සමස්ත ලංකා මල්ලවපොර තරගාවලියෙන් වැලිමඩ ඛේමානන්ද විදුහලේ නෙත්මි වත්සලාට රන් පදක්කමක්

61

2024 සමස්ත ලංකා පාසල් මල්ලවපොර තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට වැලිමඩ බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද විද්‍යාලයේ ජේ. ඒ. නෙත්මි වත්සලා ක්‍රීඩිකාව සමත්ව තිබේ.

මහනුවර දිගන පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා පැවති මෙම තරගාවලියේදී 16 න් පහළ කාන්තා අංශයේ කිලෝග්‍රෑම් 42/46 බර පන්තිය යටතේ තරග කළ නෙත්මි වත්සලා ක්‍රීඩිකාව මෙම ජයග්‍රාහණය ලබා ගැනීමට සමත් වී ඇත.

බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද විද්‍යාලයේ 9 ශ්‍රේණියේ මේ වනවිට අධ්‍යාපනය ලබන නෙත්මි වත්සලා 2022, 2023 සහ 2024 වර්ෂවල සමස්ත ලංකා මෙන්ම ජාතික මට්ටමේ මල්ලවපොර තරග රැසකට සහභාගී වී ජයග්‍රහණ රැසක් ලබා බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද විද්‍යාලයට හිමිකර දී ඇති දක්ෂ ක්‍රීඩිකාවක් බව ඇගේ පුහුණුකරු ආර්. ඒ. එස්. එච්. රණවීර මහතා පැවසීය.

බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද විද්‍යාලයේ විදුහල්පති ජී. ආර්. එම්. ආර්. කේ. රත්නායක මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අංශ භාර ආචාරිනී ඒ. එච්. නදීකා සජීවනී මහත්මියගේ මඟපෙන්වීම් මත ක්‍රීඩා පුහුණුකරු ආර්. ඒ. එස්. එච්. රණවීර මහතාගේ පුහුණුවීම් අනුව නෙත්මි වත්සලා ශිෂ්‍යාව මෙම තරගාවලිය සඳහා ඉදිරිපත්ව තිබිණ. අඟහිඟකම් රැසක් මැද අඩුපහසුකම් යටතේ පුහුණු වීම් ලබා ගනිමින්, මෙවන් දක්ෂතා රැසක් පෙන්වන මෙම දිරිය දියණියට පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් මීට වඩා ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට මඟපෑදෙන බව බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද විද්‍යාලයේ ආදි සිසුහු පවසති.

රන් පදක්කමක් දිනූ නෙත්මි වත්සලා බ/ගිරාඹේ ශ්‍රී ඛේමානන්ද විද්‍යාලයේ විදුහල්පති ජී. ආර්. එම්. ආර්. කේ. රත්නායක, ක්‍රීඩා අංශ භාර ආචාරිනී ඒ. එච්. නදීකා සජීවනී සහ ක්‍රීඩා පුහුණුකරු ආර්. ඒ. එස්. එච්. රණවීර මහතා සමග සිටින අයුරු ඡායාරූපයේ දැක්වේ.

බොරලන්ද – සමන්ත කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment