සමකෝණී ත්‍රිකෝණයක රාජපක්ෂ හැසීරීම

228

සිරිමාවෝ, මහින්ද මෙන් ගෝඨාභයගෙන් නව නොබැඳි විදෙස් පිළිවෙතක්…

කුමන දිශානතියක් කරා පාලක පිරිස රට ගෙන යන්නේද යන්න නොව විදේශීය ප‍්‍රතිචාර සහ හැසිරීම් මත තුන්වන ලෝකයේ රටවල අනාගතය තීරණය වන බව පැහැදිලි කාරණයකි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප‍්‍රතිපත්තිය සැකසීම සඳහා මෙම තත්ත්වය පාඩමක් බවට පත් කරගෙන ඇති බව කිව හැකිය. අති ප‍්‍රබල, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් සහිත මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2015 දී පරාජයට පත්වන්නේ, එම ආණ්ඩුවේ අසමර්ථභාවයකට වඩා, නිවැරදි ගණනය කිරීම් අනුව සිදු කරන ලද විදේශීය කුමන්ත‍්‍රණයක් හේතුවෙනි. ජනවාරි අටවෙනිදා පරාජය වී ගෙදර යෑමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවකදී කියා සිටියේ තමාව පරාජය කරන ලද්දේ ඇමරිකාවේ සී. අයි. ඒ. සහ බි‍්‍රතාන්‍ය එම්. අයි. 6 බුද්ධි සේවා සමග එක්වූ ඉන්දීය රෝ ඔත්තු සේවාව බවය. මේ පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත තමා චෝදනා කරන්නේ නැතැයි ද තමාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම, දිගු කාලීනව ක‍්‍රියාත්මක වූ සැලසුමක් බවද මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කර සිටියේය. රාජපක්ෂ මහතාගේ පරාජය සහ මෙම විදේශීය කුමන්ත‍්‍රණය සඳහා හේතු වූ ප‍්‍රධාන කාරණය නම්, ශ‍්‍රී ලංකාව තමන්ට අවශ්‍ය න්‍යාය පත‍්‍රයක ගමන් කිරීමය. විශේෂයෙන්ම එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ලෝක බලවතුන් සිය න්‍යාය පත‍්‍රය වෙත නම්මා ගැනීමට රාජපක්ෂ පාලනය සමත් වී තිබුණි. එසේම චීනය සමග රාජපක්ෂ පාලනය පමණ ඉක්මවා ගිය හැසිරීමක් පෙන්නුම් කළ බවට ඉන්දියාව සහ බටහිර ඇලියේ රටවල් චෝදනා නගන්නට විය.

2005 වසරේදී පළමු වර බලයට පත්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හත්වරක් චීනයේ සංචාරවල නිරත වී තිබුණි. එසේම කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නෙලූම් කුලූන, හම්බන්තොට වරාය ඇතුළු චීනය මූලික කර ගත් ව්‍යාපෘතීන් හේතුවෙන් ශ‍්‍රී ලංකාව චීන තිප්පොළක් වන බවට ඉන්දියාව සහ බටහිර බලවතුන් ගණනය කර තිබුණි. ඒ හේතුවෙන් දකුණු ආසියානු කලාපයේදී ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය මූලික කර ගනිමින් දියත් වන චීන ව්‍යාපෘති, රතු මකරා දකුණු ආසියාව වෙලා ගැනීමේ පෙරනිමිති සේ සලකා, රාජපක්ෂ ආණ්ඩුව අතිශය සැලසුම් සහගත ආකාරයෙන් පරාජය කිරීමට ඉන්දියාව සහ බටහිර රටවල් සැලසුම් සකස් කළේය.

ජනවාරි අට වැනිදා ජනාධිපතිවරණයේ ප‍්‍රතිපල නිකුත් වන්නට පෙරම, චීන ජනාධිපතිවරයා, සිය දකුණු ආසියාව භාර ප‍්‍රධානින් අමතා පැය භාගයකට අධික කාලයක් දෙස් දෙවොල් තබමින් ප‍්‍රකාශ කරන ලද්දේ, සිය විදේශීය නියෝජිතයන්ට රාජපක්ෂ පාලනය ආරක්ෂා කර ගැනීමට නොහැකි වූයේ ඇයිදැයි යන්න ප‍්‍රශ්න කරමිනි. ඒ අනුව යහපාලන ආණ්ඩුව ඉන්දියාවේ සහ බටහිර ඇණියේ සුරතලකු ලෙස කටයුතු කරන්නට පටන් ගත්තේය. යහපාලන ආණ්ඩුව ලබන ලද පරාජයෙන් පසු, රාජපක්ෂ ආණ්ඩුව වෙත නවමු විදේශ ප‍්‍රතිපත්තියක් සඳහා යෑමට සිදුවන්නේ, තමන් 2015 දී උගත් පාඩම අනුවය.

ඉන්දියාව වුවමනාවට වඩා කොන් කිරීම, චීනය පමණට වඩා ළං කර ගැනීම, එක්සත් ජනපදය සහ බටහිර නොතකා හැරීම යන කාරණා හේතුවෙන් තම පාලනය බිඳ වැටුණු බව තේරුම් ගත් ‘මැදමුලන මනස’ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ නවමු විදේශ ප‍්‍රතිපත්තියක් සැලසුම් කළේය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය 2015 වසරේදී බිඳ වැට්ටවීම සඳහා සිය බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බව තේරුම් ගත් නරේන්ද්‍ර මෝදී අග‍්‍රාමාත්‍යවරයා තමන් බලයට පත්ව ගෙවී ගිය මාස හයක කාලය තුළ මෙම තත්ත්වය කුමන පදනමක් බිහිකරනු ඇත්දැයි තේරුම් ගත නොහැකිව සිටියේය. ඒ අනුව රාජපක්ෂ පාලනය පෙරළීම සඳහා තිබූ රෝ සැලසුම යම් තාක් දුරකට හෝ කල්දමා ගැනීම සඳහා ඔහුගේ උපාය වූයේ, ජනාධිපතිවරණය කල් දමන ලෙස මහින්ද රාජපක්ෂ මහතා වෙත පණිවිඩයක් එවීමය. තමන්ට මෙම තත්ත්වය තේරුම් ගැනීම සඳහා කාලයක් අවශ්‍ය බව සහ ශ‍්‍රී ලංකාව සමග තම ප‍්‍රතිපත්තිය සලකා බැලීමට අවශ්‍ය බැවින් එවකට ඉන්දීය විදේශ අමාත්‍ය ධුරය දරන ලද සුෂ්මා ස්වරාජ් මගින් අග‍්‍රාමාත්‍ය මෝදි මෙම පණිවිඩය රාජපක්ෂවරු වෙත ඒවා තිබුණි. ඉන්දියාව ශ‍්‍රී ලංකාව විෂයයෙහි මෙවැනි දෙබිඩි හැසිරීම් නිරන්තරයෙන් පෙන්නුම් කරන බව අත්දැකීම් සහිත පාලකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැන සිටියේය. අතකින් කැමැත්ත සහ තව අතකින් විරෝධය යන්න ඔස්සේ අවසානයේදී ඉන්දියාව තමන්ගේ න්‍යාය පත‍්‍රයම ක‍්‍රියාත්මක කරන බව තේරුම් ගත් රාජපක්ෂ පාලනය, සිය තීන්දුව වෙනස් නොකළේය. අනික් අතට තීරණය කරන ලද ජනාධිපතිවරණය කල් දැමීම, ඔහුගේ දේශපාලන ස්වරූපය නොවීය.

මේ සියල්ල සලකා නව රාජපක්ෂ පාලනය, නවමු පන්නයේ විදේශ ප‍්‍රතිපත්තියක් කරා පිය නැගීමට තීරණය කළේය. එය නිර්මාණය වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති සමයේ උගත් පාඩම් ඇසුරෙන් සහ ශ‍්‍රී ලංකාවේ වෙනස් වූ දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් සමගය. එල්ටීටීඊ ත‍්‍රස්තවාදය නිමාවීමෙන් පසු ඒ සඳහා උපාය මාර්ගික වූ විදේශ ප‍්‍රතිපත්තියම ඉදිරියට ගෙන යනවාට වඩා, නව අභියෝග සඳහා අවශ්‍ය නව විදෙස් පිළිවෙතක් රාජපක්ෂලා ආරම්භ කළේය. රාජපක්ෂ චරිතය ඒ සඳහා දෙන ලද අර්ථකතනය වූයේ ශ‍්‍රී ලංකාව පළවෙනියා වූ විදෙස් පිළිවෙතක් යන්නය. ඊට පෙර පැවතියේ ඉන්දියාව, චීනය හෝ එක්සත් ජනපදය ප‍්‍රමුඛ වූ විදෙස් පිළිවෙතක් නිසා, මේ කිසිවකු සතුරු නොකරගත් සියල්ලෝ මිතුරෝ යන අර්ථයෙන්, ශ‍්‍රී ලංකාව කේන්ද්‍රීය කරගත් නව විදේශ පිළිවෙතක් තමන් ආරම්භ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේය.

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් මහතා සමග නව සම්බන්ධයක් ගොඩනැගීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකිවීම මෙහිදී විශේෂය. මෙම දෙදෙනාම හමුදා තනතුරු දරන අවධියේදී එකට පුහුණුවීම් හි යෙදුණු හෙයින් මෙම දෙදෙනා අතර ඇති දීර්ඝ කාලීන මිත‍්‍රත්වය අනුව, ඉන්දියාව සමග නව පෙළගැස්මක් අනුව කටයුතු කිරීම මැදමුලනේ නව විදේශ පිළිවෙතේ ප‍්‍රමුඛ කාරණයක් විය. විශේෂයෙන්ම එතෙක් භාරතීය ජනතා පක්ෂ පාලනය තුළ සිටි රාජපක්ෂ හිතවාදිත්වයක් දරන ලද විදේශ අමාත්‍ය ධුරය දැරූ සුෂ්මා ස්වරාජ්ගේ අභාවය හේතුවෙන්, භාරතීය ජනතා පක්ෂ මතවාදයේදී රාජපක්ෂලා වෙනුවෙන් ඍජුවම පෙනී සිටින ලද්දේ, ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි පමණය. මේ නිසා භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවක් තුළ ශ‍්‍රී ලංකාව කෙරෙහි සුබවාදී තත්ත්වයක් ඇති කර තබා ගැනීම, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවය විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ස්වරූපය ද මෙහිදී වැදගත් වන්නේ, ඔහු යටි න්‍යාය පත‍්‍ර හිසේ තබාගෙන කතා නොකරන හෙයිනි. මීට මාස තුනකට පෙර ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන් ෂ‍්‍රිංග්ලා මහතා සමග සිදු කරන ලද සාකච්ඡාවේදී ජනාධිපතිවරයා, ඉන්දියාව කෙරෙහි වූ සිය විදේශ පිළිවෙත නොසඟවා ප‍්‍රකාශ කළේය.

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කරන ලද පළමු කාරණය විය. ඒ අනුව රහසිගත න්‍යාය පත‍්‍ර, දෙපාර්ශ්වය අනුගමනය නොකරන බව ඔහු දෙරටේ ජනතාවටම පතල කර සිටියේය. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර 1960, 70 දශකවල පැවති මිත‍්‍රත්වය හා සබඳතාව යළි ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව, ඉන්දීය සාගරය, සාම කලාපයක් බවට පත්කිරීමට අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1971 දී කළ යෝජනාව ඉදිරියට ගෙන යෑම, දෙරට අතර සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒමට කෙටි හා දීර්ඝකාලීනව ගත යුතු පියවර හඳුනාගැනීම යන කාරණා එහිදී ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දීය පාර්ශ්වය වෙත අවධාරණය කර තිබුණි.

මෙසේ ඉන්දීය සම්බන්ධතාවය සඳහා නව පිවිසුමක් ශ‍්‍රී ලංකාව ආරම්භ කරන ලද්දේ, යුද සමයේදී ඉන්දීය කොන්ග‍්‍රස් පක්ෂ ආණ්ඩුව සමග දෙරටේම නියෝජිත තුන් කට්ටුවක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඇති කරගත් පිළිවෙත තවත් ඉදිරියට ගෙන යෑමේ ක‍්‍රියාදාමයක් ලෙසය. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි ඉන්දීය විශ්වසනීයත්වය තහවුරු කිරීම සඳහා වැදගත් වනුයේ, ශිවශංකර් මෙනන් දෙන ලද සහතිකය ය. එසේම ඒ තුළ ඉන්දියාව, ශ‍්‍රී ලංකාව පිළිබඳව බැලිය යුතු රාමුව ද සටහන්ව තිබේ. CHOICES- Inside the Making of India’s Foreign Policy යන මෙනන්ගේ ග‍්‍රන්ථයේ සටහනේ මෙම උපුටනය තුළ ඒ සියල්ල ගැබ්ව පවතියි.

‘කිසිවිටක එකඟ නොවුණු කරුණක් වූයේ එල් ටී ටී ඊ නායකයින් පණපිටින් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා වූ අන්තර්ජාතික යෝජනායි. එසේම යුද්ධයට අන්තර්ජාතික මැදිහත් වීමකට ඉඩ ලබාදීම ඔවුන් සහමුලින්ම ප‍්‍රතික්ෂේප කළහ.

යුද්ධයේ අවසාන භාගයේ නෝර්වේ රාජ්‍යය හා ඇමෙරිකාව යුද විරාමයක් ලබාගැනීමට බොහෝ වෙර දැරූහ. ඔවුන්ගේ පැහැදිලි අවශ්‍යතාව වූයේ අනාගත ප‍්‍රයෝජනය සඳහා එල්ටීටීඊය විනාශ වෙන්නට නොදී ගලවා ගැනීමයි. මතුපිටින් නොපෙන්නුවද ඉන්දියාවේ තත්ත්වය මෙයට වෙනස් විය. ප‍්‍රභාකරන් වෙනුවෙන් එළිපිට කතා කළ තමිල්නාඩුවේ දේශපාලන නායකයන් පවා දැන සිටි කරුණක් වූයේ ප‍්‍රභාකරන් ජීවත් වුවහොත් යම් දිනක ඔහු තමන්ගේ ජීවිතවලට ද අනතුරක් විය හැකි බවයි. ඒ නිසා හිත යටින් ඔවුන්ද බටහිරට දණ නොනමන මහින්ද රාජපක්ෂගේ දැඩි ස්ථාවරය අනුමත කරන්නට ඇත.

26 වසරක යුද්ධය ශ‍්‍රී ලංකාවට බොහෝ අනර්ථකාරී ප‍්‍රතිඵල ගෙන් ආවේය. ආර්ථික වශයෙන් වූ හානිය පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ඉක්මවන්නට ඇත. (රුපියල් බිලියන 30,000ක්) ලක්ෂයක් පමණ පිරිසක් යුද්ධයෙන් මියගියහ. ඒ අතර ඉන්දියානු සාම හමුදාවේ 1,155 ද වේ.

යුද්ධයේදී මහින්ද රාජපක්ෂගේ සොහොයුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ කාර්ය භාරයක් ඉටුකළේය. ජනාධිපතිවරයා යුද්ධයේ වගකීම භාර දී තිබුණේ ගෝඨාභයට ය. හිටපු හමුදා නිලධාරියකු වූ ගෝඨාභය යුද්ධයේ අවසාන වසර කිහිපයේ සියලූම වැදගත් හමුදා තනතුරුවලට අදාළ පත්කිරීම් හා යුද තීරණවලට නායකත්වය සැපයුවේය. ඔහු මේ කාරණය සම්බන්ධව ගෞරවය ලබා ගැනීමට ද මැලි නොවන බව ‘ගෝඨාගේ යුද්ධය’ නැමති පොත පරිශීලනය කරන්නෙකුට පෙනෙනු ඇත.

‘මට පෙනී ගිය කරුණක් වූයේ ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඉතා පැහැදිලි දැක්මක් හා උනන්දුවක් ගෝඨාභය රාජපක්ෂට තිබුණ බවයි. ඔහුගේ මතයන් බොහෝ විට අපගේ මතයන් හා සැසඳුණි. මහින්ද රාජපක්ෂ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියට චීන සහාය බලාපොරොත්තු වූ නමුදු ඔහු අපට දුන් පැහැදිලි පොරොන්දුව නම් ශ‍්‍රී ලංකා – චීන සබඳතා කිසිවිටක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ නොතබන බවයි. මෙහිදී ගෝඨාභයගේ සහතිකය ඉතා වැදගත් විය. 2014 මා විදේශ ලේකම් ධුරයෙන් ඉවත්වන තුරු කිසිවිටක ශ‍්‍රී ලංකාව රාජපක්ෂවරු ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධව දුන් පොරොන්දු කඩ නොකළ බව මට කිව හැක.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් වන්නේ ශ‍්‍රී ලංකාව කිසිවිටක ඉන්දියාවට තම රටේ ආර්ථිකය හෝ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ අයිතිය පැවරීමට සූදානම් නොවුණුු බවයි. ඉන්දියාව පෙන්වා චීනයෙන් ආයෝජන ලබා ගැනීමත්, චීනය පෙන්වා ඉන්දියාවේ අවධානය ලබාගැනීමත් ශ‍්‍රී ලංකාව දක්ෂ ලෙස කළ අතර එහි කිසිදු වරදක් මම නොදකිමි. ඔවුන් එසේ නොකරාවි යැයි සිතීමට තරම් ඉන්දියාව මෝඩ නොවිය යුතුය.

මා දන්නා තරමට යුද්ධයෙන් පමණක් ත‍්‍රස්තවාදය අවසන් කළ එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපළ හානි වැළැක්විය නොහැක. මෙහිදී ඇසිය යුතු ප‍්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප‍්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යෑම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කළ හැකිද යන්නයි.’

ශිවශංකර් මෙනන්ගේ මෙම විස්තරය තුළ ශ‍්‍රී ලංකාව කෙරෙහි ඉන්දීය පිළිවෙත සඳහා අනර්ඝ රාමුවක් සකසා ඇති බව කිව හැකිය. සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාව කෙරෙහි වන ඉන්දීය භූමිකාව පදනම් වනුයේ, ඉන්දියාව සිය අතපෙවීම් සඳහා කුමන හෝ සාධකයක් පෙන්වා දුන්නද එය ඇත්ත වශයෙන්ම ශ‍්‍රී ලංකාව කලාපයේ ස්ථාවර නොවනු පිණිස ඉන්දියාව දරන තැතකට වැඩි දෙයක් නොවන බවය. මෙම තත්ත්වය ගෝඨාභය රාජපක්ෂ පාලනය සඳහා ද ‘එකට සිටගෙන වුව ද’ ඉන්දියාව කළ හැකිය. ඉන්දීය අවබෝධය කුමන්ත‍්‍රණ මාදිලියක් ලෙස තවම මේ ආණ්ඩුව විෂයයෙහි පවතින බව කිව හැකිය. විශේෂයෙන්ම කොවිඞ් දෙවැනි රැල්ල, ගුරුවරුන්ගේ වෘත්තීය සටන ආදී ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග, චීන ආයෝජනයන්ට එරෙහිව දේශපාලන මෙහෙයවීම යන කාරණා ඉන්දීය බුද්ධි අංශ සක‍්‍රීය ආකාරයෙන් මේ වන විටත් සිදු කරමින් පවතින බව කිව හැකිය.

මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා මීට පෙර එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පරාජය කරන අවස්ථාවේදී ඉන්දියාව සමග ගනුදෙනු කරන ලද යාන්ත‍්‍රණය මෙම ආණ්ඩුවට ද භාවිතා කළ හැකිය.

එහිදී පිහිටුවනු ලැබූ ට්‍රොයිකා නම් සාකච්ඡා සභාවේ ඉන්දියානු නියෝජිතයන් තිදෙනෙක් වූහ. විදේශ ලේකම් මෙනන්, ආරක්ෂක ලේකම් විජේසිංග් සහ ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායන් ඉන්දියානු ට්‍රොයිකාවට සහභාගි වූහ. ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිපුද්ගල කමිටුව සදහා අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඒ සඳහා ඇතුළත් වූහ.

මෙම ට්‍රොයිකා ආකෘතිය යළි බිහි කර ගැනීම තුළින් ඉන්දියාව කුමන්ත‍්‍රණකාරී මානසිකත්වයෙන් ඈත් කර තබාගැනීමට වත්මන් ශ‍්‍රී ලංකා පාලනයට හැකි වනු ඇත.

එසේම මෙහිදී චීන මැදිහත්කරණය ද වැදගත් වනු ඇත. එය දේශපාලනික ප‍්‍රයත්නයකට වඩා ආයෝජන ස්වරූපයෙන් ගලා එන්නකි. චීන සබ්මැරීන් ශ‍්‍රී ලංකා මුහුදට එන බව පවසමින් රාජපක්ෂ ආණ්ඩුව ඉන්දීය මූලික වූ කුමන්ත‍්‍රණයකින් පෙරළා දැමුවද, රාජපක්ෂ ආණ්ඩුව යටතේ, හම්බන්තොට වරායේ වසර හතලිහකට චීනයට බදුදී තිබූ, බහලූ පර්යන්තය ඉන් මුදා ගැනීමට ඉන්දියාවට හෝ බටහිර ඇණියට නොහැකි විය. ශ‍්‍රී ලංකාවට ඉතා වාසිදායක ගිවිසුමක් වූ එය, හුදු වාණිජ කටයුත්තක් පමණක්ම විය. ඒ වෙනුවට යහපාලන ආණ්ඩු සමයේදී, හම්බන්තොට වරායට අයත් අක්. 5000 ක භූමි භාගයට අමතරව ඉන් පිටත තවත් අක්. 15,000 ක භූමි භාගයක් තමා වෙත ලබා ගැනීමට චීනය කටයුතු කළේය.

මේ අනුව අක්. 20,000 ක් හෙවත් වර්ග කිලෝමීටර් 80 ක තවත් රටක් බඳු ප‍්‍රදේශයක් චීනයට හිමිකර ගැනීමේ අවස්ථාව උදාවිය. මෙය වතිකානු රාජ්‍යය, මොනාකෝ රාජ්‍යය, ජිබ්රෝල්ටා, කොකෝස් දූපත්, නාවුරු දූපත්, ස්ට‍්‍රැට්ලි දූපත් හා මකාවෝ යන කුඩා රාජ්‍යයන් සියල්ලේම විශාලත්වය අභිබවා ගිය භූමි ප‍්‍රමාණයකි. චීනයට මේ ආකාරයට හම්බන්තොට වරාය හා කුඩා රාජ්‍යයන් 7 කට වඩා විශාල භූමි භාගයක් ලැබුණු පසු චීනයේ පරමාණු සබ්මැරීන පවා හම්බන්තොටට ගෙන්වා නතර කරගතහොත් එයට විරුද්ධ වන්නේ කවුද? හම්බන්තොට වරාය හමුදාමය නැතිනම් යුදමය කටයුතුවලට යොදාගත නොහැකි යැයි වගන්තියක් එයට අදාළ ගිවිසුමට ඇතුළත් කළද එවැනි වගන්ති බලාත්මක කරන්නේ කවුද? කොළඹ වරයාට චීන සබ්මැරීනයක් ආවා යැයි කියා රාජපක්ෂ ආණ්ඩුව පලවා හැරීමට කුමන්ත‍්‍රණ දියත් කළ ඉන්දියාව තමාගෙන්ම අසාගත යුතු වන්නේ මේ ප‍්‍රශ්න කිහිපයය. රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඉන්දියාව විරෝධය පළ කරන ලද වරාය නගරය ද යහපාලන ආණ්ඩුව විසින් නැවත සක‍්‍රීය කළේය.

මේ චීන මාදිලිය සඳහා උදාහරණයන්ය. ඉන්දීය මැදිහත්කරණයෙන් බිහිවූ බටහිර ආශිර්වාදය ලද යහපාලන ආණ්ඩුව සිය ආයෝජනයන් සඳහා එවැනි ස්ථාවරයකට පත් කර ගැනීම සඳහා චීනය සුවිශාල මහන්සියක් නොගත්තේය. සිය ආර්ථික හයිය පමණක් ඔවුන් එහිදී භාවිතා කළේය. චීනය සමග රාජපක්ෂ ආණ්ඩුව ගනුදෙනු කරන ලද්දේ, සංවර්ධන න්‍යාය පත‍්‍රය සහ එජා මානව හිමිකම් කොමිසමේදී තමන් මුහුණ දුන් තත්ත්වය සමගය. එජා මානව හිමිකම් කොමිසමදී චීනය සහ රුසියාව දුන් දායකත්වය දෙස බලන විට, කිසිදු ශ‍්‍රී ලාංකිකයකු වෙත එම සහය අමතක කළ නොහැකි මට්ටමක තිබේ. මේ නිසා චීන සහය යන්න ශ‍්‍රී ලංකාව විෂයයෙහි කලගුණ, අතිජාත මිත‍්‍රත්වය, කිසිදා හානිදායක නොවූ යන විශේෂත්ව සහිත වූවකි. එසේ වුවද වෙළෙඳ ශේෂය අතින් ශ‍්‍රී ලංකාව සඳහා චීනය සිටින්නේ අවාසිදායක ස්ථානයක ය. මේ සඳහා ශ‍්‍රී ලංකාවට චීනය සම්බන්ධයෙන් නව උපාය මාර්ගයක් අත්හදා බැලීමේ අවස්ථාවක් තිබේ. ඩඞ්ලි සේනානායක මහතාගේ රජය සමයේ ශ‍්‍රී ලංකාව මුහුණ දුන් රබර් මිල පහත වැටීමේ තත්ත්වයේදී චීනය සමග ශ‍්‍රී ලංකාව අත්සන් තබන ලද රබර් – සහල් ගිවිසුමට මෙම වසරේදී වසර හැත්තෑ පහක් සපිරේ. එදා වෙළෙඳ අමාත්‍ය ආර්.ජී. සේනානායක මහතා සමග චීනයේ විදේශ වෙළෙඳ කටයුතු භාර අමාත්‍ය ජීෂුුවෑන් අත්සන් තබන ලද එම ගිවිසුම සඳහා ඩඞ්ලි සේනානායක රජයේ අමාත්‍යවරුන් වූ කොතලාවල සහ ජේ.ආර්. උග‍්‍ර ලෙස විරෝධය පාන්නට වූහ. එසේ තිබියදී ශ‍්‍රී ලංකාව වෙත එදා චීනය ලබා දුන් ‘වින් -වින්’ තත්ත්වය යළි ශ‍්‍රී ලංකාව ලබා ගත යුතුය. චීන ඍජු ආයෝජන සේම, චීන වෙළෙඳ පොළ සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රවේශය ද මෙහිදී වැදගත්ය. විශේෂයෙන්ම අද වන විට ලොව වැඩිම පිටවන්නන් සහිත රට බවට චීනය පත්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සඳහා චීනය තරම් උපකාරයක් මේ අවස්ථාවේදී නැති බව කිව යුතුය.

පොහොර නැවේ ප‍්‍රශ්නය නොව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පර්යේෂක පිරිසකගේ කුමන්ත‍්‍රණයක් හේතුවෙන් චීනය සමග පැටලූ පොහොර සම්බන්ධ ගැටලූ ආදිය ද මෙහිදී ශ‍්‍රී ලංකාව අවධාරණය කර ගත යුතුව ඇත. චීන පොහොර නැව ගෙන ඒම සඳහා ආණ්ඩුව මැදිහත් වන්නේ, මෙරට ජෛව පොහොර සාදන තෙක් සිය තීන්දුව රැක ගැනීම උදෙසාය. ඉවසීම සහ ආණ්ඩුවට සිය ප‍්‍රතිපත්තිය මෙහෙයවීම සඳහා සාධනීය විවේචනයක් හෝ කාලයක් ලබා දුන්නේ නම්, මේ පොහොර නැව එන්නේ නැත. ඒ පැමිණි නැවේ පොහොර සංයුතිය පිළිබඳව සොයා බැලීම සිදුවූයේ විද්‍යාත්මක පසුබිමක නොව දේශපාලනික පසුබිමකය. තම ශිෂ්‍ය අවධිය පුරාම තහනම් දේශපාලනය සඳහා තිරය පිටුපස සිට මෙහෙවරේ යෙදුණු අයෙක්ගේ නායකත්වයෙන් සිදු වූ එම පර්යේෂණය, සිය දේශපාලන ව්‍යාපාරයේ ආණ්ඩු විරෝධය මත පදනම් වූවක් මිස අන් යමක් නොවීය. චීන පොහොර සඳහා ප‍්‍රමිතිය තීරණය කිරීම, අදාළ ගිවිසුමට අනුව දෙපාර්ශ්වයම එකඟ වන එතෙර පර්යේෂණ ස්ථානයක සිදු කළ හැක්කේ මුත්, එම දේශපාලනය ඒ සඳහා ද අවස්ථාවක් ලබා නොදුන්නේය. පොහොර ආනයනිකයා වන චින්ඩා ඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම ඔක්තෝබර් මාසයේදී නිවේදනය කරන්නේ, තම පොහොරවල අර්වීනියා ඇත්දැයි නැවත පරීක්ෂා කිරීමට ලෝකයේ පිළිගත් පරීක්ෂණ සමාගමක් වන ස්විස් එස්.ජී.එස්. සමූහයට සාම්පල යොමුකරන්නැයි ඉල්ලීමක් කරන බවය. ඔවුන් ලබාදෙන පරීක්ෂණ ප‍්‍රතිඵලය දෙපාර්ශ්වයම කොන්දේසි විරහිතව පිළිගත යුතු බව ද චීන සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

සමකෝණී ත්‍රිකෝණයක රාජපක්ෂ හැසීරීම

සිය පොහොර සාම්පලහි අර්වීනියා ඇතැයි තහවුරු වුවහොත්, සැපයුම්කරු ලෙස පොහොර තොගය කොන්දේසි විරහිතව ආපසු රැගෙන යන බවත් පැවසූ චීන සමාගම එලෙසම, එහි අර්වීනියා නැතැයි තහවුරු වුවහොත්, කොන්දේසි විරහිතව මුදල් ගෙවා පොහොර තොගය ලබාගැනීමට පියවර ගත යුතු බව ද අවධාරණය කළේය. පොහොර නැව සඳහා මුදල් නොගෙවන ලෙස අධිකරණය අතුරු තහනම් නිවේදනයක්, මහජන බැංකුවට යොමු කිරීම, මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීමට චීනය තීරණය කිරීම වැනි දෑ සමග පොහොර නැව ආපසු හැරවෙන්නේය.

මේ පොහොර නැව හේතුවෙන් ආපසු හැරවීමට නියමිතව තිබුණේ, චීන – ශ‍්‍රී ලංකා සම්බන්ධතා ය. එසේ වුවත් ශ‍්‍රී ලංකාව චීනයෙන් ගත යුතු වාසි මේ කිසිවක් හෝ නිසා අත්හළ නොහැකිය. විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාව සඳහා ලබාදී ඇති ණය සම්බන්ධයෙන් යළි සලකා බැලීමක් කරන ලෙස චීන විදේශ අමාත්‍ය වොංග් යි මහතාගෙන් ඉල්ලීමක් කිරීම මෙහිදී වැදගත්භාවයක් උසුලයි.

චීනය සමග යන දුර තීරණය කිරීමේදී ඉන්දියාව සහ එක්සත් ජනපදයේ කැමැත්ත යන්න ශ‍්‍රී ලංකාවට වැදගත්ය. රාජපක්ෂ බලඇණිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇණිය තවම සිය මතය ලෙස ශේෂ කරගෙන ඇත්තේ ‘චීනයට බර’ යන පදය ය. එය ශ‍්‍රී ලංකාව විෂයෙහි චීනයෙන් ප‍්‍රයෝජන ගැනීමක් සේම චීනය සඳහා භූ දේශපාලනික පිවිසුමෙන් ශ‍්‍රී ලංකාව දරන වැදගත්භාවය ද හේතු කරගෙන උපන්නෙකි. විශේෂයෙන්ම ඉන්දියාව සහ බටහිර ඇණිය, එල්ටීටීඊ ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද සහනශීලි පිළිවෙත හේතුවෙන් ඉපදුණු ‘චීනයට බර’ යන තත්ත්වය, දැන් යම් තුලිතභාවයක් කරා රැගෙන යෑම ශ‍්‍රී ලංකාවේ උපාය මාර්ගය බවට පත්විය යුතුය. තවමත් අපේ වෙළෙඳ ශේෂයේ වාසිදායකම තත්ත්වය තිබෙන්නේ එක්සත් ජනපදය සමග ය. කුමන තත්ත්වය යටතේ වුවත් එක්සත් ජනපදය නොසලකා හරිමින් ලෝකයේ කිසිදු ක්‍ෂේත‍්‍රයක කටයුතු කළ නොහැකිය.

එක්සත් ජනපදය මේ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාවේ ආයෝජනය සඳහා උග‍්‍ර උනන්දුවක් දක්වන්නේ බලශක්තිය යන ක්‍ෂේත‍්‍රය සඳහා ය. එය ශ‍්‍රී ලංකාවට ද මෙම අවස්ථාවේ අවශ්‍යම ආයෝජනයකි. විශේෂයෙන්ම මෙහිදී නිව් ෆෝට‍්‍රස් සමාගම සමග ද්‍රවිකෘත ස්වභාවික වායු සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ යුගදනවි බලාගාරය සඳහා එක්සත් ජනපදය සිදු කරනු ලබන ආයෝජන සලකා බැලිය යුත්තකි. එය එක් අතකින් එක්සත් ජනපදයේ උපාය මාර්ගයේ කොටසක් වනවා ඇත. අනෙක් අතට එක්සත් ජනපද සමාගමක ආයෝජනයක් වනවා ඇත. එසේම ශ‍්‍රී ලංකාව සඳහා මේ මොහොතේ අවශ්‍ය විදුලිය සම්බන්ධ ගැටලූ නිරාකරණය කර ගැනීම සඳහා එය සිදු කරන පිටිවහල දෙස බලන විට ඒ තරම් වාසිදායක ආයෝජනයක් මේ මොහොතේ ශ‍්‍රී ලංකා පාර්ශ්වයට නොමැති බව කිව හැකිය. මෙම එක්සත් ජනපද ආයෝජනය නතර කර ගැනීම සඳහා විවිධ දේශපාලන උපායන් මේ මොහොතේ චීන පාර්ශ්වය යොදමින් සිටින්නේ, ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්‍ෂේත‍්‍රය සඳහා වන සිය බලය තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණෙනි. විශේෂයෙන්ම ගල් අඟුරු බලාගාර හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ බලශක්තිය සඳහා ඇති චීන බලය තවම ප‍්‍රමුඛ ස්ථානයක රැඳී සිටියි. එය තුලනය කර ගැනීම සඳහා එක්සත් ජනපදයේ නිව් ෆෝට‍්‍රස් වැනි ආයෝජන ශ‍්‍රී ලංකාව සඳහා වැදගත්ය. එසේම මෙම නිව් ෆෝට‍්‍රස් ආයෝජනය පිළිගැනීම තුළින් ශ‍්‍රී ලංකාවට ලැබෙන බලශක්ති සුරක්ෂිතභාවයට අමතරව, එජා මානව හිමිකම් කමිටුව ඉදිරියේ ශ‍්‍රී ලංකාවට එදිරිව සිටින එක්සත් ජනපදය ප‍්‍රමුඛ රටවල්, ඉන් මෙහාට ගැනීම සඳහා ද අවස්ථාවක් ලැබෙනු ඇත.

සැප්තැම්බර් 17 වෙනිදා මධ්‍යම රාත‍්‍රිය ආසන්න වෙන තෙක්ම මෙම ගිවිසුමේ පූර්ව කෘත්‍යයන් ආණ්ඩුව ඉටු කරමින් ඒ සඳහා වන එකඟතා සඳහා අත්සන් තබන ලද්දේ, ඊට පසුදා ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගිවීමට නිව්යෝර්ක් බලා යන හෙයිනි. එහිදී එක්සත් ජනපද පාර්ශ්ව වෙත තමන්ගේ සුහදත්වය මෙවැනි වාසිදායක ආයෝජනයක් මගින් පෙන්වීම ආණ්ඩුවේ උපාය වන්නට ඇත. අනික් අතට ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි සඳහා ඉන්දියාව දක්වන කැමැත්ත ය. මේ සඳහා ද පදනම සපයන්නේ, චීනයේ කලාපයේ බලශක්ති සහ නාවික තීරයේ ප‍්‍රමුඛවීම නවතා ගැනීම සහ ඉන්දීය – එක්සත් ජනපද ආරක්ෂක අවශ්‍යතාවය සඳහා කලාපය සමබර කර ගැනීමට හෝ වාසිදායක තත්ත්වයක තබා ගැනීමය.

මෙම පිළිවෙත අනුව දැනට ආණ්ඩුවේ උපාය බවට පත්ව ඇත්තේ, ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇණිය තුනෙන් එකේ සීමාවේ තබා සියල්ල අංග සම ත‍්‍රිකෝණයක් ලෙස සමබරව තබා ගැනීම බව පෙනේ.

සීත යුද සමයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ආරම්භ කරන ලද නොබැඳි පිළිවෙත සහ එල්ටීටීඊ යුද සමයේ මහින්ද රාජපක්ෂ මහතා පවත්වාගෙන ගිය විදේශ පිළිවෙත මේ රටේ ජයග‍්‍රහණය සඳහා යොදා ගත් නිවැරදිම විදෙස් පිළිවෙත් විය. ඒ සියල්ල රටට වාසි ලබාදුන් උපාය මාර්ග විය. කොවිඞ් වැනි දැවැන්ත ලෝක අර්බුදයක් හමුවේ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විදෙස් පිළිවෙත ද මෙම ජයග‍්‍රාහී උපාය මාර්ග ආදර්ශයට ගෙන යායුතුය. විශේෂයෙන්ම පසුගිය වාරයේදී යහපාලනය බලයට ගෙන ඒම සඳහා ඉන්දියාවට සහ බටහිරට තිබූ අවශ්‍යතාවය ද මෙම ආණ්ඩුව සමනය කර ගත යුතු වනවා ඇත්තේ, ආණ්ඩුවේ ආරක්ෂාව, රාජපක්ෂලාට ප‍්‍රමුඛ වන හෙයිනි. එසේම දැනට රට හමුවේ ඇති ආර්ථික අභියෝගය සඳහා ද මෙම තුන් කට්ටුවේ පූර්ණ තරගකාරිත්වයක්, ශ‍්‍රී ලංකාව ඉදිරිපිට තබා, ලබාදීම ආණ්ඩුවේ හැකියාව මත පවතියි.

එතෙක් ඉන්දියාව භාවිතා කරන ලද නේරු – ගාන්ධි විදෙස් පිළිවෙත අගමැති මෝදි යටතේ නව දිශානතියක් කරා ගමන් කරන බව කිව හැකිය. ඇක්ට් ඊස්ට් හෙවත් ශාන්තිකර සාගරය දෙසට ඉන්දියාව ගෙන යෑම සඳහා වූ අගමැති මෝදිගේ නව උපාය මාර්ගය එක් පැත්තක ය.

2013 දී චීනයේ ජනාධිපති තනතුර සඳහා පත්වූ ෂී ජින් පින්ග් ඉදිරිපත් කරන ලද එක් මාවතක් – එක් තීරයක් යන, පැරණි සේද මාවතේ අලූත් වන නව චීන උපාය තව අතකින් ද තිබේ. චීන බල ව්‍යාපෘතියට එදිරිව සහ නැගී එන ආසියාවේ බලය හමුවේ සකස් වූ, ජනාධිපති ඔබාමාගේ ‘ආසියාවට නැඹුරුවීම’ හෙවත් ‘ආසියාවේ සමතුලනය’ යන වත්මන් එක්සත් ජනපද භාවිතාව තව පැත්තකය. එසේම 2005 වසරෙන් පසු ආරම්භ වූ නව ඉන්දීය – එක්සත් ජනපද එකඟතාවය ද මෙහිදී සලකා බැලිය යුතුය. එය චීනය දෙස බලා, පොදු සතුරා සඳහා නව න්‍යාය පත‍්‍රයක් සඳහා පෙළ ගස්වන ලද්දකි.

මේ සියල්ල ඉදිරියේ ශ‍්‍රී ලංකාවට කළ හැක්කේ තම න්‍යාය පත‍්‍රය සඳහා ත‍්‍රිකෝණය තුළ උපායික වීමය.

අට වැනි පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය 2020 ජනවාරි 03 විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය විදෙස් පිළිවෙත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ‘‘රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතාවලදී හෝ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය සැමවිටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සම තත්ත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. විශේෂයෙන් ආර්ථික වැදගත්කමක් ඇති අපේ භූ ප‍්‍රදේශ හෝ භෞතික සම්පත් කිසිවිටෙකත් වෙනත් රටවල් සතු නොකිරීම අපේ ප‍්‍රතිපත්තියයි” මෙය උපාය මාර්ගික න්‍යාය පත‍්‍රය බවට වත්මන් ආණ්ඩුව පත් කර ගන්නවාද නැද්ද යන්න තීරණය වනු ඇත්තේ, ආණ්ඩුවට තීරණාත්මක වන ඉදිරි වසර තුළය.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment