සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලෙහි දෙවන අදියර තරග ඊයේ (04දා) සිට ලබන බදාදා (09දා) දක්වා ක්‍රියාත්මක කිරීමට සංවිධායකයන් වන අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
එල්ලේ, ක්‍රිකට්, කබඩි, රග්බී පාපන්දු, හෑන්ඩ් බෝල්, හොකී, වුෂූ, පාපැදී, ඇරොබික් ජිම්නාස්ටික්, කබඩි, අර්ධ මැරතන් තරග දෙවන අදියර යටතේ ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අධ්යක්ෂ (ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) ලුතිතන් කර්නල් අනුර අබේවික්‍රම මහතා ප්‍රකාශ කළේය.
කිලෝ මීටර් 21 ක දුර ප්‍රමාණයකින් සමන්විත මෙවර බාලක සහ බාලිකා අර්ධ මැරතන් තරගය හෙට (05දා) දින ප.ව. 04.00 ට දඹුල්ල නගරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වේ. ඒ සඳහා සහභාගි වනු ඇතැයි අපේක්ෂිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 250 කි. මෙම තරගයට සමගාමීව පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි විනෝදය සඳහා වන කලෝ මීටර් 05 ක දුර ප්‍රමාණයකින් සමන්විත මාර්ග ධාවන ඉසව්වක් ද පැවැත්වෙන අතර ඒ සඳහා ඉදිරිපත්ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ එකතුව 600 කි. සුපුරුදු පරිදි විනෝදය සඳහා වන තරගය මෙන්ම අර්ධ මැරතන් තරගය සඳහා නෙස්ලේ ලංකා සමාගමේ “නෙස්ටොමෝල්ට්” අනුග්‍රාහකත්වය දක්වා තිබේ.
මෙවර බාලක සහ බාලිකා පාපැදී තරග ඔක්තෝබර් 06 දින පෙරවරුවේ අනුරාධපුරයේ දී පැවැත්වේ. බාලක තරගය කි. මී. 50 ක දුර ප්‍රමාණයකින් ද බාලිකා තරගය කි. මී. 25 ක දුර ප්‍රමාණයකින් ද සමන්විත වෙයි.
එල්ලේ තරග 05, 06, 07 ත්‍රිකුණාමලයේ දී ද ක්‍රිකට් තරග 05, 06 අනුරාධපුරයේ දී ද, කබඩි තරග 04, 05, 06, 07 කෑගල්ලේ දී ද රග්බී පාපන්දු තරග 05, 06, 07 මහනුවර දී ද, හෑන්ඩ් බෝල් තරග 07, 08, 09 වීරකැටියේ දී ද හොකී තරග 05, 06, 07 මහනුවර දී ද වුෂූ තරග 04, 05, 06 මහනුවර – දිගන දී ද ඇරොබික් ජිම්නාස්ටික් තරග 05, 06, 07 බණ්ඩාරගම දී ද, කැරම් තරග 07, 08, 09 මහනුවර දී ද ක්‍රියාත්මක කෙරේ.
අනුරුද්ධ හේරත් බණ්ඩාර