කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැති සමස්ත ලංකා පාසල් ජිම්නාස්ටික් තරගාවලියේදී ජයග්‍රහණ ලබාගත් ඇතැම් දරුවන්ට හිමි පදක්කම් තරගාවලියෙන් පසු දිනෙක බෙදාදුන් බවත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලකුණු මට්ටම අඩු ක්‍රීඩිකාවක තෝරාගෙන ඇති බවත් තරගාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාවට දැඩි අසාධාරණයක් කර ඇති බවත් මව්පියෝ දැඩි ලෙස චෝදනා කරති.
ජයග්‍රහණ ලබාගත් දරුවන්ගේ නමක්, පාසලක් සහ ස්ථානයක් පවා ප්‍රචාරය නොකර පදක්කම් පිරිනමන වේදිකාවද භාවිත නොකරමින් දරුවන්ගේ දක්ෂතාද ඇගයීමට ලක් නොකර සහනාධාර බෙදන අයුරින් පදක්කම් බෙදූ බවත් මුළු තරගාවලියම සංවිධානාත්මක බවකින් තොරව පැවැත්වූ බවත් මව්පියෝ කියා සිටිති.
දරු දැරියන් 65 දෙනකුට පමණ පදක්කම් සහ සහතික පත්‍රද හිමි නොවූ බැවින් සංවිධායක මණ්ඩලයෙන් ඒ ගැන විමසූ විට ප්‍රතිපාදන නොමැති නිසා පදක්කම්ද නොමැති බව පැවසූ බවත් තරගාවලිය අවසන් කර දිනකට පසු කොළඹ නිදහස් චතුරස්රයේ ජිම්නාස්ටික් පුහුණුවන ස්ථානයකට පදක්කම් තොගය රැගෙනවිත් වෙනත් පාසලක පුහුණුකරුවකු ලවා දරුවන්ට පදක්කම් ලබාදීම සිදුකළ බවත් මවුපියෝ කියා සිටියහ. මව්පියෝ මෙසේද කීහ.
මේ සමස්ත තරගාවලියම නිසි සංවිධානයකින් තොරවයි පැවැත්වූවේ. ළමයින්ගේ ජයග්‍රහණය ප්‍රචාරය කළේ නැහැ. දරුවන් ඇගයීමට පවා ලක් කළේ නැහැ. ජයග්‍රහණ ලබාගත් දරුවන්ට පදක්කම් දුන්නෙ සහනාධාර බෙදනවා වගේ. සමහර දරුවන්ට තම ජයග්‍රහණය පෙන්වන්න කොළ කෑල්ලක්වත් නැහැ. අඩුම තරමින් දරුවන්ට පින්තූරයක්වත් නැහැ. සමහර දරුවො අපෙන් අහනවා මම මොනවද ඉස්කෝලෙට පෙන්වන්නෙ කියලා.
සමස්ත තරගාවලියටම පදක්කම් 135ක් අවශ්‍ය වෙලා තිබුණා. තිබුණේ පදක්කම් 70යි. ජයග්‍රහණ ලබාගත් දරුවන් 65 දෙනෙකුට පදක්කම් හා සහතික පත්‍ර නැහැ. ඒ ගැන ඇහුවම ප්‍රතිපාදන නැහැ කිව්වා. සමස්ත ලංකා තරගාවලියක ජයග්‍රාහකයන්ට පදක්කම් බෙදුවෙ ඒ විදිහට.
අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්යක්ෂ ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම මහතාගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.
“ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පවත්වන තරගාවලියකට අවශ්‍ය පදක්කම් ප්‍රමාණය පොත්වල සටහන් කරලා සංවිධායක මණ්ඩලයට සම්බන්ධ නිලධාරියකුගේ අත්සන් ඇතුව තමයි භාරදෙන්නේ. තරගාවලිය අවසානයේ ඉතුරු වෙන පදක්කම් ටික නැවත අදාළ නිලධාරියා අත්සන් කරලා අමාත්‍යාංශයටම භාරදෙන්න ඕන. පදක්කම් පිරිනමන වෙලාවේ ජයග්රාහකයාට පදක්කම ලබාගන්න නොහැකි වුණොත් ක්‍රීඩකයාගේ හෝ ක්‍රීඩිකාවගේ හෝ අනන්‍යතාව සොයාගෙන ඒ පදක්කම අදාළ පාසලටම යවනවා.
කොහොම වුණත් මම මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරනවා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධම්මික සල්වතුර