සම්ප්‍රදාය ඉක්මවා යමින් සඳගිරිසෑය හැඩකළ සිත්තරාවිය

1194

හන්තාන කඳු මුදුනේ සඳගිරි මහා ස්තූපය අහස්කුස හා හාදවය. කොත් මුදුණ සිඹ සිඹ යන සුදෝ සුදු වලාවන් ස්තූපයේ සිට දෙරණ සිසාරා දැහැමි පණිවිඩයක් රැගෙන දූත මෙහෙවරකය. දාගැබ් ගර්භයේ සියුම්ව මැවෙන රූ රටා වල අසිරිය පිළිබඳ වූ ඒ සංදේශයෙන් කියැවෙන්නේ පෙර නෑසූ කතාවක්මය. අප සඳගිරි මහා ස්තූපය කරා ඔබව මේ රැගෙන යන්නේ සුදෝ සුදු වලාවෝ කොඳුරමින් යන ඒ පණිවිඩය ඔබට කීමටය.

ශ‍්‍රී ලංකවේ විහාර බිතු සිතුවම් කලාව සියවස් ගණනාවක් පැරණිය. ඒ පැරණි ඉතිහාස කතාවේ සිට අද දක්වාම නොවූ දෙයක් සඳගිරි සෑ ගර්භය තුළ සිදුවෙමින් ඇත. ඇය ඇගේ තෙලිතුඩින් අලූත් ඉතිහාස කතාවක රූ රටා අඳිමින් සිටින්නීය. ඒ රටාවලින් මතුවන සිතුවමින් උපදින්නේ මෙතෙක් පුරුෂාධිපත්‍යයට නතුව පැවති මෙරට විහාර බිතුසිතුවම් කලාවේ අලූත් පරිච්ෙඡ්දයක්ය. මේ සිත්තරාවිය චාමිනී වීරසූරිය වන්නීය. ශ‍්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් කලාවේ පළමු කාන්තා චරිතය වන්නී ඈය.

පේරාදෙණිය සරසවියේ ලලිතකලා උපාධියද කැලණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලාධිපති පශ්චාත් උපාධියද කරපින්නාගෙන මේ සර්ව පිත්තල සමාජයේ රුපියල් සත පසු පස හඹා ගොස් පවුලක් පන්සලක් වී සාම්ප‍්‍රදායික ගැහැණියක සේ ජීවත් වීමට ඇයටද තිබුණාය. එහෙත් ජන්මයෙන් ලද හැකියාව ඇය යොදාගන්නී, කලාව ආගමික උන්නතියත් අධ්‍යාත්මික සුවයත් සඳහා යන උත්තුංග පරමාර්ථයෙන්ය. 2017 වසරේදී අනුරාධපුර පුරානගම විහාරයේ සිතුවම්කරණයෙන් විහාර බිතුසිතුවම්කරණයට පිවිසෙන ඇය දැන් ඒ ගමනේ සන්ධිස්ථානයකට පැමිණ සිටින්නීය. හන්තාන සඳගිරි මහා ස්තූපයේ ගර්භය සිතුවමින් වර්ණ ගන්වමින් සිටින මොහොතේදී ඇය ඒ අතීත වර්තමාන කතාව පෙළගැස්සුවේ මෙහෙමය.

‘‘විහාරයක සිතුවම් කිරීම කාලයක් පුරා මගේ හිතේ තිබුණ බලාපොරෙත්තුවක්. මගෙ හිතේ වුවමනාවක් තිබුණා උපතින් ලද කලා හැකියාවෙන් පින් තකා යම් විහාරස්ථානයකට නොමිලේ සිතුවම් ඇද දෙන්න ඕන කියල. ඒ බලාපොරොත්තුව ගැන මම සඳගිරි විහාරයේ විහාරාධිපති හිමියන්ව දැනුවත් කළා. ඉතිං උන්වහන්සේ මට මුලින්ම සාම්පල් පේයින්ටින්ග් එකක් කරල පෙන්වන්න කිව්ව. මන් ගොඩනගා ගත් ඒ නව ශෛලියට උන්වහන්සේ ඇතුළු ඊට සම්බන්ධ පිරිසගේ කැමැත්ත ලැබුණු නිසා එහි වැඩකටයුතු ආරම්භ කළා. මාස දෙකහමාරක ඉඳන් දැන් මම මේ ස්තූප ගර්භයේ සිතුවම් කරනවා.’’ යැයි ඇය තුටු සිතින් කියන්නීය.

සම්ප්‍රදාය ඉක්මවා යමින් සඳගිරිසෑය හැඩකළ සිත්තරාවිය

චාමිණී අනුරාධපුරයේ කලත්තෑවේය. කලත්තෑව පාසලෙන් මුල් අකුරු කියවූ ඇයට චිත‍්‍ර කලාවේ හැකියාව උපතින්ම තිබුණාය. ද්විතීය අධ්‍යාපනය සඳහා අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට ඇතුල්වෙන ඇය එම සහජ හැකියාව වර්ධනය කරගැනීමට තෝරා ගත්තේද චිත‍්‍රකලාවය. ඒ පැමිණි ගමන්මගේ ඕනෑ තරම් අභියෝග බාධක තිබිණ. විහාර බිතුසිතුවම් කලාවේ එතෙක් පැවති සීමා මායිම් තරණය කිරීමේදී කාන්තාවක ලෙස ඇයට පැමිණි අභියෝග ගැන කතාකරනවාට වඩා සඳගිරි සෑය සිතුවම් කරණය අතරතුර පැමිණි අභියෝග ගැන කතා කිරීම තවත් අයෙකුට ප‍්‍රයෝජනවත් විය හැකි නිසා ඇය අපට ඒ ගැනද කීවේය.

ඒ සියලූ බාධක මැද දැන් සඳගිරි සෑයේ ගර්භය බුදු සිරිතෙන් සිතුවම් ගැන්වී ඇත. එම සිතුවම් වර්තමාන විහාර බිතුසිතුවම් වලට වඩා සුවිශේෂී බව ඇයගේ අදහසය. වර්තමානයේ විහාර බිතුසිතුවම් කලාවද වාණිජ කරණයට ලක්ව ඇති බවට චෝදනා කරන ඇය ‘‘විහාර බිතුසිතුවම් කලාවද ප‍්‍රාථමික රසවින්දනයකට ඇද දමා ඇතැයි’’ කියන්නීය.

‘‘වර්තමානයේ බොහෝ විහාර චිත‍්‍ර වාණිජකරණයකට ලක්වෙලයි තියෙන්නෙ. නානාවිධ විචිත‍්‍ර වර්ණ බොහොමයක් යොදාගෙන හරිම ප‍්‍රාථමික රසවින්දනයක් තුළට ජනතාවගේ රසවින්දනය කොටු කරල තියෙනව. බෞද්ධ විහාරස්ථානයකට ඇතුල්වුණාම බෞද්ධයකු වශයෙන් අපි බලාපොරොත්තු වන ආධ්‍යාත්මික සුවය, ශාන්ත රසය වර්තමානයේ විහාර චිත‍්‍ර තුළ හීන වෙලා ගිහින්. නමුත් අනුරාධපුර, පොළොන්නරුව යුග වලට ගියාම අපිට ඉතා වටිනා සම්භාව්‍ය කලාවක් තිබුණ බව මහා සම්ප‍්‍රදායික චිත‍්‍ර ලක්ෂණ සහිත තිවංක පිළිමගේ, සීගිරි සිතුවම් ආදියෙන් පිළිබිඹු වෙනව. ඊට සමකාලීනව ඉන්දියාව, චීනය, ජපානය වගේ රටවලත් මහා සාම්ප‍්‍රදායික ලක්ෂණ සහිතව බිහිවුණු සම්භාව්‍ය බෞද්ධ චිත‍්‍ර කලාවක් ඒ ඒ රටවල් සහ ප‍්‍රදේශ අනුව බිහිවෙලා තිබුණා. බෞද්ධ චිත‍්‍ර කලාව අනෙක් ආගමික චිත‍්‍ර කලාවන් සමග සැසඳීමේදී සංයමයකින් ඇදුණු නිර්මාණ වෙනව. චිත‍්‍ර පමණක් නොවෙයි බෞද්ධ පිළිම කලාව වුණත් ආධ්‍යාත්මික ගුණ පෙරටු කරගෙන සරල බව, අල්පේච්ඡුතාව විදහාදැක්වෙන නිර්මාණයන් කරල තියෙන්නෙ. අනුරාධපුර සමාධි පිළිමය, තොලූවිල ප‍්‍රතිමාව, අවුකන පිළිමය වගේ අග‍්‍රගණ්‍ය නිර්මාණ හරහා ඒක හොඳටම පේනවා. ඉතිං මට අවශ්‍ය වුණේ ඒ ඈත පෙරදිග කලා ලක්ෂණ සහිත බෞද්ධ චිත‍්‍ර කලාව ආයෙත් වර්තමාන ලාංකීය විහාර චිත‍්‍ර කලාව සමග එකතු කරන්න. ඒ වෙනුවෙන් මම දැරූ උත්සාහය කොයි වගේද කියල හන්තාන කඳුමුදුනේ ඉදිවෙන සඳගිරි මහා ස්තූපයේ ධාතු ගර්භය තුළින් හැමෝටම ඉදිරියේදී දැකබලා ගන්න හැකිවේවි.’’

සම්ප්‍රදාය ඉක්මවා යමින් සඳගිරිසෑය හැඩකළ සිත්තරාවිය

ස්වකීය නිර්මාණය ගැන චාමිණී තුළ ඇත්තේ එවැනි උස් බලාපොරොත්තුවක්ය. සඳගිරි විහාර බිතුසිතුවම් නිරීක්ෂණය කළ බොහෝ විද්වතුන්ගෙ අදහස ලංකේය විහාර බිතුසිතුවම් කලාව මේ සමග නවමු ගමනක් ඇරඹෙන බවය. සිතුවම් කලා විචාරකයෙකු සැලකෙන අසේල විතානගේ ශ‍්‍රී ලංකාවේ විහාර බිතුසිතුවම් කලාවේ මේ සන්ධිස්ථානය ගැන දීර්ඝ විස්තරයක් කළේය. මේ ඉන් කොටසකි.

‘‘ලෝකය පුරා ඇති වූ විවිධ සමාජ විපර්යාසයන්ට අනුකූල වෙමින් උගත් සම්භාව්‍ය ශිල්පීන් ලෞකිකත්වයට වඩාත් නැඹුරුව ස්වාධීන ප‍්‍රකාශන සිදු කිරීමට පෙළඹුන ද තවමත් ආගමික කලාකෘති ප‍්‍රතිනිර්මාණය කරමින් ඒ ඔස්සේ උසස් කලා රසයක් ජනනය කිරීමට උත්සාහ ගන්නා කලාකරුවන් නැතිවා නොවේ. චාමිනී වීරසූරිය මෙයට කදිම උදාහරණයක් වේ. මෙරට කලා ඉතිහාසය පෝෂණය වීමෙහිලා බෞද්ධ සංස්කෘතිය ලබාදී ඇති දායකත්වය සුළුපටු නොවේ. මෙරට බෞද්ධ කලාව විවිධ සංස්කෘතික ආභාෂයන් හා තත්කාලීන වෙනස්කම් වලට භාජන වෙමින් මේ දක්වා විකාශනය වී ඇත. ගැඹුරු දර්ශනවාදය, සරල අල්පේච්ඡු ජීවන රටාව, මධ්‍යස්ථ මතවාද හා ප‍්‍රායෝගික ධර්ම මාර්ගය යනාදිය සංකල්ප කොටගත් බුදු දහම ආශ‍්‍රිතව පවත්නා වූ තත්කාලීන විහාර චිත‍්‍ර සැබැවින්ම එම සංකල්ප ප‍්‍රකට කරවන කලා ශෛලියන්ගෙන් බැහැරව පුනරුදය සමග ප‍්‍රකට වූ යුරෝපීය ධනවාදී කලාවේ හා ජනප‍්‍රිය කලාවේ මෙන්ම ඉන්දියානු අලංකරණ කලාවේත් ගොදුරක් බවට වී ඒවායේ බෞද්ධ බව තේමාවට පමණක්ම සීමා වීම ඛේදවාචකයකි. චාමිනී වීරසූරිය විසින් සඳගිරි මහා සෑයේ ඇදි බිතුසිතුවම් ලාංකීය බෞද්ධ කලා ඉතිහාසය තුළ තීරණාත්මක සංධිස්ථානයක් බවට පත් වන්නේ මෙවන් පසුබිමක දීය. ඇය විසින් නැවතත් බෞද්ධ හර පද්ධතියට අනුකූල වන පරිදි බුදු සිරිත හා ඓතිහාසික සිදුවීම් නවතාවයකින් යුතුව සිතුවම් කර ඇත. බහුභාණ්ඩික සමාජයක ගොදුරක්ව අනේකවිධ වර්ණයන්ගෙන් දෙනෙත් උද්දීපනය කිරීමට පෙලඹී තිබෙන වර්තමාන රසිකයාගේ ළාමක අවශ්‍යතාවන්ට නිර්මාණය යටපත් වීමට ඉඩ නොතබා පැරණි ආසියාතික මහා සම්ප‍්‍රදායේ සීමිත සංගත වර්ණ මත සුළලිත රේඛාවෙන් ප‍්‍රතිනිර්මාණය කරන ලද චිත‍්‍ර සමුදාය විවිධ යුගවල මෙරට පැවැති බෞද්ධ කලා ශෛලීන්ගේ නානාවිධ ලක්ෂණවල එකතුවක් වන අතර පෙරදිග කලා විචාරකයන් ආගමික කලා කෘතීන්ගෙන් අපේක්ෂා කරන ලද ශාන්ත රසය හා පහන් සංවේගය ජනනය කිරීමට සමත්ය.

ඇගේ චිත‍්‍ර තුළ ස්ත‍්‍රීත්වයේ ඡායානුවාදී ස්පර්ශය වියන්තල සැරසිලි තුළද රිද්මය ලාලිත්‍යය තුළ ද, මල් ආදිය භාවිත කිරීම තුළද ප‍්‍රකට වේ. ජිනවංශය, පූජාවලිය, අමාවතුර, බුත්සරණ ආදී ග‍්‍රන්ථයන්ගේ උත්කර්ෂයට නැංවූ දේවාතිදේව, බ‍්‍රහ්මාති බ‍්‍රහ්ම, බුදුහිමිගේ අරහං බුදු ගුණය, ශ‍්‍රද්ධාවෙන් ඔදවැඞී ගිය දිව්‍ය බ‍්‍රහ්ම සමූහය මධ්‍යයේ නිරූපිත ශාන්ත බුදු රුව මගින් ප‍්‍රකාශිත ය. ගතානුගතිකව නිර්මාණකරණයෙන් අතික‍්‍රමණය කොට නවතාවයකින් පේ‍්‍රක්ෂකයා ප‍්‍රබෝධමත් කිරීමට බුදු හිමිගේ ලංකා ගමනය, දළදාගමනය ආදී සිදුවීම් මෙරට පේ‍්‍රක්ෂකයාට ආගන්තුක විශේෂ ආකාරයෙන් ඉදිරිපත් කිරීමට ඇය සතු කලා ඉතිහාස දැනුම උපයෝගී වූවා නොඅනුමානය. ශාන්ත රසය ශ‍්‍රද්ධාව ජනිත කරවන චිත‍්‍රයෙන් මෙම නැවුම් ප‍්‍රකාශනය කලා රසය හඳුනන රසිකයාගේ සිත් තුළ හදවත කිතිකවන සුලූ රසයක් ප‍්‍රකට කරවයි. ’’

මෙවැනි විචාර වලින් ඇගයීමට ලක්වන මේ සිත්තරාවිය විහාර සිතුවම්කරණයෙන් පමණක් සෑහීමකට පත්ව හිඳින්නියක් නොවේය. ඇය පසුගිය කාලය පුරා ඉන්දියවේ මහාරාෂ්ට ප‍්‍රදේශයේ වැඩිදුර අධ්‍යාපනය ලබන අතර තුරේදී සිතුවම්කරණයෙන් බුදු දහම ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක නියැළුනාය. ‘‘ලාංකිකයෙක් විදිහට චිත‍්‍රකලා ඉතිහාසය තුළ ජාත්‍යන්තර සලකුණක් තියන්නට මම හීන දකිනවා’’ අවසානයේ ඇය අපට කීවාය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment