සම්මාන තිස්තුනක් ගත්තු දර්ශන් රඟපෑ චක්‍රය

492

ලිංගිකත්වය ගැන කථා කරන්න මම බය නෑ
අද බයවුණොත් හෙට ළමයකුටවත් පාරෙ බැහැල යන්න බැරිවේවි…

කෙටි චිත්‍රපටයක් ජාත්‍යන්තරයට ගොස් සම්මානය 33 කට අධික ප්‍රමාණයක් ලබා ගැනීම රටක් විදිහට අපට මොනතරම් ආඩම්බරයක්දරෑ. මෙහි ප්‍රධාන භූමිකාවට ජීවය දෙන නළුවාද මේ වන විට අප හැර ගොසින්. නමුත් අදටත් ඔහුගේ රංගනය ගැන මොනතරම් නම් කථාබහ වෙනවාද?. ඔහු දර්ශන් ධර්මරාජ්. දර්ශන්ගේ දර්ශනයෙන් හැඩවුණ චක්‍රයේ පිටපත ලියන්නේ” නිෂ්පාදනය කරන්නේ සහ එහි රඟපාන්නේද ආශා විතානගේ. ඉතිං අද අපේ කථානායිකාව ද ඇයයි.

සම්මාන තිස්තුනක් ගත්තු දර්ශන් රඟපෑ චක්‍රය

චක්‍රය. චිත්‍රපටයට අදහස එන්නෙ කොහොමද?

ඇත්තටමඅද සමාජයේ තියෙන ප්‍රශ්න ගැන විවෘතව කතාකරනව ගොඩක් අඩුයි. ඒකට හේතුව වෙන්නෙ එවැනි දේකට සමාජයෙන් එල්ලවන පීඩනය. එහෙමත් නැතිනම් අඟිල්ල දිගුකිරීම. ඒ පසුබිමත් එක්ක බොහෝ දෙනෙක් තමන්ගෙ සැඟවුණ කතා කතා කරන්න අකමැතියි. නමුත් මට වුවමනා වුණා ගොඩක් අය හැංගිලා කතාකරන දෙයක් එළියෙ කතා කරන්න. අද සමාජයේ ප්‍රශ්න ගොඩක් වැඩියි. විශේෂයෙන්ම ගැහැනු දරුවන්ට. ඒකට හේතුවක් වෙලා තියෙන්නෙත් අත්‍යවශ්‍ය දේවල් එලිපිට කතා නොකිරීම. මේ කාරණා තමයි මෙවැනි අදහසක් එන්න මූලික හේතුව වෙන්නෙ.

කොහොමද පසුබිම සැකසෙන්නෙ?

මූලිකවම මට දැණුනෙ මගේ ඔළුවට එන අදහසක් නිකම්ම මියැදෙන්න දෙන්න ඕන නෑ කියන දේ. මම මේ දේ ගැන කතාකළොත් ඒ ප්‍රශ්නය තියෙන එක්කෙනෙකුට හරි උත්තරයක් ලැබෙයි නේද කියන දේ මට හිතුන. ඒ අනුව තමයිිචක්‍රය. බිහිවෙන්නෙ.

මෙවැනි නිර්මාණයක හිමිකරුවාටත් සමාජයෙන් විවිධ චෝදනා එන්න පුළුවන්. ඒ ගැන හිතුවද?

ඒ වගේ දේවල් නම් කොහොමත් අපේ රටේ තියෙනවනෙ. ගෑනු ළමයෙක් කොටට ඇඳගෙන පාරෙ ගියත් අපහාස කරන රටක්නෙ මේක. අපේ රටේ මිනිස්සුන්ගෙ ඒ මානසිකත්වය හදන්න බැහැ. ඒකට නම් මම බය නැහැ. මොකද අපි අද බයවෙලා හිටියොත් හෙට දවසෙ බිහිවන ළමයකුටවත් පාරෙ බැහැල යන්න බැරි වෙනව. පසුගිය කාලයේ ගැහැනු දරුවන් සම්බන්ධයෙන් පළවුණ බොහෝ ප්‍රවෘත්තිවල තිබුණෙ ලිංගිකත්වය සම්බන්ධ ප්‍රශ්න. අපි විවෘතව මේ ගැන කතා කළා නම් පොඩි දරුවන් දූෂණය කරල මරන්න තරම් මානසිකත්වයක් හැදෙන්නෙ නැහැ. ඉතිං ඒ වගේ කාරණා ඇයි අපි එළිපිට කතාකරන්න බය වෙන්නෙ.

සම්මාන තිස්තුනක් ගත්තු දර්ශන් රඟපෑ චක්‍රය

ඔබේ වෘත්තිය?

මගේ ප්‍රධාන වෘත්තිය රංගනය. නමුත් එහෙමයි කියල රංගනය තුළම කොටු වෙලා ඉන්න මට වුවමනා වුණේ නැහැ.

ප්‍රේක්‍ෂකයන් චක්‍රය කොහොම භාරගනීවිද?

සමාජයේ මිනිස්සු විවිධාකාරයි. ඒ නිසා මේ නිර්මාණය ප්‍රේක්‍ෂකයන්ට දෙන දවසක ඔවුන් එක එක මාදිලියෙන් මේක දකින්න පුළුවන්. නමුත් තමන්ගෙ හිතේ ඇතුළාන්තයෙන් කතාකරල බැලුවොත් තමන්ටත් මේ වගේ ප්‍රශ්න තියෙනව නේද කියල ඔවුන්ට දැනෙන්න පුළුවන්.

අධ්‍යක්‍ෂණයට යොමුවෙන්නත් අදහසක් තියෙනව?

ඔව්” ඉදිරියේදී මම අධ්‍යක්‍ෂණයට යොමු වෙනව. එතනදිත් සමාජයේ වෙන්න පුළුවන්” ගොඩක් දුරට සිදුවෙලා ඇති” නැති කතාවක් ගැන තමයි කතා කරන්නෙ. මොකද බොහෝ දෙනා කැමති අපි දකින දේ ගැනම විතරක් කතා කරන්න. එහෙම වුණොත් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියන අදහසින් වගේ. නමුත් ප්‍රශ්නයක් ආවත් නැතත් මම හිතන විදිහට අපිට තියෙන මානසික ප්‍රශ්න ගැන කතා කරන්නම ඕන. මොකද මිනිස්සු ඉන්නෙ හරිම පීඩනයක. ඒ ලිංගිකත්වය ගැන විතරක් නෙමෙයි. ආර්ථික ප්‍රශ්න” දේපල ප්‍රශ්න” චරිත ඝාතන ප්‍රශ්න වගේ බොහෝ දේවල්.

සම්මාන තිස්තුනක් ගත්තු දර්ශන් රඟපෑ චක්‍රය

ඔබ දායක වුණ වෙනත් නිර්මාණ ගැන මතක් කළොත්?

ප්‍රියන්ත ප්‍රනාන්දුගෙ සුසුම් රස්තියාදුව.” ජනක අත්තනායක අයියගෙ වාසිටි.” සංජය නිර්මාල් මහත්මයාගෙ බී ටී එස්.” යන ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වීමට නියමිතව තියෙනව.

මහේන්ද්‍ර පෙරේරා ඔබේ ගුරුවරයෙක්?

මහේන්ද්‍ර පෙරේරා සර් ළඟට මාව එක්කගෙන යන්නෙ ධනුෂ්ක විතානගේ කියන මගේ ඥාති සහෝදරයෙක්. එතුමා ළඟට ගිය එක ගැන මම ගොඩක් සතුටුයි. මගේ ගමනෙ ලොකු ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන සර්ට. උපතින් රංගනය කියන දේ රැගෙන ආවත් නැතත් මහේන්ද්‍ර සර් ළඟට ගියාට පස්සෙ උනන්දුවයි කැපවීමයි තියෙනව නම් ඒ කෙනාට අනාගතය හදාගන්න පුළුවන්. ගොඩක් ගුරුවරු අපිට ළඟයි කියල දැනෙන්නෙ නැහැනෙ. නමුත් මහේන්ද්‍ර සර් කියන්නෙ ගුරුවරයෙක්” සහෝදරයෙක්” තාත්ත කෙනෙක් වගේ කෙනෙක්. අපිට ඔනෑම දෙයක් කතාකරන්න පුළුවන්. කවදාවත් අපිට මානසික පීඩාවක් දීල නැහැ. අවුරුදු හතරක් අපි එතුමා ළඟ ඉගෙන ගන්නව. ඇත්තටම එතුමා ළඟට ගියේ නැත්නම් අද මගේ හැකියාවන් මේ තරම් වර්ධනය නොවෙන්න ඉඩ තිබුණා. සර් හැම වෙලාවෙම කිව්ව දෙයක් තමයි තමන් තමන්ගේ වෘත්තියට ආදරේ කරනව නම්” ගෞරව කරනව නම් පෙරලා එයින් තමන්ට ආදරේ ගෞරවය ලැබෙනව” කරන දේ හරියට කරන්න කියල.

සම්මාන තිස්තුනක් ගත්තු දර්ශන් රඟපෑ චක්‍රය

ඇයි දර්ශන් ධර්මරාජ්ව තෝරා ගන්නෙ?

මේ කතාව මගේ ඔළුවට එනකොට ඒකට ගැලපෙනම නළුවා හැටියට මම දැක්කෙ දර්ශන් අයියම විතරයි. වෙන කිසිම කෙනෙක් නැහැ. මීට අවුරුදු දෙකකට තුනකට විතර කලින් මම දර්ශන් අයියත් එක්ක මේ ගැන කතාකරනව. මුදල්මය ප්‍රශ්නයක් තිබුණ ඒ කාලෙ රූගත කරන්න බැරිවෙනව. ඉන් පස්සෙ ගිය අවුරුද්දෙ ශූටිං කරනව. අවසන් කොටස් කිහිපය රූගත කරන්නෙ දර්ශන් අයිය නැතිවෙන්න දින කිහිපයකට කලින්. ඔහු ගැන මුළු රටක්ම දන්නව. ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් දක්‍ෂ චරිතාංග නළුවෙක්. මාර ටැලන්ටඩ්. කතාව ඔළුවට ආපු මොහොතෙ පටන්ම ඒ චරිතය විදිහට මැවුණෙ දර්ශන් අයියව. ඔහු සම්බන්ධ වුණොත් මේ නිර්මාණය කරනව” නැත්නම් අතහරිනව කියන තැන තමයි මම හිටියෙ.

මේ කෙටි චිත්‍රපටයට ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිවෙනව?

බෙස්ට් ඇක්ට්‍රස් සහ බෙස්ට් ත්‍රිලර් කියන සම්මාන දෙක අපිට අලුතින්ම ලැබුණා. මෙවා ලැබුණෙ ස්ටාර් බාරස් ෆිල්ම් ෆෙස්ටිවල් එකේදි. මේ සම්මාන දෙකක් ඇතුළව මේ වන විට අපි සම්මාන 33ක් ලබාගෙන තියෙනව. තවත් සම්මාන තුනකට නිර්දේශ වෙලා තියෙනව. දර්ශන් අයියට බෙස්ට් ඇක්ටර් සම්මානයකුත් ලැබුණ. නමුත් ඔහුට මේ චිත්‍රපටය බලන්නවත් පුළුවන් වුණේ නැහැ.

මහේෂ් එදිරිසිංහ


advertistmentadvertistment