සමස්ත රාජ්‍ය ව්‍යුහයම පරිවර්තනය කරනවා

35

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ

සමස්ත රාජ්‍ය ව්‍යුහයම සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරන වැඩපිළිවෙළක් ජන අරගල සන්ධානය විසින් ඉදිරිපත් කරන බව එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (29දා) පැවසීය.

එම සන්ධානයේ අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමෙන් අනතුරුව කොළඹ මහජන පුස්තකාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කීවේය. එහිදී ඔහු මෙසේද පැවසීය.

විකල්ප ධාරාව කියන බොහෝ අය මේ මොහොතේ කරන්නේ පැලැස්තර දාලා මේ ක්‍රමයම නඩත්තු කරගෙන යන්න ඕනේ කියන එක. නමුත් ජනප්‍රිය වුණත් නැති වුණත් අපි කියන්නේ මේ ක්‍රමයම සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ කියලා. ජන මූල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම අපේ අරමුණක්. ඒහරහා පවතින විකෘති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ජන සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය බිමේ ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. ජනතාව මුහුණ දෙන ඇත්ත ප්‍රශ්නවලට විසඳුම් අපි ඒ හරහා යෝජනා කරනවා. එමෙන්ම අර්බුදයකට මුහුණ දුන් මේ රටේ ණය කපා හැරීමේ යෝජනා අප ඉදිරිපත් කර තිබෙනවා. හැම ප්‍රශ්නයකටම මුල හොරකම කියලා සමහරු කියනවා. ඒත් ඇත්තම ප්‍රශ්නය තියෙන්නේ මේ ආණ්ඩු පවත්වාගෙන යන ලාභය මූලික කරගත් ආර්ථික ක්‍රමය ඇතුළේ. ඒ නිසා අපි සමාජවාදී ආර්ථික ක්‍රමයක් යෝජනා කරනවා. ලාභය මූලික කරගත් ආර්ථිකයක් වෙනුවට සමාජය මූලික කරගත් වැඩපිළිවෙළක් අපි ඒ හරහා යෝජනා කරනවා. ඒ වගේම දෙමළ මුස්ලිම් ජනතාවට පිළිගත හැකි දේශපාලන විසඳුමක් අපි යෝජනා කර තිබෙනවා. ඒ අනුව ජන අරගල සන්ධානයේ සමස්ත වැඩපිළිවෙලේ ප්‍රකාශකයකු ලෙස මම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.

අනුරාධ හිරිපිටියගේ


advertistmentadvertistment