සම්බුදු තෙමඟුල බැති සිතින් සමරමු

141

වසරක් තුළ උදාවන දොළොස් පොහොය අතරින් සුවිශේෂම පොහොය ලෙස සලකනු ලබන්නේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි.

සිදුහත් කුමරුන්ගේ උපත, සිදුහත් බෝසතුන්ගේ බුද්ධත්වය හා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යන බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිදුවීම වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී සිදුවූ නිසා බොදු ජනතාව එය සමරනුයේ මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියකින් යුක්ත වූ උත්සවශ්‍රීයකිනි.

ක්‍රි.පූර්‍ව 623දී සුද්ධෝදන රජතුමාටත් මහාමායා දේවියටත් දාව සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූයේ ලුම්බිණි සල් උයනේදීය. සැප සම්පත්වලින් සපිරි දිවියක් ගත කළ සිදුහත් කුමරු විසිනව වැනි වියේදී තම බිසව වූ යශෝදරා දේවිය හා පුතු වන රාහුල කුමරු හැර දමා මහාභිනිෂ්ක්‍රමණය කර නොයෙක් ගුරුවරුන්ගෙන් ශාස්ත්‍රයන් හැදෑරුවද ඒවා සඵල නොවන කල්හි තමන් විසින්ම නිවන අවබෝධ කරගැනීම උදෙසා මැදුම් පිළිවෙත අනුගමනය කරමින් සිත දිරිමත් කරගත්තේය.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනකදී බෝසතාණන් වහන්සේ සේනානිගම නුගරුක මුල වැඩ සිටියදී උන්වහන්සේගේ පැතුම ඉටුවේවායි ප්‍රාර්ථනා කරමින් සුජාතා සිටුදුව කිරිබත් තලියක් පූජා කළාය. එම කිරිබත් වැළඳූ සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල වැඩහිඳ බුද්ධත්වය නොලබා මෙතැනින් නොනැඟිටිමියයි අධිෂ්ඨාන කළහ.

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ හතළිස් පස් වසරක්ම සියලු ලෝවැසියන් වෙත දහම් දෙසමින් ඔවුන්ගේ යහපත වෙනුවෙන් කැපවුණු බුදුරජාණන් වහන්සේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයකදී රජගහ නුවර සිට කුසිනාරා නුවර තෙක් පාගමනින් වැඩම කොට මල්ලව රජ දරුවන්ගේ උපවත්තන නම් සල් උයනේදී පිරිනිවන් පෑ සේක.

බුදුරජාණන් වහන්සේ සුවහස් කල්පයකට පෙර සුමේධ නම් තාපසයකුව උපත ලබා සිටියදී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් සම්බුද්ධත්වය සඳහා නියත විවරණ ලබා ගත්තේද වෙසක් පුර පසළොස්වක පෝය දිනකදීය.

අවුරුදු එකසිය විස්සක් ආයු වැළඳූ ආනන්ද මහ රහතන් වහන්සේගේ පිරිනිවන් පෑම සහ මානයෙන් උදම් වී සිටි සුද්ධෝදන රජු ඇතුළු නෑදෑ පිරිසගේ සිත් නිවනු පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත ධර්මය දේශනා කර එහිදී යමාමහ පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක දිනයකදීය.

ලංකා ගමනයන්හිදී දෙවැනි වරට නාගදීපයට වැඩි බුදුරජාණන් වහන්සේට කැලණියට වඩින ලෙසට මණිඅක්ඛිත නාරජු විසින් කළ ආරාධනය පිළිගත් බුදුරජුන් තුන්වෙනි වරට කැලණියට වැඩම කරන ලද්දේ උතුම් වූ වෙසක් පෝය දිනකදීය.

ලාට රට සිංහපුරයෙහි සිංහබාහු රජතුමාගේ පුත් විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලංකාවට වෙසක් පෝය දිනයකදී පැමිණීම හේතුවෙන් ලක් දිවයිනෙහි සිංහල ජාතියේ සමාරම්භය සිදුවිය. ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ කැපවීම මත බුදුදහම උරුම කරගත් ලංකාවේ රජකම් කළ දෙවන පෑතිස් රජතුමා බුදුදහම වැළඳගත් බැවින් ධර්මාශෝක රජතුමා විසින් තිළිණ කරන ලද පඤ්ච කකුධ භාණ්ඩයන් සමඟ ද්විතීයාභිෂේකය ලැබුවේද වෙසක් පුර පසළොස්වක දිනයකදීය. ශ්‍රී ලංකාවේ රජ කළ සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකයන්ද සිදුකර ඇත්තේ වෙසක් පුර පසළොස්වක පෝය දිනයන්හිදීය. උත්සවශ්‍රීයෙන් බැබළෙන සිරිපා වන්දනා සමය අවසන් වීමද, රුවන්වැලි මහසෑයට මුල්ගල් තැබීමද, ලක්දිව සොළොස්මස්ථානවල සම්බුදු පාදස්පර්ශය ලැබීමද වෙසක් පුර පෝය දිනයකදීම සිදුවිය.

සීල වැඩසටහන්, භාවනා වැඩසටහන්, සදහම් දේශනා, පිරිත් දේශනා, බෝධි පූජා, පහන් පූජා, මල් පූජා ආදී දානමය පින්කම්, දන්සැල් පැවැත්වීම, පෙරහැර පැවැත්වීම, සිරිලක පුරාම පැවැත්වෙන අතර සෑම නිවසක් නිවසක් පාසාම විසිතුරු වෙසක් කූඩු ප්‍රදර්ශනය වන අතර නගරයන්හි ජාතක කතා උපයෝගි කරගත් විශාල තොරණ ඉදිකිරීම, විදුලි බුබුළුවලින් මඟ දෙපස ආලෝකවත් කිරීම, සෑම වීථියක් පාසා බෞද්ධ ධජ පතාක ලෙලදීම තුළින් සිරිලක්වාසීන් ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා පවත්වමින් උදාකරගනු ලබනුයේ අති උතුම් සම්බුදු තෙමඟුල් අසිරියකි.

බුදු සසුන ලොව බැබලේවා!

දඩල්ල වාළුකාරාම වෙහෙරවැසි,
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

සංස්කරණය – සුසිල් ජයකොඩි
0722081522

advertistmentadvertistment
advertistmentadvertistment