සම්ප‍්‍රදායෙන් පිට පැන ලුණු සංස්ථාව විවිධාංගීකරණය කරනවා – ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ සභාපති

200

– නීතීඥ නිශාන්ත සඳභරණ

ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ පාඩු අවමකර, එම සමාගම ලාභ ලබන තත්ත්වයට පත්කිරීම හා කාබනික පොහොර නිපදවීම ඇතුළු නිෂ්පාදන විවිධාංගීකරණයකට ලක්කිරීමේ කටයුතු පිළිබඳව හම්බන්තොට ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥ නිශාන්ත සඳභරණ මහතා සමග කරන ලද සාකච්ඡාවකි.

සම්ප‍්‍රදායෙන් පිට පැන ලුණු සංස්ථාව විවිධාංගීකරණය කරනවා - ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ සභාපති



ප‍්‍රශ්නය—: – ලංකා සෝල්ට් ලිමිටඞ්…එහෙමත් නැතිනම් රජයේ ලූණු සමාගම පූර්ණ රාජ්‍ය සමාගමක්. මෙහි වර්තමාන තත්ත්වය කොහොමද….? ලාභ ලබනවාද…? පාඩු පිට ද දුවන්නේ…? පාඩුයි නම් එහෙම වුණේ ඇයි…? ලාභ ලබන්න….එහෙමත් නැතිනම් පාඩු අවම කරන්න නව සභාපතිවරයා හැටියට ඔබ ගෙන ඇති පියවර මොන වගේද…?

පිළිතුර  – මම සභාපතිවරයා හැටියට වැඩ භාරගන්නකොට ආයතනය කෝටි 25කට අධික අලාභයක් ලබා තිබුණා විතරක් නෙමෙයි, ණය පහසුකම් මත මිලදී ගෙන තිබුණු පොලිතීන්, රැහැන් යනාදී බොහෝ දේවලටත් මිලියන ගණනක් ගෙවන්නත් තිබුණා. රුපියල් මිලියන 340කට අධික ණය මුදලක්. බැංකු ශේෂය හැටියට තිබුණෙ මිලියන 144 කටත් අධික අයිරාවක්. මේ වනවිට එය මිලියන 330කටත් අධික තැම්පතුවක් වෙලා තියෙනවා. අද දවස වෙනකොට ආයතනය මිලියන 90කට ආසන්නව ලාභයක් ලබල තියෙනවා. ඒත් තවම අපේ මුදල් වර්ෂය අවසානත් නැහැ. මේ වසර අවසානයේදී මම විශ්වාස කරනව මිලියන 100 ඉක්මවන ලාභයක් ලබාගන්න පුළුවන් වෙයි කියල. ඒ වගේමයි කිසි කාලෙකවත් නොතිබුණු විකුණුම් ඉලක්ක කරා යෑමටත් අපිට හැකියාව ලැබිල තියෙනව. දැනට මේ සියල්ල ලාභ ගත්තෙ සාම්ප‍්‍රදායිකව ලූණු නිෂ්පාදන කටයුත්තෙන් පමණයි. ඒත් මම නුදුරු අනාගතයේදී හඳුන්වාදීමට නියමිත නව සැලැස්ම ක‍්‍රියාත්මක වෙද්දී මේ ලාභය මීට වඩා හතර පස් ගුණයකින් වැඩි වෙනව අනිවාර්යයි.

සම්ප‍්‍රදායෙන් පිට පැන ලුණු සංස්ථාව විවිධාංගීකරණය කරනවා - ලංකා සෝල්ට් රාජ්‍ය සමාගමේ සභාපති

ප‍්‍රශ්නය :- රජයේ ලූණු සමාගමේ ඉතිහාසය කොයි වගේද……?

පිළිතුර: – අද අපි හඳුන්වන ලංකා ලූණු සමාගම, 1938 වගේ කාලෙ ලූණු දෙපාර්තමේන්තුවක් හැටියටත්, 1956 වගේ කාලෙක සංස්ථාවක් හැටියටත් පසුව ලූණු සමාගම හැටියටත් රටට වගේම ලෝකයටත් ලූණු සපයල තියෙනව. නමුත් මා කියැවූ පොත්පත්වල සඳහන් වෙච්ච විදියට මගේ රට චීනය වැනි රටවල් සමඟ සම්බන්ධ වෙලා තියෙන්නෙ අපේ ලූණු ලේවාය හරහා තමයි. වෙනත් ආකාරයකින් කීවොත් අනෙක් රටවල්වල කොතරම් ලූණු නිෂ්පාදනය කළත් හම්බන්තොට ලූණු ලේවායේ ලූණුවලට විශේෂ ඉල්ලූමක් විදේශ වෙළෙඳපොළේ තිබිල තියෙනව අතීතයේදී.

ප‍්‍රශ්නය : – හැමෝම ලූණු කන රටේ ඇත්තට ම ලූණු සංස්ථාව පසුගිය කාලයේ පාඩු ලැබුවේ ඇයි…?

පිළිතුර : -ඇත්තට ම හැමෝම ලූණු කන රටක ලූණු ලේවායක් පාඩු වෙන්න විදියක් නෑ තමයි. ඒත් හොඳටම වහින දේශගුණයක් මාසයකට ආසන්නව පැවැතියොත් ලේවාය ඒ අවුරුද්දේ පාඩු වෙන්න පුළුවන්. ඒ අතර අනවශ්‍ය වියදම් කපා නොහැරීම හා අධික දූෂණය වගේ කාරණාත් ඊට බලපාල තිබුණ බව පේනව. මොකද පහුගිය කාලෙත් මිලි මීටර් 40 කටත් එහා වර්ෂාපතනයක් අනුබද්ධ ලේවාය තුනට ම (හම්බන්තොට මහ ලේවාය, බූන්දල ලේවාය, පලටුපාන ලේවාය) ලැබිල තිබුණත් උපක‍්‍රමශීලීව අපි ඒවාට මුහුණදීපු නිසාත් සේවක කැපවීම් නිසාත් අද වෙනකොට අපේ සමාගම ලාභ ලබල තියෙනව.

ප‍්‍රශ්නය : – ලූණු සමාගම හුදෙක් ලූණු නිපදවීමෙන් ඔබ්බට ගොස් නිෂ්පාදන විවිධාන්ගීකරණයකට ගෙනියන්න ඔබ කටයුතු කරමින් ඉන්නවා. ඒ කොහොමද…?

පිළිතුර :- ඇත්තට ම ලූණු කියන්නෙ මූදු වතුරෙ තියෙන සෝඩියම් හා ක්ලෝරීන් කියන සංඝටක දෙක විතරක් ස්ඵටිකීකරණය කරවල ගන්න ඵලයක් විතරයි. ඒත් මුහුදු වතුරෙ ආවර්තිතා වගුවෙ තියෙන අනෙකුත් සියලූ සංඝටක තියෙනව. වෙනත් විදියකින් කීවොත් ඒ ඒ සංඝටක වෙන්කර ගනිමින් අරම්භ කරන්න පුළුවන් කර්මාන්ත විශාල සංඛ්‍යාවක් තියෙනව. තවත් විදියකින් කීවොත් මේ වනවිට විදේශයන්ට ගෙවන විශාල මුදලක් ඉතිරි කරගන්න මගේ රටට පුළුවන් . උදාහරණ හැටියට අපි තවමත් අපේ ලේවායන්වල ඉබේම නිෂ්පාදනයවන ‘‘ජිප්සම්”වලින් plaster of paris ච්රසි නොහදා විශාල මුදලක් දීල පිටරටින් ගෙන්වනව. අඩුම ගානේ මුහුදු වතුරෙ තියෙන හයිඩ්‍රොක්සයිඞ් අයන ප‍්‍රයෝජනයට ගන්නෙත් නැතිව අපි සාමාන්‍ය ව්‍යවාහාරයේ කෝස්ටික්සෝඩා හැටියට හඳුන්වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඞ්වත් පහසුවෙන්ම ලේවායක නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දී එවැනි කර්මාන්තයක්වත් කරන්නෙ නෑ. මේ එක දෙකක් විතරයි. තව බොහෝ කර්මාන්ත රට වටා මුහුදු ජලය උපයෝගී කරගෙන ආරම්භ කරල විදේශයන්ට පොම්ප කෙරෙන මහා ධනස්කන්ධය නතර කරන්නත් නව රැකියා අවස්ථාවන් බොහොමයක් හඳුන්වා දෙමින් දේශපාලනික ගැටලූවකට පිළිතුරු සපයන්නත් විතරක් නෙමේ විශාල විදේශ මුදලක් රටට ගෙන්වා ගන්නත් පුළුවන්. බලන්න එතකොට මගේ රටේ දියුණුවට ලේවායක බලපෑම කොයිතරම් ද කියල.

ප‍්‍රශ්නය :- ලූණු නිපදවා ඉවත් කෙරෙන බිටර්න් ද්‍රාවණයෙන් තවත් වැදගත් නිෂ්පාදන කිහිපයක් හඳුන්වා දීම සඳහා ඔබ මේ වනවිට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබුණා….

පිළිතුර -: බිටර්න් ද්‍රාවණය කියන්නෙ හරියට තලප ආනම වගේ දෙයක්. ඒකෙ පොහොර ගතිය, අධික සාංඝටික තත්ත්වය යනාදියෙන් අධික වශයෙන් සංතෘප්ත ද්‍රාවණයක්. දැනට අපි මේ ද්‍රාවණය නැවත මුහුදට ම දානවා. අපි දැනටමත් කරන ලද පරීක්ෂණ අනුව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මේවා යොදා ගතහැකි බවට ඔප්පු වෙලා තියෙනවා. එහෙම අපේ පරීක්ෂණ සාර්ථක වුණොත් අනාගතයේදී මෙතෙක් ලේවායකින් සිදු නොවුණු අපූර්ව යමක් කරන්න ලංකා ලූණු සමාගමට හැකි වේවි. දැනට අපගේ පරීක්ෂණ පිළිබඳව රහසක් ලෙස තබා ගන්නම්.

කෙසේ හෝ රටට අවශ්‍ය වෙනත් මූලද්‍රව්‍යමය දේවල් (උදාහරණ ලෙස මැග්නීසියම්) බොහොමයක් නිස්සාරණය කරන්න අපි දැනටමත් වැඩසටහන් දියත්කරලා තියනවා.

ප‍්‍රශ්නය : – ආටීමියා, එහෙමත් නැතිනම් ඉස්සන් ගොවිපළ සඳහා යොදාගන්නා….දැනට බහුලව පිටරටින් ආනයනය කරන ස්වභාවික ඉස්සන් ආහාරය ඔබ ආයතනය මගින් යම් කොටසක් නිපදවනවා. එම කර්මාන්තය තවත් වර්ධනය කරන්න ඔබ පියවර ගෙන තිබෙනවා නේද…?

පිළිතුර :- ආටීමියා දැනට නිෂ්පාදනය කරන්නෙ අප පමණයි. ඒත් මගේ රටේ අවශ්‍යතාවයෙන් 40% ක් විතරයි. ග‍්‍රෑම් 150ක ටින් ඇසුරුමක් රුපියල් 1700ක වැනි මුදලකට අපි සමාගමෙන් ටින් එකක් අලෙවිකර සමාගමට අදායම් ලබාගන්නවා. අපට පුළුවන් මේ සඳහා විශේෂ අවදානයක් යොමුකොට නිෂ්පාදනය වැඩි කරන්න. ගරු බැසිල් රාජපක්ෂ අමාත්‍යතුමන් මේ සඳහා අපව විශේෂයෙන් දැනුවත් කරල කියා සිටියේ නාරා ආයතනයත් අනෙකුත් ලේවායනුත් සම්බන්ධ කරගෙන ආටීමියා කර්මාන්තය පුළුල් කරල, ඒ තුළිනුත් විදේශයනට යන මුදල ඉතිරි කරගෙන ඉන්පසුව විදේශ වෙළෙඳපොළට අපගේ නිෂ්පාදනය අලෙවි කරන්න බලන්න කියල. ඒකත් අපි ආරම්භ කළා. දැනටමත් අක්කර 10ක විතර ආටීමියා වගා වපසරියක් අප නඩත්තු කරනවා.

ප‍්‍රශ්නය : – මේ සියල්ලත් සමග සාම්ප‍්‍රදායක ලූණු ලේවාය නමින් හඳුන්වපු අපගේ කර්මාන්තය අනාගතයේදී වෙනත් විවිධාන්ගීකරණ මධ්‍යස්ථානයක් බවට පත්වේවිද….?

පිළිතුර :- ඇත්තට ම කල්පනා කරල බැලූවොත් ලූණු මිදෙන කාෂ්ටක අව්ව ශක්ති ප‍්‍රභවයක්. අපි පාත්තිවලින් ගේන ලූණු අට්ටි වහන්නෙ විශේෂ පොලිතීන්, රැුහැන් හා පොල් අතු යොදා ගෙන. ඒවාට වසරකට මිලියන 32කට අධික මුදලක් වැය වෙනව. ඒ වෙනුවට මේ ලූණු අට්ටි ස්ථිර වහලකින් වසා දමා ඒ වහලයන් මත සූර්ය පැනල සවිකළොත් මෙතෙක් වියදම් කළ පෙර කී මිලියන 32ක මුදල පමණක් නොවෙයි, මසකට මිලියන 2කට අධිකවන විදුලි බිලත් ඉතිරි කරගෙන යම් ලාභයකුත් ලබන්න පුළුවන්. දැන් බලන්න මේවා නොකිරීම තුළ ලබන පාඩුව හා කළොත් ලබන ලාභය. එහෙම වුණොත් කවමදාකවත් ලංකා ලූණු සමාගම අලාභ ලබන්න හේතුවක් නෑ. එහෙම වුණොත් සේවකයින්ට තව බෝනස්, වැඩි පඩි යනාදී කොතෙක් දේ ලබා දෙන්න පුළුවන් ද? මේවා සියල්ල කළ හැකි දේවල් වගේම සෞභාග්‍යයේ දැක්ම තුළ කියපු දේවල්. මට වගකීමක් තියෙනව මේව ඉටුකරන්න. මේ කරමින් ඉන්නේ ඒ කටයුතු තමයි. විශ්වාසයෙන් කියන්නේ… තවත් ටික කලකින් ලූණු ලේවාය කියන එක තවත් ආර්ථික, සමාජමය මධ්‍යස්ථානයක් බවට පත්වේවි.

අතීතයේදී අපි කෑමට ගන්නා ලූණු අයඞීන් හෝ කිසිවක් මිශ‍්‍ර නොකර පොල් කට්ටෙ දමාගෙන කෑවා. පස්සෙ කාලෙක ඒකට අයඞීන් මිශ‍්‍ර කළා. පසුව කුඩු කළා. මින් පස්සේ ජ්‍යාත්‍යන්තර ඉල්ලූම වෙන්නෙ මේ කිසිවක් නොවෙයි. 100% ක්ම වැලි අංශුවක්වත් නැති විශේෂිත ක‍්‍රමයකට හදන රික්තක (Vacum Salt) ලූණු. ඒවා ටිකක් මිල අධිකයි. නමුත් පිරිසිදුයි. අපට පුළුවන් මේ මිලට ම ආසන්න මුදලකට ඒවා නිෂ්පාදනයකොට පාරිභෝගිකයිනට ලබා දෙන්න. එහෙම වුණොත් ඒ සඳහා විදේශ වෙළෙඳපොළ තුළ විශාල ඉල්ලූමක් තියෙනවා. මේ තරම්ම විනිවිද පෙනෙන වීදුරුවක් වගේ වෙළෙඳපොළ හා රැුකියා උත්පාදන අවස්ථා බහුල වගේම රට වටේටම කිසිදා නොසිඳෙන සම්පත් ආකරයක් තියෙන රටක් ලෝකයේ තියෙනවා දැයි සැකයි. මම මෙහෙම කීවම ඔබ ප‍්‍රශ්න කරාවි අපේ වගේම තවත් රටවලත් මුහුද මායිම්වෙලා තියෙනව නේද කියල. ඔව්, ඒත් මගේ රටේ වුණත් එක් එක් වෙරළ තීරයන්ගේ සංඝටක එක් රැුස්වීම විවිධාකාරයි. ඒක හොඳින්ම පේනවා සමහර මුහුදු වෙරළ එක එක පාටයි. සමහර තැන් අපිරිසිදුයි. ඒත් හම්බන්තොට මුහුදු වෙරළ සුවිශේෂ වන්නේ මේ වෙරළ හැමදාමත් පිරිසිදුයි. ඒ කතාව බොරුවක් නෙමේ. ලංකාවේ පිරිසිදුම වෙරළ තියෙන්නේ හම්බන්තොට. හොයල බලන්න. එක්ස්ප‍්‍රස් පර්ල් නැව අනතුරට ලක්වුණත් හම්බන්තොට ට බලපෑවේ නෑ. ඒ නිසා මේ ආශ‍්‍රිත හම්බන්තොට ලේවායේ ලූණුවල ගුණාත්මකභාවයට හේතුවත් ඒකයි.

ප‍්‍රශ්නය : – ඔබගේ නායකත්වයෙන් පසුව ලූණු සංස්ථාව දැන් පාඩු අවම රජයේ ආයතනයක් බවට පත්වෙලා. ලූණු කර්මාන්තය නඟා සිටුවා, ලූණු සමාගම නඟා සිටුවන්න ඔබ අලූතෙන් භාවිතකරන උපක‍්‍රම මොනවාද….?

පිළිතුර :- අපි වහාම වැරදි සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් බැහැර වෙලා නවීණ තාක්‍ෂණය යොදා ගත යුතුමයි. අනික ලූණුවලට අගය එකතු කළ නිෂ්පාදනයන්ගෙන් අපේ ලූණු වර්ගීකරණයෙන් ඒ ඒ වෙළෙඳපොළට යැවීමට කටයුතු කළ යුතුයි. ඖෂධ නිෂ්පාදනය සඳහා විශේෂයෙන්ම යොදා ගනු ලබන ලූණු තවමත් අප නිෂ්පාදනය කරන්නෙ නෑ. ඒ වගේම උණ බට තුළ අධික උෂ්ණත්වයට රත්කොට නිෂ්පාදනය කෙරෙන ‘
”bamboo salt˜  වැනි දෑ අපි නිෂ්පාදනය කරන්නෙ නෑ. ඒවා අපේ වගේ රටකට අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප‍්‍රමාණයෙන් වුණත් ඒවා සියල්ල සම්පූර්ණ ලේවායක තිබිය යුතුයි. එවිට අපි ජ්‍යාත්‍යන්තරය ජයගත් අය වෙනවා. මේ සියල්ලට ජ්‍යාත්‍යන්තර ඉල්ලූම තියෙනවා. මගේ රට ඉස්සරහට යන්න නම් ලෝකය තුළ අපිට සෑම දෙයකින්ම පිළිගැනීමක් තියෙන්න ඕනේ. අවශ්‍ය වෙන්නෙ සභාපතිවරයා හැටියට මම තනිව සියල්ල දැන ගැනීම නොවෙයි. ඇතුළෙත්, පිටත් දන්න අය සිටිනා බව දැනගෙන ඒ අයගේ ඒ වටිනා සේවය අගය කරමින් ඔවුන් දිරිමත් කරමින් ඔවුනට ඒ සඳහා පහසුකම් දෙමින් නායකත්වය දෙන එකයි. අද ලංකා ලූණු සමාගම ලාභ ගත්තෙ එහෙමයි.

ප‍්‍රශ්නය x- පාරිසරික සංචාරක ව්‍යාපාරය ඔස්සේ ආදායම් උපදවන්න හා සංචාරක පහසුකම් සලසන්න ඔබ ආයතනයේ සූදානමක් තිබෙනවා නේද…?

පිළිතුර x- ඔව්. විශේෂයෙන්ම යාල ජාතික වනෝද්‍යානයට ආසන්නව ම පිහිටි අපගේ පලටුපාන ලේවාය ඉතා සුන්දරම වනරොදක්, ඒ වගේම වැදගත් වෙරළාශ‍්‍රිත තෙත්බිමක්. ස්වභාවික පරිසර පද්ධතියේ සුන්දරත්වයට ආසකරන සංචාරකයින් විශාල ප‍්‍රමාණයක් ඒ අවට අනවසර භූමි තුළ ඇතැමුන් විසින් අටවා ගත්ත නවාතැන්පළවල සිදුකරන පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයේ පහස ලබනවා. මේ අනුව කාලයකට මේ නවාතැන්පළ හිමියන් ඉතා අධික ලාභයක් ලබනවා. අපට හොඳින්ම අපගේ ලේවායේ ලූණු නිෂ්පාදනය සඳහා යොදා නොගන්නා වන පරිසර පද්ධතිය තුළ ලෙහෙසියෙන්ම කළ හැකි හා ලාභ ලැබිය හැකි මේ පාරිසරික සංචාරක කර්මාන්තයට යොමුවන්න අපගේ වැඩපිළිවෙළක් තියනවා. ඒ වගේම මේ ඔස්සේ තවත් රැුකියා විශාල ප‍්‍රමාණයක් උත්පාදනය වේවි. එසේම, බුන්දල ලේවාය තුළ ඉතා අගනා රුක් සංචාරක නිවාසයක්  (Tree House) ඇතුළු සංචාරක නිවාස අපට තියනවා. සංචාරක කුරුල්ලන් නරඹන්නන්ට පහසුකම් සැපයීම වැනි දේ ගැනත් අපි කල්පනා කරලා තියනවා. ඒ සඳහා රට, ලෝකය හරියන්න ඕනේ. එතකං අපි ලූණු නිෂ්පාදනය, අගය වැඩිකිරීම, තවත් නිෂ්පාදන වෙත යෑම, කාබනික පොහොර නිෂ්පාදනය වැනි අලූත් සංකල්ප කිහිපයක් අප ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නව.

සාකච්ඡාව – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – වාසල සේනාරත්න
 

advertistmentadvertistment
advertistmentadvertistment