ඉදිකිරීම් කටයුතු සිද්ධ වුණා. මේ සෑම කටයුත්තකටම අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ශ‍්‍රමය ලබාගත්තේ යුද හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන්ගේ මැදිහත් වීමෙන් සහ රටේ මහජනතාවගේ දායකත්වයෙන්. එයත් සඳහිරු සෑය ඉදිකිරීමේදී සිදු වූ තවත් විශේෂත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්.’’

ඒ අනුව යමින් සිදුකළ මෙම අසිරිමත් ඉදිකිරීම පිණිස ස්ථුප ගඩොල් දෙකෝටි පනස් ලක්‍ෂයක් පමණ වැය වී ඇත. අඟල් 16 ක දිගකින් සහ අඟල් 8 ක පළලින් යුත් මෙම ස්ථුප ගඩොල් නිපදවීම ත‍්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බළකාය විසින් සිදු කොට ඇත. ඊට අමතරව අනිකුත් අමුද්‍රව්‍ය ත‍්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ මැදිහත් වීම මත උපයා සපයා ගනිමින් ඉදිකරන ලද සඳහිරු සෑය පිණිස සිමෙන්ති කොට්ට එක් ලක්‍ෂ හැත්තෑ දහසකට ආසන්න ප‍්‍රමාණයක් වැය කොට ඇත.

සඳහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කිරීම 2014 වර්ෂයේ නොවැම්බර් මස 23 වන දින සිදු කර ඇත. එහිදී කපිලවස්තු පුරයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේලා ප‍්‍රමුඛ මහරහතුන් ධාතුන් වහන්සේලා ප‍්‍රධාන නිදන් වස්තු විශාල ප‍්‍රමාණයක් එහි තැන්පත් කොට ඇත. නිල් මැණික් ඔබ්බවන ලද රන් කරඬුවක තැන්පත් කරනු ලැබූ එම ධාතුන් වහන්සේලා රැගත් රන් කරඬුව ඉන් අනතුරුව රිදී කරඬුවකද එය තවත් රන් ආලේපිත කරඬුවකින් ආවරණය වන පරිදි එම කටයුත්ත සිදුකර ඇත. ඊට අමතරව රන්පත් මත ග‍්‍රන්ථාරූඪ කරන ලද ත‍්‍රිපිටකය, රන් බෝ රුකක් ඇතුළු තවත් නිදන් වස්තු විශාල ප‍්‍රමාණයක් ඊට ඇතුළත්ය. මෙම පුණ්‍ය කටයුත්ත පිණිස සැදැහැවත් බෞද්ධ බැතිමතුන් හටද අවස්ථාව හිමි වූහ. ඒ අනුව සතියක පමණ කාලයක් පුරා සැදැහැවතුන් විසින් පූජා කරන ලද නිදන් වස්තු භාර ගැනීම සිදු කර ඇත. එපමණක් නොව චූඩා මාණික්‍ය තැන්පත් කරන ලද කොත් වහන්සේ රැගත් රිය පෙළක් රට පුරා සංචාරය කරමින් මහජනතාවට එය වැඳ නමස්කාර කිරීමේ අවස්ථාවද හිමිකර දී ඇත.

එවැනි දැවැන්ත ක‍්‍රියාවලියක අවසන් ඵලය ලෙස ඉදිවන සඳහිරු සෑය අනුස්මරණීය ඉදිකිරීමක් බවට පත්වීමට තවත් හේතුවක් ඇත. එය නම් තිස් වසරක ත‍්‍රස්තවාදී යුද්ධයෙන් රට බේරා ගැනීම පිණිස දිවි දුන්, රක්‍ෂිතයට පත් සහ අතුරුදන් රණවිරුවන් ස්මරණය කිරීම පිණිස සඳහිරු සෑය ඉදිකිරීමය. රටේ උස් නිදහස පිණිස ඇස්, ඉස්, මස් පමණක් නොව තම ජීවිත පවා නිර්ලෝභීව පූජා කළ රණවිරුවන් පිණිස, ඔවුන්ට ජාතියේ නමස්කාරය පුද කිරීම පිණිස ඉදිකරන ලද සඳහිරු සෑය රුවන්වැලි සෑයට පමණක් දෙවන වන ආකාරයට ඉදිකරනු ලබන්නේ රණවිරුවන් පිණිස ජාතියේ ගෞරවය පුද කර සිටීමේ උදාර අරමුණ පෙරදැරිවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment