සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ අග‍්‍රගණ්‍ය සාහිත්‍යධරයා – ෆ්යදෝර් දොස්තොයොව්ස්කි – Fyodor Dostoevsky

283

නවකතාව හා කෙටිකතාව පමණක් නොව මුළු සාහිත්‍යයම සැලකිය යුත්තේ ජීවිතය විවරණය කිරීමක් ලෙසය. සාහිත්‍ය ඉතිහාසය සැලකිය යුත්තේ ඈත පුරාණයේ සිට මිනිසුන් ජීවිතය වටහාගත් සැටි කියාපාන කතාවක් ලෙස යැයි කිවහොත් එය ද නිවැරදි ය. සාහිත්‍යය යනු පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ඥාන සම්භාරයකි. එසේ හෙයින් සාහිත්‍ය රසය විඳින්නා තමා ජීවත් වන පරිසරයේ උපන් සාහිත්‍යය ඇසුරු කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ලෝකයේ නොයෙක් දේශයන්හි උපන් සාහිත්‍ය ග‍්‍රන්ථ ඇසුරු කිරීමම වටී.

කරුණු එසේ බැවින් ලෝක සාහිත්‍යය තුළ අද්වීතීය කීර්තියක්  හිමිකරගන්නා සම්භාව්‍ය රුසියානු සාහිත්‍යය පිළිබඳව මෙරට පාඨක අවධානය යොමුවිය යුතු යැයි සිතේ. රුසියානු භාෂාවේ නම් ගම් ආදිය උච්චාරණය කිරීමට ඇති අපහසුව නිසාම සිංහල භාෂාවට පරිවර්තනය වන ශ්‍රේෂ්ඨ රුසියානු ග‍්‍රන්ථයක් කියවීමට පවා බොහෝ දෙනා මැලිකමක් දක්වති. කෙතරම් පොතපත කියවා තිබුණත් රුසියානු සාහිත්‍යය මඟහැරී ඇත්නම් එය කිසිදු අයුරකින් පිරිමසාගත නොහැකි අඩුපාඩුවක් බව කිව යුතුය. සම්භාව්‍ය රුසියානු සාහිත්‍යය එතරම් වටී. මනුෂ්‍යයා කෙරෙහිත් මනුෂ්‍ය ජීවිතය කෙරෙහිත් රුසියානු ගත්කතුවරුන්ට තිබූ ගැඹුරු අවබෝධය විස්මයජනකය. මනුෂ්‍ය චිත්ත සන්තානයේ ඉතා සියුම් තැන් පවා මධ්‍යස්ථ දෘෂ්ටිකෝණයකින් විචාරාත්මකව සේම ළ‘ගන්නාසුළු ආකාරයෙන් විග‍්‍රහ කිරීමට රුසියානු ගත්කතුවරු සමත්වූහ.

සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ අග‍්‍රගණ්‍ය සාහිත්‍යධරයා - ෆ්යදෝර්  දොස්තොයොව්ස්කි - Fyodor Dostoevsky

සම්භාව්‍ය රුසියානු සාහිත්‍යයේ අග‍්‍රගන්‍ය සාහිත්‍යධරයා ලෙස හැඳින්වෙන්නේ ෆ්යදෝර් දොස්තොයව්ස්කි ය. ඔහුගේ සාහිත්‍යකරණය අනෙක් රුසියානු ලේඛකයන්ගෙන් බොහෝ සේ වෙනස් වූ සුවිශේෂී එකකි. ෆ්යදෝර් මිහේලොවිච් දොස්තොයොව්ස්කි, මොස්කව් නගරයේ ඉතාමත් දුක්ඛිත දුගී පෙදෙසක පිහිටි රෝහලකදී 1821 දී උපත ලැබීය. ඒ රෝහල දුගීන් සඳහාම වෙන් වූ එකකි. ඔහුගේ පියා යුද හමුදාවේ වෛද්‍යවරයෙකි. දොස්තොය්ව්ස්කිට වයස අවරුදු දහසයේදී ඔහුගේ මව ක්ෂය රෝගයෙන් මියගියාය. මව මියගොස් නොබෝ කලකින්ම එම රෝගයෙන් බාල නැගණියද මියගියාය. නපුරු මිනිසකු වූ දොස්තොයොව්ස්කිගේ පියා ඉතා සුළු දෙයට පවා කෝපයට පත් වී දරුවන්ට තැලූවේය. පියාට ඇති බියෙන් නිවසින් පිටතට නොගිය දොස්තොයව්ස්කි නිවස තුළට වී පොත පත කියෙව්වේය. ප‍්‍රංශ භාෂාව උගත් හෙයින් ඔහු ප‍්‍රංශ නවකතා කියෙව්වේය. පොත පත කියවීමට පුරුදු වූ දොස්තොයොව්ස්කි නිතැතින්ම සාහිත්‍යය කෙරෙහි ඇදී ගියේය. බැල්සැක්ගේ නවකතා පි‍්‍රය කළ ඔහු කළ පළමු සාහිත්‍ය සේවය බැල්සැක්ගේ නවකතාවක් රුසියන් බසට පරිවර්තනය කිරීමය. හෙතෙම කෙටි කලක් ඉංජිනේරු සමාගමක සැලසුම් නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කොට පසුව එය අතහැර දමා සම්පූර්ණ කාලයම පොතපත ලිවීමට යෙදෙව්වේය. එසේ වුවත් පොත පතින් ලැබුණු ආදායම ජීවත්වීමට ප‍්‍රමාණවත් නොවීය. තමා උපන්නේ පොතපත ලිවීමට පමණක් යැයි දැඩිව විශ්වාස කළ දොස්තොයොව්ස්කි කොතරම් දුක් විඳීමට සිදු වුවත් පොතපත ලිවීම හැර වෙන රැකියාවක් කිරීමට කැමති නොවීය.

මේ කාලයේදී තරුණ දොස්තොයොව්ස්කි ”දුප්පත් මිනිස්සුට් (Dead Souls) නමින් නවකතාවක් ලීවේය. රජයේ දිළිඳු ලියන්නකු සහ අසරණ තරුණියක අතරේ පැවති සම්බන්ධය, ඔවුන් විසින් ගනුදෙනු කරගන්නා ලද ලියුම් ඇසුරින් රචනා කරන ලද එම කතාව එතෙක් නොලියවුණු නව සම්ප‍්‍රදායකට අයත් විය. මේ නවකතාව මුද්‍රණය කිරීමට ප‍්‍රථම එකල රුසියාවේ සුප‍්‍රසිද්ධ විචාරකයකු වූ බිලින්ස්කිට ලබාදෙන්නට දොස්තොයොව්ස්කිගේ මිතුරකු වූ නෙක්රාසෝ නම් කවියා කටයුතු කළේය. පසුව තරුණ දොස්තොයොව්ස්කි හමු වූ විචාරකයා ඔහුට පැවසූ දෑ ඔහුගේ වචනයෙන්ම සඳහන් කිරීම උචිත ය.

”කලාකාරයකු හැටියට ඔබ තුළ ඇති සහජ බුද්ධියෙන් යුතුව මේ නවකතාව ලියන්නට ඇති. එහෙත් ඔබ අපට පෙන්වා දෙන භයානක සත්‍යයට හේතුව දන්නවද? අවුරුදු විස්සක තරුණයකු වූ ඔබට මේක අවබෝධයෙන් සිදුවිය හැකි දෙයක්්. මෙහි නියම හරය ඔබ අපට පෙන්වා දී තිබෙනවා. විශේෂඥයන් හා විචාරකයන් වන අපි මේ දේවල් ගැන සිතා බලනවා පමණයි. අපි මේ දේවල් වචනයෙන් විස්තර කිරීමට වෑයම් කරනවා පමණයි. එසේ නමුත් කලාකාරයකු වන ඔබ එක පෑන් පහරින් නියම හරය, නියම ස්වරූපය මවා පෙන්වා තියෙනවා. කෙනෙකුට එය අතින් අල්ලා බලන්න පුළුවනි. වඩා කල්පනා නොකරන පාඨකයාට වුවත් හැමදෙයක්ම එකවර තේරුම්ගන්න පුළුවනි. මේක තමයි කලාවේ ඇති රහස, කලාවේ ඇති සත්‍යය. මේක තමයි කලාකාරයා සත්‍යය වෙනුවෙන් කරන සේවය. කලාකාරයකු වූ ඔබගේ නෙත් ඉදිරිපිට සත්‍යය පෙනී සිටිනවා. ඒ කුසල බලය දායාදයක් වශයෙන් ලැබී තිබෙනවා. එසේ නම් මේ සහජ දක්ෂතාව නිධානයක් රකින්නාක් මෙන් ආරක්ෂා කරගන්න. ඊට අවංක වන්න. එවිට ඔබ ශ්‍රේෂ්ඨ ගත්කතුවරයකු වන්න පුළුවනි.’’

දොස්තොයොව්ස්කි තුළ දළුලමින් තිබූ සුවිශේෂී ප‍්‍රතිභාව මේ විවේචනයෙන් මනාව පැහැදිලි වේ. එකල බිලින්ස්කිට සම කළ හැකි විචාරකයෙක් රුසියාවේ නොසිටියේය. ගත්කතුවරුන් විවේචනය කරමින් අවවාද අනුශාසනා දෙමින් යහමඟ යැවූ බිලින්ස්කිගේ මතය රුසියන් සාහිත්‍ය ලෝකයේ ඒකාධිපති මතය විය.

දොස්තොයොව්ස්කිගේ ”දුප්පත් මිනිස්සු’’ කෘතිය මඟින් පළමුවරට දිළිඳුකම නිසා සමාජයේ පතුළට බැස සිටි අසරණයන්ගේ ජීවිතයේ යථා තතු හෙළි විය. පොහොසතුන්ට වඩා දුප්පතුන් ලබා ඇති ආධ්‍යාත්මික දියුණුව විස්තර විය. දුප්පත්කමින් දහදුක් විඳිනා අසරණ මිනිසුන්ගේ ජීවන තොරතුරුවලින් රුසියානු සාහිත්‍යය පළමුවරට පිරී ගියේය. අනුන්ගේ දුක ශෝකය තමා වෙතට උරාගැනීමේ ශක්තිය ඇති, දුකින් පීඩිත වූවන් කෙරෙහි දයානුකම්පාවෙන් උතුරා ගිය හදවතක් දොස්තොයොව්ස්කි සතු විය. එසේ වුවත් මේ ලේඛකයා මුහුණ දුන් අත්දැකීම් සාමාන්‍ය ඒවා නොවේ. සාමාන්‍ය පුද්ගලයකුට දරාගත නොහැකි බොහෝ අත්දැකීම් රාශියකට තරුණ දොස්තොයොව්ස්කි මුහුණ පෑවේය. ඔහු ජීවත් වූ රුසියානු සමාජය ද නිදහස් මත ප‍්‍රකාශ කළ හැකි එකක් නොවීය. මේ යුගයේදී පුද්ගල නිදහස රුසියානු සමාජය තුළ අතිශයින්ම සීමාසහිත වී තිබුණේ සාර් රාජාණ්ඩුවේ දරදඬු පාලනය හේතුවෙනි.

මේ යුගයේදී රුසියාව දේශපාලනික අර්බුද රාශියකට මැදි වී සිටි අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් රටේ ගැමි ජනතාවද ඉඩම් හිමි රදළයන්ගේ වහලූන් ලෙස ජීවත් වූහ. එසේ වුවත් ක‍්‍රමානුකූලව ඉඩම් හිමි රදළයෝ පරිහානිය කරා ගමන් ගත්හ. ආර්ථික, සාමාජීය හා ආගමික අතින් පමණක් නොව ශිෂ්ටත්වය අතින් ද පිරිහෙන රුසියාව ඉන් මුදාගැනීමට උගත් ජනතාව නොබියව ඉදිරිපත් වූහ. දොස්තොයොව්ස්කි ද පීටර්ස්බර්ග් නුවර තරුණ සංවිධානයකට බැඳී සිටියේය. සෑම සිකුරාදා දිනකම රහසිගතව රැස්වන මෙම පිරිස සාහිත්‍යය, දර්ශනය, සමාජවාදය, ආගම, දේශපාලනය වැනි නොයෙක් අංශ පිළිබඳ සාකච්ඡුා කළහ. එසේ වුවත් මොවුහු රජයට විරුද්ධව කිසිවිටක කුමන්ත‍්‍රණය නොකළහ. තරුණ දොස්තොයොව්ස්කි මේ පිරිසට එකතු වූයේ සාහිත්‍යයට තිබුණු ආශාව නිසාය. 1849 අපේ‍්‍රල් මස 22 වන දින පොලිසිය මෙම සංවිධානය වටලා දොස්තොයොව්ස්කි ඇතුළු අනෙක් තරුණයන් සිරභාරයට ගත්තේය. ආගමත් රජයත් විවේචනය කරමින් බිලින්ස්කි විසින් ලියන ලද ලිපියක් ගැන සාකච්ඡුා කිරීම මේ තරුණයන් විසින් කරන ලද වරද විය. ඒ අනුව මෙම තරුණ පිරිසට මරණ දණ්ඩනය නියම විය. කෙසේ වෙතත් රුසියාවේ සාර් පාලනය හේතුවෙන් ඇති වී තිබුණු පීඩාකාරී වාතාවරණය තුළ ම ශ්‍රේෂ්ඨ ලේඛකයන් පහළ වීම විස්මයජනකය. 1849 දෙසැම්බර් මස 22 වන දින දොස්තොයොව්ස්කි ඇතුළු තරුණයන් පහළොස්දෙනකු වෙඩි තබා මරා දැමීමට නියම විය. එහෙත් අවසන් මොහොතේ දොස්තොයොව්ස්කි ඇතුළු කීපදෙනෙක් ඉන් නිදහස් වූහ. ඒ සිදුවීම දොස්තොයොව්ස්කි සිය සොයුරාට ලියූ ලිපියක මෙසේ සඳහන් කර ඇත.

”දෙසැම්බර් මස 22 වන දින අප සියලූ දෙනාම සෙමෙනොස්කි චතුරශ‍්‍රයට ගෙන යන ලදීමු. එහිදී අපට මරණ දණ්ඩනය ඇතුළත් නිවේදනය කියවා කුරුසිය සිඹින්නට දී මිනී ඇඳුම් අන්දවන ලදී. අනතුරුව වෙඩි තැබීම පිණිස වරකට තුන්දෙනා බැගින් වැට ඉදිරියට ගෙන ගොස් ඒ සඳහා විශේෂයෙන්ම ඉදිකරන ලද වේදිකාවකට නංවා කණුවලට තබා බඳින ලදීමු. මා සිටියේ හයවැනියාටය. වෙඩි තබන ලද්දේ වරකට තුන්දෙනකුට බැවින් මා දෙවන වාරයට අසු විය… මා සමඟ සිටි පෙලස්විච් සහ ඩූරෝ වැළඳගෙන සමුගැනීමට මට යන්තම් අවකාශ ලැබිණි. අන්තිම මොහොතේදී වෙඩි තැබීම නතර කරන ලෙස දන්වමින් හොරණෑව පිඹින ලදී. අනතුරුව රජතුමා විසින් අපට අභයදානය දුන් බව සඳහන් ප‍්‍රකාශය අපට ඇසෙන ලෙස කියවන ලදී..’’

කෙසේ වෙතත් මරණ දණ්ඩනය සයිබීරියාවේ සිර අඩස්සියට පරිවර්තනය විය. වෙනත් අපරාධකාරයන් සහ මිනීමරුවන් සමඟ යදම්වලින් බඳින ලද දොස්තොයොව්ස්කි සයිබීරියාවට යවන ලදී. සයිබීරියාවට යන අවස්ථාවේදී හෙතෙම සොයුරාට මෙසේ ලීවේය.

”මම දුක් නොවෙමි. හැමතැනම ජීවිතය එකම විදියයි. ජීවිතය තියෙන්නේ අප තුළ මිස පිටත නොවෙයි. අප පත්වන විපත් කුමන ආකාරයේ වුවත් අධෛර්ය නොවී ශෝක නොවී මිනිසුන් අතරේ නියම මිනිසකු ලෙස සිටීම තමයි ජීවත් වීම. ඒ තමා ජීවිතයේ පරමාර්ථය. දැන් මට ඒ සත්‍යය අවබෝධ වෙනවා. මේ අදහස මගේ ලේ නහර ගත වී තියෙනවා. මා තුළ අලූත් මිනිසෙක් බිහිවූවා. මා තුළ සැඟවී සිටි මේ මිනිසා, දෙව්ලොව සිට පැමිණි මේ විපත නිසා නොවේ නම් කවදාවත් මතු නොවෙන්නට ඉඩ තිබුණා..’’

දොස්තොයොව්ස්කි අවුරුදු හතරක් සයිබීරියාවේ ගත කළේය. ඒ අවුරුදු හතරේ බිහිසුණුකම විස්තර කරමින් ඔහු ”මළවුන්ගේ නිවසට් නමැති ග‍්‍රන්ථය ලීවේය. සිරගෙයින් පිටවන විට හේ අපස්මාර රෝගියෙක් විය. සිර දඬුවමේ ඉතිරි කාලය ගත කිරීම පිණිස දොස්තොයොව්ස්කි සයිබීරියාවේ ඈත යුද කඳවුරක සාමාන්‍ය සොල්දාදුවකු ලෙස සේවය කළේය. දොස්තොයොව්ස්කිගේ ජීවිතයේ හොඳම කාලය ගෙවී ගියේ සිරකරුවකු ලෙසය. ඔහු අවුරුදු දහයක් සිර දුක් වින්දේය. ”මා කවදාද අන්තිමේදී නිදහස් වන්නේ. සමහරවිට නිදහස වුවමනා නැතිවිට නිදහස ලැබෙන්න පුළුවනි. ලෞකික සැප සම්පතට මා තුළ ආසාවක් නැතිවීම මට ලොකු සැපතකි. මට වුවමනා කරන්නේ කියවීමට පොත්පත්, ලිවීමට ඉඩකඩ සහ දවසින් පැය කීපයක් හුදෙකලාවේ සිටීමටයි.’’ මේ දොස්තොයොව්ස්කිගේ සිතිවිලිය.

1859 දී දොස්තොයොව්ස්කි පීටර්ස්බර්ග් නුවර පදිංචියට පැමිණ සොහොයුරා සමඟ ”කාලය’’ නමින් සඟරාවක් ආරම්භ කළේය. දොස්තොයොව්ස්කි

”මළවුන්ගේ නිවස’’ සහ ”නින්දා හා පීඩා ලද්දෝ’’ නමැති දීර්ඝ නවකතා දෙක කොටස් වශයෙන් සඟරාවේ පළ කළේය. දොස්තොයොව්ස්කිගේ පළමු විවාහය අසාර්ථක විය. ඔහු යළි විවාහ වන්නේ ඇනා ග‍්‍රිගොව්රිනා නම් වූ තරුණ ලඝු ලේඛිකාව සමඟය.

ඇනා මහලූ වියේදී සිය සැමියා ගැන මෙසේ ලීවාය. ”ජීවිතයේ ආලය තරම් වටින දෙයක් නැහැ. ඔබ ඔබේ සැමියා තෝරාගෙන මුළු ජීවිත කාලය තුළම ඔහුට සේවය කළ යුතුයි. අවුරුදු විස්සේදී මම මගේ සැමියා ලෙස දොස්තොයොව්ස්කි තෝරා ගතිමි. දැන් මම අවරුදු හැත්තෑවක මැහැල්ලක්මි. දැන් වුවද මගේ හැම සිතිවිල්ලක්ම මගේ සැමියා සතුය. මා ඔහුගේ සිතිවිලි සතුය. ඔහුගේ පොතපත සතුය. ඔහු මනුෂ්‍යයෙකි. අනෙක් මනුෂ්‍යයන් තුළ ඇති හොඳ නරක ඔහු තුළ ද තිබුණේය. හැම මොහොතක් පාසාම ඔහු තුළ ශ්‍රේෂ්ඨත්වය දක්නට නොතිබුණේය. ඔහු නිතර අසනීප විය. ජීවිතය ගැන කිසිවක් නොදන්නා දරුවකු මෙන් හිතුවක්කාර විය. මගේ සැමියා රාත‍්‍රී දෙක වනතුරු නිදා නොගනියි. එහෙත් ඔහු ඇඳට පැමිණි පසු මා අවදි කරවා මා සමඟ බොහෝ වේලා කතා කරයි. ඔහුගේ සිතිවිලි හා හැඟීම් අවංකව හෙළි කරයි. ඔහුගේ ජීවිතයේ ප‍්‍රීතිමත් කාලය මේ සුළු වේලාවයි.’’

දොස්තොයොව්ස්කි අපස්මාර රෝගියෙකි. ණය බරින් මිරිකී ගිය දුගියෙකි. එපමණක් නොව සූදුවට ඇබ්බැහි වූවෙකි. එසේ වුවත් ඔහුට තමාගේ හදවත තේරුම්ගත් බිරිඳක සිටීම සැනසුමට කරුණක් විය. සූදුවට ඇති ආශාව දොස්තොයොව්ස්කිට වැළඳුණු උමතු රෝගයක් වැන්න. ඔහු විසින් මේ උමතුව අළලා ලියන ලද ”සූදු අන්තුවා’’ (The Gambler) නවකතාවෙන් සූදු කෙළින්නකුගේ මානසිකත්වය වඩාත් හොඳින් විවරණය වෙයි. මේ නවකතාව එතරම් ජනප‍්‍රිය නොවූ නමුත් ”අපරාධය හා දඬුවම’’ (Crime And the Punishment) නවකතාව ජනප‍්‍රිය විය. පසුව පළ වූ ”නිවටයා’’ (The Idiot)  ද එතරම් ජනප‍්‍රිය නොවීය. ”සදාකාලික සැමියා’’ (The Eternal Husband) නමැති නවකතාව ලියා පළ කිරීමෙන් අනතුරුව හෙතෙම ”යක්ෂයෝ’’ (Deamons) නමින් දීර්ඝ නවකතාවක් ලියන්නට පටන් ගත්තේය.

”යක්ෂයෝ’’ රුසියාවේ සමාජවාදය හා ආණ්ඩු ප‍්‍රතිසංස්කරණවලට නොකැමැති අය අතරේ බෙහෙවින් ජනප‍්‍රිය විය. මේ යුගයේදී දොස්තොයොව්ස්කිගේ ජීවිතය යහපත් අතට හැරිණි. ඔහු සූදුව අත්හැරියේය. පොතපතින් ඔහුට සෑහෙන ආදායමක් ලැබුණේය. එසේ වුවත් අවුරුදු තුනක් වයසැති ඔහුගේ දෙවන පුත‍්‍රයා මීමැස්මොර රෝගයෙන් මියගියේය. වැඩිමහල් පුත‍්‍රයා අවුරුදු විසි එකකට වඩා ජීවත් නොවීය. ”සූදු අන්තුවා’’ කතාවෙන් පසු දොස්තොය්ව්ස්කිගේ හැම නවකතාවක්ම ලඝු ලේඛනයෙන් ලියා මුද්‍රණයට පිළියෙල කරන ලද්දේ ඔහුගේ බිරිඳ වූ ඇනා විසිනි. රාත‍්‍රී කාලයේ දී ලෝකය සන්සුන් වූ පසුව ලියන්නට පටන් ගන්නා දොස්තොය්ව්ස්කි නිදාගත්තේ මධ්‍යම රාත‍්‍රියෙන් පසුවය. පසුදා දහවල් එකොළහට පමණ අවදිවන ඔහු දරුවන් සමඟ කාලය ගතකොට අනතුරුව ඇවිදින්නට යයි. පෙරදින රාත‍්‍රියේදී ලියා තිබූ දෙය සවස බිරියට කියවයි. ඇය එය ලියාගනියි. ”මගේ සැමියා සමඟ පොතපත ලිවීම මට මහත් පී‍්‍රතියකි. ඔහුට උපකාර වීම මට මහත් ආඩම්බරයකි. ගත්කරුවාගේ කටින් පිටවන වචන අසන පළමු තැනැත්තා මා වීම මට මහත් පී‍්‍රතියකි.’’ යි ඇනා ලියා තැබුවාය.

ඇනා සැමියාගේ සියලූම පොත් පළකිරීමේ අයිතිය සියතට ගත්තාය. ඉන් පසුව දොස්තොයොව්ස්කිට පෙරට වඩා ආදායමක් ලැබෙන්නට විය. එබැවින් අඟහිඟකම්වලින් තොර වූ ජීවිතයක් ගත කරන්නට ඔහුට හැකිවිය. ගත්කරුවකු වශයෙන් මෙය දොස්තොයොව්ස්කිගේ ප‍්‍රාර්ථනාව විය. තමාගේ හැම නවකතාවක්ම හැම කෙටිකතාවක්ම අංග සම්පූර්ණ කලාකෘතියක් විය යුතු යැයි හේ අදහස් කළේය. ජීවිතයේ අවසාන කාලයේ දී ඔහු දිගු කාලයක් ගනිමින් ”කර්මසෝ සහෝදරයෝ’’ (The Brothers Karamazov) නවකතාව ලිවේ අංගසම්පූර්ණ කලා කෘතියක් නිර්මාණය කිරීමේ අදහසින් මිස මුදල් අපේක්ෂාවෙන් නොවේ. මේ ඔහු විසින් ලියන ලද අවසාන නවකතාවයි. 1881 ජනවාරි මස 28 වන දින රාත‍්‍රියේ මේ ශ්‍රේෂ්ඨ ගත්කතුවරයා අවසන් හුස්ම හෙළුවේය. එදින උදෑසන ඔහු බිරිඳට කතාකොට

”ඇනා මම ඔබට අවංකව මුළු හිතින්ම ආලය කළ බව අමතක කරන්නෙපා. මම සිතිවිලි මාත‍්‍රයකින්වත් ඔබට ද්‍රෝහිකම් කළේ නෑ’’ යි කියා බිරිඳගෙන් ද සමුගත්තේය.

ගත්කතුවරු බොහෝ දෙනෙක් දොස්තොයොව්ස්කි ගැන පොත පත ලියූහ. සමහරුන්ගේ මතය අනුව දොස්තොයොව්ස්කි රට ජාතිය ගැන අනාවැකි පැවසූ අනාගතවක්තෘවරයෙකි. එසේම දොස්තොයොව්ස්කි කිසිම ආත්ම ශක්තියක් නැති අහංකාර පුුද්්ගලයකු ලෙස හෙළා දකින අයද සිටිති. කෙසේ වෙතත් කලාකාරයා ස්වභාවයෙන්ම අහංකාර ය. සමකාලීන කතුවරුන් අතරේ තමාට වඩා උසස් ලේඛකයන් ඇතැ යි කල්පනා කරන ලේඛකයා උත්තමයෙකි.

”කර්මසෝ සහෝදරයෝ’’ නවකතාව පිළිබඳ විවේචනයක් කරන සමර්සෙට් මෝම් නමැති ඉංගී‍්‍රසි ජාතික කතුවරයා දොස්තොයොව්ස්කිගේ චරිත ලක්ෂණ මෙසේ විග‍්‍රහ කරයි. ”දොස්තොයොව්ස්කි අහංකාර විය. අනුන්ට ඊර්ෂ්‍යා කළේය. නිතර කලහ කරගත්තේය. ආත්මාර්ථකාමී විය. නුරුස්නා නපුරු පුද්ගලයෙක් විය. එහෙත් සම්පූර්ණ ඇත්ත එය නොවෙයි. දොස්තොයොව්ස්කි එවැනි අධම නීච පුද්ගලයෙක් නම් සියලූම නවකතාවල ඇතුළත් චරිත අතරින් ඉතාම සිත්ගන්නා චරිතයක් ලෙස සැලකිය හැකි අලෝෂා කර්මසෝගේ චරිතය ඔහුට නිරූපණය කළ නොහැකිය. සොසීමා තවුසා වැනි සාදු චරිතයක් නිරූපණය කළ නොහැකිය. දොස්තොයොව්ස්කි අනුන්ගේ දොස් සොයන්නෙක් නොවීය. මිනිසාට අපරාධ කළ හැකිය. ඒ අතරේ ඔහු තුළ උට්ඨාන වීර්යය, පරාර්ථසේවය, කරුණාව, මෛත‍්‍රිය ආදි යහපත් ගුණාංග ද තිබිය හැකි යැයි දොස්තොයොව්ස්කි සයිබීරියාවේදී පසක් කළේය. දොස්තොයොව්ස්කි තුළ තරම්, ගත්කතුවරයා සහ පුද්ගලයා අතර පවතින විවිධත්වය ඇති වෙනත් අයකු ගැන මට කල්පනා කළ නොහැකිය. එය නිර්මාණ ශක්තියෙන් යුත් කලාකාරයන් තුළ පවතින කුසලතාවක් විය හැකිය. එහෙත් ඒ විවිධත්වය අනෙක් අයට වඩා ගත් කතුවරුන් අතරේ පෙනෙන්නේ ඔවුන්ගේ මාධ්‍යය වචන වන හෙයිනි. එහෙයින් ඔවුන්ගේ කල්ක‍්‍රියාව සහ ඔවුන් ලියන දෙය අතරේ පැවැති වෙනස සහ ගැටුම වඩාත් සංවේගය ඇති කරවයි. ලොවේ නවකතාකාරයන් අතරින් දොස්තොයොව්ස්කි විස්මයජනක නිර්මාණ ශක්තියෙන් යුතුව අග‍්‍රස්ථානයට පැමිණියේ ඔහු තුළ පැවති යහපතින් නොව අයහපතිනි.’’

ලියෝ ටෝල්ස්ටෝයි සහ ඉවාන් ටර්ජිනිව්, දොස්තොයොව්ස්කිගේ සමකාලීන ලේඛකයෝ වූහ. ටෝල්ස්ටෝයිට කෙදිනකවත් දොස්තොයොව්ස්කි හමු වී නැත. එහෙත් දොස්තොයොව්ස්කි මියගිය බව ඇසූ ටෝල්ස්ටෝයි ”මා කවදාවත් දොස්තොයොව්ස්කි දැකලා නැහැ. ඔහු සමඟ මගේ කිසිම සම්බන්ධයක් තිබුණෙත් නැහැ. ඔහු මියගිය බව ඇසූ පසු මට දැනුණා ඔහු මට ඉතා අගනා, හිතවත් හා ඉතාම අත්‍යවශ්‍ය කෙනෙකු බව’’ යි කීවේය. එසේම ”දොස්තොයොව්ස්කි බුදුබණ කියවා තිබුණා නම් මීට වඩා තැන්පත් වන්නට තිබුණා’’ යි යනුවෙන්ද වරක් ටෝල්ස්ටෝයි මැක්සිම් ගෝර්කිට කීය.

රුසියන් නවකතාව උසස් තත්ත්වයකට ගෙනගිය ලේඛකයන් අතරින් දොස්තොයොව්ස්කිට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. ඔහුගේ නවකතා රුසියන් සාහිත්‍යය පෝෂණය කළ අතර යුරෝපය පුරා අලූත් නවකතා සම්ප‍්‍රදායක් බිහිකිරීමට අනුබල දුන්නේය. මහා කවීන් අතරින් ෂේක්ස්පියර්ට, හෝමර්ට හා කාලිදාසට හිමිවන තැන නවකතාකරුවන් අතරින් දොස්තොයොව්ස්කිට හිමි වෙයි. මැක්සිම් ගෝර්කි, දොස්තොයොව්ස්කි ෂේක්ස්පියර්ට සමාන කළේය. එතෙක් සිටි නවකතාකරුවන්ට නොතිබුණු විශේෂ හැකියාවක් දොස්තොයොව්ස්කිට තිබිණි. එනම් මනුෂ්‍ය චිත්ත සන්තානය සියුම් ලෙස විනිවිද දැකීමේ හැකියාවයි. මිනිස් සිතේ අභ්‍යන්තරයට වැදී එහී අඳුරු තැන් හෙළි කිරීම විද්‍යාවක් වශයෙන් දියුණු වූයේ සිග්මන් ෆ්‍රොයිඞ් නමැති විද්‍යාඥයාගෙන් පසුවය. එසේ වුවත් ෆ්‍රොයිඞ්ට පෙර දොස්තොයොව්ස්කි මනුෂ්‍ය චිත්ත සන්තානය ගැඹුරින් විග‍්‍රහ කොට ඒ දෙස කලාත්මක ඇසින් බලා එහි බොහෝ දෑ සිය නවකතාවලට ඇතුළත් කළේය. ”මෙතෙක් ලියන ලද නවකතා අතරින් ‘කර්මසෝ සහෝදරයෝ’ නවකතාවේ ‘කතෝලික ධර්මාධිකරණයේ නායකයා’ නමැති පරිච්ෙඡ්දය ලෝක සාහිත්‍යයේ මිණි කිරුළ ලෙස සැලකිය හැකි යි’’ යනුවෙන් ෆ්‍රොයිඞ් කීවේය.

මිනිස් සිත කි‍්‍රයාකරන අන්දම ගැන කතා කිරීමේදී නිදසුන් ලෙස දොස්තොයොව්ස්කිගේ නවකතා ඉදිරිපත් කිරීම විචාරකයන්ගේ සාමාන්‍ය සිරිත විය. සැබවින්ම මිනිස් සිතේ ගූඪ ස්වභාවය දොස්තොයොව්ස්කිගේ නවකතා තුළින් පැහැදිලි ලෙසම නිරූපණය විය.”කර්මසෝ සහෝදරයෝ’’ ග‍්‍රන්ථයෙහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.

”ජන්මය බොහෝදුරට කෙනෙකුගේ ජීවිතය කෙරෙහි බලපවත්වනවා. පියපසින් නුඹ සල්ලාලයෙක්. මව්පසින් නුඹ පිස්සු සාන්තුවරයෙක්..’’

කෙසේ වෙතත් දොස්තොයොව්ස්කි, විචාරකයන් තමා ගැන පවසන ලද බොහෝ අදහස් ප‍්‍රතික්ෂේප කළේය. ”නවකතාකරුවකු වශයෙන් මගේ අදහස, මිනිසා තුළ වෙසෙන මිනිසා සොයාගැනීමයි. සමහරු මට මනෝවිද්‍යාඥයෙක් යැයි කියති. ඒ කතාවේ කිසිම ඇත්තක් නැත. මම නියම යථාර්ථවාදියෙක්මි. ඒ කියන්නේ මම මිනිසාගේ ආත්මයේ පතුළ සම්පූර්ණයෙන්ම විදහා පෙන්නුවෙමි.’’

දොස්තොයොව්ස්කි කතා කීමේදී තාත්වික සම්ප‍්‍රදාය අනුගමනය කළේය. එකල නවකතාකරුවන් බෙහෙවින් අනුගමනය කළේ තාත්වික සම්ප‍්‍රදායයි. එසේ වුවත් දොස්තොයොව්ස්කිගේ කතා අතර මනඃකල්පිත කතා ද දක්නට ලැබෙයි. දොස්තොයොව්ස්කි තාත්වික සම්ප‍්‍රදාය බදාගෙන අනෙක් සම්ප‍්‍රදායන්ට බැණ වදින්නට තරම් අහංකාර පුද්ගලයෙක් නොවීය. සම්ප‍්‍රදාය කුමක් වුවත් ඔහු උසස් නවකතාව උසස් කොට සැලකුවේය. එම පිළිවෙත අනුගමනය කරමින් හෙතෙම මනඃකල්පිත කතා ද ලීවේය. ඔහු උසස් කොට සැලකුවේ කතාව මිස සම්ප‍්‍රදාය නොවේ. නවකතා සම්ප‍්‍රදායන් පිළිබඳ ගැටුම් මෙරට සාහිත්‍යධරයන් අතර නිරන්තරයෙන් ඇති වූ බව පාඨකයෝද විචාරකයෝද දනිති. මාර්ටින් වික‍්‍රමසිංහයන් හා ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා අතර පවා මේ පිළිබඳ විවාදාත්මක ලිපි හරඹයක් සිදු විය. ”නවකතාවාදය’’ නමින් වර්තමානයේදී ග‍්‍රන්ථයක් ලෙස දක්නට ලැබෙන්නේ ඒ විවාදයයි. දොස්තොයොව්ස්කි ඇතුළු රුසියන් ලේඛකයන්ගෙන් මෙරට ගත්කතුවරුන් සේම පාඨක විචාරක සියලූ දෙනා ද උගත යුතු කරුණු කාරණා බොහෝය.

දොස්තොයොව්ස්කිගේ නවකතාවල එන චරිත අස්වාභාවික යැයි සමහරු කියති. එසේ නමුත් මේ කතුවරයාගේ ලෝකය අපට නුහුරු ලෝකයක් මෙන් පෙනෙන්නේ එය මනුෂ්‍ය චිත්ත සන්තානයෙහි සැඟවී පවත්නා එකක් නිසාය. අප දකින්නේ මිනිසාගේ බාහිර ස්වරූපය පමණි. බාහිර දේවල්වලින් සිය චරිතය වසාගැනීමට වෑයම් කරන මිනිසුන්ගේ කෝපය, වෛරය, රාගය, තණ්හාව, ශීලය, අහංකාරය, නම්බුව අපට නොපෙනෙයි. එහෙත් දොස්තොයොව්ස්කිට පෙනෙයි. සාමාන්‍යයෙන් මිනිසා දුක් විඳීමට අකමැතිය. දුකින් පැන යෑමට වෑයම් කරන්නේය. මත්පැන් බී සිහිය විකල් කරගන්නේත් ආගම් මඟින් සිහිය මත් කරගන්නේත් දුකින් පැනයෑමට ඇති ආශාව නිසාය. දුකට මුහුණදී දුකට හේතුව සොයා බැලීමට සාමාන්‍ය මිනිසාට ආත්ම ශක්තියක් නැත. එසේ වුවත් දොස්තොයොව්ස්කිගේ චරිත දුකින් පැන යෑමට වෑයම් නොකරති. ඔවුහු දුක වර්ණනා කරති. දුකෙහි ගිලී ඒ දුක තුළින් සත්‍යය සොයා වෙහෙසෙති.

”නියම මිනිසකු වීමට නම් දුක් වින්ද යුතුය. දුකින් මිනිසාගේ වටිනාකම වැඩිවෙයි. මිනිසා තුළ දේව ගතිය සමඟ තිරිසන් ගතිය ද ඇත. තිරිසන් ගතිය නැති කරගෙන දේව ගතිය මතුවන්නේ දුක තුළිනි.’’ යි දොස්තොයොව්ස්කි කීවේය. දුක් විඳ පුරුදු දොස්තොයොව්ස්කි දුකට මෙන්ම දුක් විඳින්නන්ට ද ගරු කළේය.

”අපරාධය හා දඬුවම’’ නමැති නවකතාවේ තරුණ ශිෂ්‍යයා මුදල් පොලියට දෙන මැහැල්ලක මරා දරුණු ලෙස සිතින් දුක් විඳියි. ඔහු සැනසුමක් ලබන්නේ ඔහු මෙන් දිළිඳු වූ සිය පවුල නඩත්තු කිරීම සඳහා සිරුර විකුණන ගණිකාවකගෙනි. ශිෂ්‍යයා මේ ගණිකාව ඉදිරියේ දණින් වැටී වැඳ

”මම වඳින්නේ ඔබට නොව ඔබේ වේශයෙන් දහදුක් විඳින මනුෂ්‍යාත්මභාවයටයි.’’ යනුවෙන් කියයි. එසේම ”කර්මසෝ සහෝදරයෝ’’ නවකතාවේ සොසීමා පියතුමා මහලූ වියේ සිටි සාන්තුවරයකු ලෙස කාගේත් වැඳුම් පිදුම් ලබයි. එහෙත් කර්මසෝ පවුලේ සමගිය ඇති කිරීම සඳහා මීතියා කර්මසෝ තරුණයා ඉදිරිපිට දණින් වැටී මීතියාට වඳියි. රැුස්ව සිටි පිරිස පුදුමයට පත්වෙති. ”මම වැන්දේ මීතියා කර්මසෝට නොව ඔහු විසින් අනාගතයේදී විඳිය යුතු දුකට’’ යැයි තවුසා කියයි.

ලියෝ ටෝල්ස්ටෝයිගේ ”යුද්ධය හා සාමය’’ නවකතාවෙන් පසුව රුසියානු සමාජයේ සෑම අංශයක්ම අළලා පරම්පරා කීපයකම තොරතුරු ඇතුළත්කොට ”මහා පව්කාරයකුගේ චරිතය’’ නමින් කාණ්ඩ පහකින් යුත් මහා නවකතාවක් ලිවීමට දොස්තොයොව්ස්කි අදහස් කළේය. ”කර්මසෝ සහෝදරයෝ’’ බිහි වූයේ මේ අදහසෙහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. දොස්තොයොව්ස්කි දීර්ඝ නවකතා හතරක්ම ලීවේය. ඒ හතරටම වස්තු විෂය වූයේ භයානක මිනීමැරුම්ය. එහෙත් හේතුඵල වශයෙන් මේ මිනීමැරුම් එකිනෙකට වෙනස් වෙයි. ”අපරාධය හා දඬුවම’’ කතාවට දුප්පත්කම නිසා කරන මිනීමැරුමක් හේතු විය. ”නිවටයා’’ ලියන ලද්දේ රාගය නිසා සිදු වූ මිනීමැරුමක් මුල් කරගෙනය.

”යක්ෂයෝ’’ නවකතාවට හේතු වූයේ දේශපාලන මිනීමැරුමකි. ”කර්මසෝ සහෝදරයෝ’’ ලිවීමට හේතු වූයේ පිතෘ ඝාතනයකි. පිතෘ ඝාතනය ගැන නවකතාවක් ලිවීමට දොස්තොයොව්ස්කි අදහස් කළේ සයිබීරියාවේ සිටි කාලයේදීය. පියා මැරූ වරදට අවුරුදු විස්සක සිරදඬුවමක් විඳින තරුණයකු එහිදී ඔහුට හමුවිය. මේ නවකතාවට මූල බීජය වූයේ එයයි.

නවකතාකරුවකු වශයෙන් දොස්තොයොව්ස්කි තුළ ඇති උතුම් ගුණය වන්නේ ඔහු මනුෂ්‍යත්වයට දැක්වූ දයාව හා අනුකම්පාවයි. හෙතෙම කිසිවිටක මනුෂ්‍ය ස්වභාවයට නින්දා නොකළේය. මනුෂ්‍යත්වය උතුම් කොට සැලකුවේය. මෙය රුසියන් සාහිත්‍යයට පොදු වූ ලක්ෂණයකි. රුසියානු සාහිත්‍යයත් ලේඛක පරපුරත් ලෝකයාගේ ගෞරවයට පාත‍්‍ර වූයේ ද මේ ගුණාංගය නිසාය. මිනීමරුවන්, සල්ලාලයන්, වෙසඟනන් තුළ පවා යහපත් ගතිගුණ සැඟවී ඇති බව දොස්තොයොව්ස්කි විශ්වාස කළේය.

ෆ්යදෝර් දොස්තොයොව්ස්කි පිළිබඳව හෝ ඔහුගේ සාහිත්‍යකරණය පිළිබඳව මෙතෙකින් කියා නිමකළ නොහැකිය. සැබවින්ම මේ දිගහැරුණේ අතිශයින් සංක්ෂිප්ත සටහනකි. සිංහල ලේඛක හා පාඨක මෙන්ම විචාරක පිරිසගේ අවධානය රුසියානු සාහිත්‍යය කෙරෙහි යොමු වීම සිංහල සාහිත්‍යයේ අභිවෘද්ධිය උදෙසා ප‍්‍රබල පිටිවහලක් වනු නිසැකය.

දොස්තොයොව්ස්කි ගැන විවේචනාත්මක ග‍්‍රන්ථයක් ලියූ ව්ලැදිමිර් යෙර්මිලෝව් එළඹෙන නිගමනය අවසාන වශයෙන් මෙහිදී සඳහන් කිරීම වටී.

”දොස්තොයොව්ස්කිගේ දුක්ඛදායක කතා සහ දුක් පීඩා පිළිබිඹු කරන චරිත මඟින් අනාවරණය කරන ලද, ගසාකෑමේ දුකින් පීඩිත වූ මිනිස් ජීවිතයේ දරුණු සත්‍යයට උසස්ම ගරුත්වයෙන් පිදිය යුතුය. මේවා මිනිස් අයිතිවාසිකම් අහිමි වූ මිනිස් සංහතියේ වැඩිදෙනා විසින් නඟන ලද විරුද්ධත්වයෙහි සහ කෝපයෙහි ප‍්‍රතිබිම්බයෝ වෙති. දොස්තොයොව්ස්කිගේ නවකතා සහ එ් නවකතා මඟින් නිරූපණය වන චරිත ලෝක සාහිත්‍යයට අයත් අමරණීය නිර්මාණයෝ වෙති.’’

හෂාන් ඉහළගෙදර
සිංහල ආචාර්ය,
මාරිස්ටෙල්ලා විද්‍යාලය, තිඹිරිගස්කටුව.

advertistmentadvertistment
advertistmentadvertistment