සම්පත්… ඔබට සුබ සන්ධ්‍යාවක්

212

මාර්ක් සමුදෙයි ලීසා තනිවෙයි

වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය තම නිසඟ කලා කුසලතාවෙන් පෝෂණය කළ රංගවේදී සම්පත් තෙන්නකෝන්, කලා කෙත පෝෂණය කරන්නට තවත් බොහෝ කලක් ඉතිරිව තිබියදී දිවි රඟම`ඩලින් සමුගෙන ගියා. කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සම්පත්, ඩග්ලස් සිරිවර්ධනගේ ‘අඹුසැමියෝ’ වේදිකා නාට්‍යයේ ‘ලිවේරා’ ගේ චරිතයට පණපොවමින් ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිසුණා. විජය ධර්මශ‍්‍රී ගේ ‘හිමගිර’ චිත‍්‍රපටයෙන් රිදී තිරයේ දොරටු විවරකරගත් ඔහු මිය යන විට ‘වන්ස්අපෝන් ටයිම් ඉන් කළම්ඹු සහ දිවිතුරා’ යන ටෙලි නාට්‍යවලට තම දායකත්වය ලබා දුන්නා.

අදින් මාස දෙකකට පමණ ඉහත, එනම් පසුගිය ඔක්තෝබර් මස 17 වැනිදා ‘මීවිත’ ‘පේ‍්‍රක්‍ෂා’ නෙුවෙන් අප හා කළ සංවාදයෙන් කොටසක් මෙසේ නැවත පලකරන්නේ කලාව වෙනුවෙන් ඔහු කළ සේවයට උපහාරයක් ලෙසිනි. මෙය සම්පත් පුවත්පතකට සැපයූ අවසන් සම්මුඛ සාකච්ඡාවයි.

‘ඔව් මල්ලී කියන්න….’

අපගේ ඇමතුමට සම්පත් අයියා අපහසුවෙන් නමුත් ලෙන්ගතුව ප‍්‍රතිචාර දැක්වූවා.

මේ ඔහුත් සමග අප කරන අවසන් සංවාදය බව එදා අපිත් ඔහුත් සිහිනෙකින්වත් නොසිතුවත් දෛවය එසේ ලියා තිබුණා.

අපහසුවෙන් වචන ගලපමින් අප සමග දොඩමළු වෙද්දී ඔහුගේ සහයට පැමිණි ආදරණීය බිරිඳ රත්නා ලාලනී ජයකොඩි අපිට මෙහෙම කිව්වා.

මල්ලී… සම්පත් අයියා මේ දවස්වල ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නෙ. කොහොම වුණත් කලාව වෙනුවෙන් ජීවිතයම කැපකරපු සම්පත් ගැන මාධ්‍යයේ පලවෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ නිසා අද එයා ඉන්න තත්ත්වෙත් එක්ක මේ වගේ දෙයක් කරන එක ගොඩක් වටිනවා.

එතැන් පටන් සම්පත් වෙනුවට ඔහු ළඟ හිඳ අප සමග කතා කළේ රත්නා ලාලනී.

ඇයට අමතක ඇතැම් තොරතුරු අපට කියන්න යැයි ඔහුට කීවේ අඩුවැඩිය මතක්කර දෙමින්.

වේදිකාවෙන් ජීවය ලැබූ සම්පත් මෙසේ අතීතාවර්ජනයක යෙදුණා…

මගේ ගම නුවර, ගම්පොල. නමුත් පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. මේ 1974–75 කාලයේ. ඒ කාලෙ කවුරුත් නාට්‍යවලට සම්බන්ධ වෙනවා. ලූම්බිණි රඟහල තියෙන්නෙ අපේ පාසල කිට්ටුව. ඉස්සර හැමදාම නාට්‍ය පෙන්වනවා. ඉතිං අපේ පන්තියේ යාළුවො කිහිප දෙනෙක් හුරුවෙලා හිටියා නාට්‍ය බලන්න යන්න. ඒ අපි 8-9 ශ්‍රේණිවල ඉගෙන ගන්න කාලෙ.

නිතර ලූම්බිණි රඟහලට යන නිසා ඩග්ලස් සිරිවර්ධන මහත්මයා රඟපෑ ‘අඹුසැමියෝ’ වගේ නාට්‍ය දකින්න ලැබෙනව. ඔවුන් ගේ රඟපෑම දකින මටත් නිරායාසයෙන්ම ඒ ගැන ආසාවක් ඇතිවෙනව.

මෙහෙම කාලයක් යද්දි ‘අඹුසැමියෝ’ දෙවැනි නිෂ්පාදනය සිදුවෙනව. මේ වෙනකොට මම උසස් පෙළ ලියල පාසල් කාලය අවසන් කරල ඉන්න කාලෙ. එතනදි ඩග්ලස් සිරිවර්ධන මහත්මයා මට කතාකරනව, සම්පත් මේකෙ චරිතයක් කරමුද කියල. ඒ ‘ලිවේරා’ ගේ චරිතය. ඒ චරිතය මුල් නිෂ්පාදනයේදී රඟපෑවෙ නීල් අලස් මහත්මයා. ඒ විදියට එදා ලූම්බිණි ර`ගහලේදි ආසාවෙන් නරඹපු නාට්‍යයේ ප‍්‍රධාන චරිතයක් මට ලැබෙනව. ඒක මගෙ ජීවිතයේ ලබපු ලොකු භාග්‍යයක් හැටියටයි මම සලකන්නෙ.

රංගනයට පමණක් සීමා නොවුණ සම්පත් තවත් බොහෝ ක්‍ෂේත‍්‍ර තුළ තම දක්‍ෂතා පෙන්වූවා.

මම එකතැනකට කොටු වුණ කෙනෙක් නොවෙයි. මේකප්, ඇඳුම් නිර්මාණය සහ පසුතල නිර්මාණයටත් සම්බන්ධ වුණා. රංගනය වගේම පෝස්ටරයක් වුණත් නිර්මාණය කරන තැන ඉඳන් අලවන තැන දක්වා ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ ඉගෙනීමේ ප‍්‍රථිපලයක් විදිහට ‘අබුද්ධස්ස කෝලම’ නාට්‍යයේ පසුතල නිර්මාණය වෙනුවෙන් 1981 වසරේදි පැවැත් වුණ යොවුන් නාට්‍ය උළෙලෙදි හොඳම පසුතල නිර්මාණයට හිමි සම්මානය මට හිමි වුණා. තම ජීවිතයේ සුවිශේෂීම අවස්ථාව වන බිරිඳ රත්නා ලාලනී ජයකොඩි මුණගැසීම ඔහු සිහි කළේ සතුටු සිනහ රැුඳි මුහුණින්.

අපි 1982 වසරේ ඉඳන් දැනහැඳුනුම්කම තිබුණට පෙම්වතුන් නොවෙයි. 1984–85 අවුරුදුවල ඩග්ලස් සිරිවර්ධන මහත්මයා අධ්‍යක්‍ෂණය කළ ‘සුබ සැන්දෑවක්’ නාට්‍යයේ මම මාර්ක්, රත්නා ලීසා. ඒ වගේම ජයලත් මනෝරත්න මහත්මයාගේ ‘පුත‍්‍ර සමාගම’ නාට්‍යයේ මම පුඩිමෝ, රත්නා නීනා. මේ නාට්‍ය දෙකේම අපි පෙම්වතුන්ගේ චරිතය කළේ. නමුත් ඔවුන්ට කවදාවත් එකතු වෙන්න ලැබුණෙ නැහැ. කොහොම වුණත් මේ නාට්‍යයන්වල එකට වැඩකරද්දි එකිනෙකා ගැන ඇතිවුණ අවබෝධයත් එක්ක වසර පහක ආදර කතාවකින් අනතුරුව අපි සැබෑ ජීවිතයෙත් පෙම්වතුන් වෙලා අඹුසැමියන් බවටත් පත් වුණා.

ඔවුන් දෙදෙනාගේ එකතුවෙන් බිහි වුණ වේදිකාවේ දරුවා වන ‘දෙසීය තුන්සීය’ ගැන මෙහෙම කිව්වා.

2017 වසරේදි ‘දෙසීය තුන්සීය’ කියල මම සහ රත්නා එකතුවෙන් නාට්‍යක් කළා. ඒක ජයලත් මනෝරත්න මහත්මයා ගේ මුල්ම පරිවර්තනය. එතුමාත් මේ නාට්‍යයේ රඟපෑවා. රාජ්‍ය නාට්‍ය උළෙලෙදි සම්මාන පවා හිමි වුණ ‘දෙසීය තුන්සීය’ අරගෙන අපි යුරෝපයේ රටවල් ගණනාවක සංචාරය කළා. මෙතනදි එක රටකින් කුලියට ලබාගන්නා වාහනයක් ගොඩබිම හරහා රට රට වලට පදවාගෙන යන්නෙත් මම මයි. රටට ලෝකෙට පෙනෙන්නට අ`ඩබෙර නොගැහුවත් ඔහු කළ මේ නිහ`ඩ සේවය අදටත් බොහෝ දෙනකුට මතක ඇති.

‘දෙසීය තුන්සීය’ නාට්‍යය යුරෝපයේ රංගගත කළාට පස්සෙ වෙනත් නාට්‍ය කිහිපයක්ම ඒ රටවල්වලට අරගෙන යන්න මට අවස්ථාව ලැබුණා. ඒ නාට්‍ය අතර දිවැස් හෙලනු මැන, පුත‍්‍ර සමාගම,

මිනිසා වැනි නාට්‍ය තිබුණා. මේ හරහා ශිල්පීන් බොහෝ පිරිසකට යුරෝපා සංචාරයට අවස්ථාව හිමි වුණා. ඒ වගේම ඒ රටවල කලාව සංස්කෘතිය හුවමාරු කරගැනීමේ

අවස්ථාවත් අපිට උදා වුණා.

වසංගතයක් රටම වෙලාගෙන තිබෙන යුගයක ඔහු අනාගතය ගැන මෙහෙම සිහින මැව්වා.

අද වෙනකොට බොහෝ නිර්මාණකරුවන් විවේකීව ඉන්නෙ. ඔවුන් පොත් පත් මගින් රූපවාහිය මගින් තමන්ගේ දැනුම මුවහත් කරගන්නවා. ඉතිං අද රටේ තියෙන තත්ත්වය යහපත් වුණ දවසක හොඳ නිර්මාණ බිහිවේවි. අපි සුබවාදීව බලාගෙන ඉන්නවා.

කලාව සම්පත්ගේ ජීවිතයම බව කියන්නට මීට වඩා සාක්‍ෂියක් තියෙනවද?

අසනීප වුණත් අතපතගාමින් හරි වේදිකාවට ගොඩවෙනවා. අවසන් හුස්ම යනතුරු කලාව අතහරින්නේ නෑ.

මේ වචන සැබෑවක් කරමින් අවසන් සුසුම් පොද වාතලයට මුසුවනතුරු ඔහු කලාව වෙනුවෙන් කැපවුණා. 62 වැනි වියේදී දිවිසැරිය නිමා කළත් ඔහු ගේ නිර්මාණ තුළ සම්පත් තෙන්නකෝන් නාමය සදාතනිකව ජීවමාන වනු ඇත.

රංගවේදියාණෙනි…!

ඔබට සුබ ගමන්…

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment