දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී ලෝක සම්භවය පිළිබඳ බුදුරදුන් ඉතා කදිමට කරුණු දක්වා ඇත්තේ පියවරින් පියවරය. එලෙස කරුණු දක්වමින් සමාජයෙහි මිනිසා තුළ ඇති වන ගැටුම් ආදිය ඇතිවීමට හේතු වන කරුණු කාරණා ඉතා මනාව දක්වා ඇත. මෙකී සූත්‍ර දේශනාව ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පුද්ගලයා තෘප්තිමත් නොවීම ඔස්සේ තණ්හා නිසා ඇතිවන්නේ මහත් විනාශයකි. ඒ අනුව මෙකී හේතුඵලවාදී ඉගැන්වීම නූතන ලෝකයට කොතරම්දුරට ආදර්ශ සපයන්නේද යන්න මැනවින් සනාථ වේ. විශේෂයෙන් වත්මන් ලෝකයෙහි බොහෝ රටවල් අවි අමෝරාගෙන ක්‍රියාකරන අයුරු දෙස බැලීමේදී එහි මූලිකම පරමාර්ථය අධික තණ්හාවයි.
ඒ නිසා ජීවිත සිය ගණනක් අහිමි වී ඇති අතර තවත් පිරිසක් මරණ බියෙන් දිවි ගෙවනු ලබති. නිදසුනක් ලෙස මෙම කාල සමයෙහි හටගෙන ඇති ඊශ්‍රායල් – පලස්තීන, රුසියා – යුක්‍රේන වැනි යුද ගැටුම් දෙස විමසිලිමත්ව බලන කල්හි ජීවිත, දේපළ කොතරම් ප්‍රමාණයක් විනාශවී තිබෙන්නේද යන්න පුන පුනා කිව යුතු නොවේ. මෙකී සියලු සාධක ඔස්සේ බලන විට බුදු දහමෙහි උගන්වන බොහෝ ඉගැන්වීම් ලෝකයටම බොහෝ සෙයින් ආදර්ශ සපයනු ඇත.
“තණ්හාය ජායතී සෝකෝ – තණ්හා ජායතී භයං” යන බුද්ධ දේශනාවෙන් පෙන්වා දෙන්නේ තණ්හාව නිසා ශෝකය හා බිය නිරතුරුවම හට ගන්නා බව උගන්වා ඇත. එය අද ලෝකය දෙස බලන විට කොතරම් සාධාරණ වූවක් ද යන්න පැහැදිලිය. නිර්වස්ත්‍රව මෙලොවට එන අප ඉතා කෙටි කලක් දිවි ගෙවන බව අමතක කර දමමින් අල්ලා ගැනීම පමණක්ම සිදු කරති. එසේ තදින් අල්ලා ගැනීම තුළ නිරතුරුවම සිදුවන්නේ විවිධ ප්‍රශ්න ගැටුම්ය. අද වනවිට ලෝකයම දැඩි සේ ගිනි ගෙන ඇත්තේ අන් කිසිවක් නිසා නොව නිමක් නොවන තෘෂ්ණාව හේතුවෙනි. එහි අනිටු ප්‍රතිඵල අමුතුවෙන් විවරණය කළ යුතු නොවේ.
‘හනන්ති භෝගා දුම්මෙධං
නෙක ච පාර ගවේසිනෝ
භෝග තණ්හාය දුම්මෙධො
හන්ති අඤ්ඤේව අන්තනං”
යන දේශනා පාඨයට අනුව තණ්හාව නිසා පුද්ගලයාට නිසි මඟ සොයා ගත නොහැකි බවත් විනාශය සඳහාම හේතු වන බව දන්වා ඇත. මෙකී මඟ සොයා නොගැනීම බොහෝ අර්බුද සඳහා මූලිකම හේතු සාධකය බවට පත්වී ඇති බව පරම සත්‍යයයි.
බෞද්ධ රටක් ලෙස අප අද වනවිට කොතරම් පරිහානියට පත්වී ඇත්තේද යන්න දෛනිකව සිදුවන අපරාධ, මිනීමැරුම්, දූෂණ ආදිය දෙස බැලීමෙන් කදිමට පැහැදිලි වේ. දිනකට ධර්ම දේශනා රාශියක් රට පුරා සිදුවුව ද මිනිසුන් කොතරම් දහම තුළින් ඉවත් වී තිබෙන්නේද කිවයුතු නොවේ. පසේනදි කොසොල් මහ රජතුමා විසින් දකින ලද සිහින දහසය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් සමාජ පරිහානිය ඔස්සේ ඒ සියල්ල මේ වන විට සිදුවන සැබෑම සත්‍යයයි.
ගැහැනු – පිරිමි දෙපක්‍ෂයම විකෘති වී ඇති කාල සමයක මිනිසා ගමන් කරනු ලබන්නේ විනාශය කරාම බව පැහැදිලි වේ. ‘සබ්බං පහාය ගමනීයං’ යනුවෙන් සියල්ල අත්හැර යා යුතුය යන්න වචනයට පමණක් සීමාවී ඇති අතර ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට බහුතරයකට හැකියාවක් වී නොමැත. බුදු දහම පවා වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වී ඇති කාල සමයක ගිහියන්ට වඩා ඇතැම් භික්ෂුන් වහන්සේට ඇත්තේ අප්‍රමාණ තණ්හාවකි. අල්ලා ගැනීම පමණක් කරමින් පන්සල් පන්සල් අතර නඩු හබ ඇති කරගෙන නොමැරෙන අයුරින් ක්‍රියා කිරීම තුළ සමාජයට ලබා දෙන්නේ බෙහෙවින් වැරදි ආදර්ශයකි. ගිහියාද පැවිද්දාද ප්‍රායෝගිකව බුද්ධ දර්ශනය ක්‍රියාත්මක නොකිරීම තුළ විශාල වශයෙන් සමාජ පරිහානිය සිදුවී ඇත.
“අත්තාහි අත්තනෝ නාථො – කෝහි නාථො පරෝසියා’ තමාට පිහිට ඇත්තේ තමාගෙන් මිසක් අන් කවරකුගෙන් නොවේ. මෙම බුද්ධ වචනය අදට කොතරම් ගැළපේද යන්න බුද්ධිමත්ව අප විමසා බැලිය යුතුය. හිස් අතින් මොලොවට පැමිණ හිස් අතින්ම යන අප මිනිසුන් ලෙස මෙකී පරම සත්‍ය අවබෝධ කර නොගන්නාතුරු සිදුවන්නේ පුද්ගල පරිහානියයි. එය නූතන ලෝකය තුළින් කදිමට පෙන්වා දී ඇත. තණ්හාව මූලික කර ගැනීම තුළ විනාශය බව ගෞතම බුදුන් වහන්සේ අවබෝධ කර ගත්තේ මේ නිසාවෙනි.
කොතරම් ගොඩගසාගෙන සිටියත් අපි මැරෙනවා යන ප්‍රායෝගික දහම හැම විටම අපගේ චින්තනයන් තුළ ගොඩනැඟිය යුතු අතර එසේම ක්‍රියාත්මක කළ යුතුය. ‘අන්තෝ ජටා බහි ජටා – ජටාය ජටිතා පජා” ඇතුළ හා පිටත ගැටලු රාශියකින් අවුල් වී ඇති නූල් බෝලයක් බඳු නූතන ලෝකයට ඇති එකම විසඳුම ඇත්තේ බුද්ධ දේශනාව තුළම පමණි. පෙර පිනකට මිනිසත් බව ලබා එය විනාශ කර ගන්නා අපේම මිනිසුන් දැන් සිට හෝ බුද්ධිමත්ව මෙකී කරුණු පිළිබඳ සිතා විමසා බැලිය යුතු කාලය එළැඹ ඇත. ‘එපා තණ්හා පොදි බඳින්නට – මැරෙනවා අපි මැරෙනවා’ යන පිරිසිදු නිර්මල චින්තනය ඔස්සේ දැන් සිට හෝ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධකොට ගෙන ආලෝකය කරා ගමන් කිරීමට සියලු දෙනාට බුදු දහමේ පම්පණිවුඩය සැබෑ ලෙසම ගැනීමට බුද්ධිය පහළ වේවා’ යි යන්න පතන්නෙමු.
දර්ශනපති – කනංකේ විජිත නන්ද හිමි
සංස්කරණය – සුසිල් ජයකොඩි