සමාජය සුරක්ෂිත කිරීම

532

අපේ ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කර තිබිණි. මේ කලාපයේ රටවලින් එම සහතිකය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් තුනකට පමණි. එහෙත් පසුගිය වසරේ සිදු වූයේ කුමක්ද? 2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළින් සරම්ප රෝගීන් 700කට අධික පිරිසක් වාර්තා වී තිබීමයි. මෙය සියලු යහපත් එන්නත්කරණ වැඩසටහන් උඩු යටිකුරු කිරීමක් විය. මේ නිසා ඇතිවන ප්‍රශ්නය මෙරට වෙසෙන මිලියන 22ටම බලපායි. එය පළාතකට ප්‍රදේශයකට පවුලකට සීමාවන්නක් නොවේ. ශ්‍රී ලංකාවේ ශක්තිමත් හා දැවැන්ත ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා තුරන්වී ගිය සරම්ප රෝගයේ භයානකබව අද සමාජයේ බොහෝ දෙනා සියැසින් දැක නැත. නමුත් සරම්ප රෝගය බහුලවම දරුවන්ට වැළඳෙන, දරුණු අතුරු ආබාධ හා මරණය පවා ඇතිකළ හැකි රෝගයකි. සරම්ප, ඉතා පහසුවෙන් හා වේගයෙන් බෝවෙන, මාරාන්තික සංකූලතා ඇතිකළ හැකි රෝගයකි. සරම්ප සඳහා එන්නත් නොකළ දරුවන් ඉතා ඉක්මනින් සරම්ප රෝගයට ගොදුරු වෙයි. සරම්ප වෛරසයට නිරාවරණය වන එන්නත් නොකළ 10 දෙනකුගෙන් නවදෙනකු පමණ වෛරසය ආසාදිතයන් බවට පත්වෙයි. ඇත්තෙන්ම සරම්ප පැතිරීමට හේතුව වන්නේ එන්නත්-විරෝධී අවිද්‍යාත්මක මත නිසා සමහරු සිය දරුවන්ට එන්නත් ලබා නොදීමය. මීට වසර කිහිපයකට පෙර කොරෝනා එන්නත ලබා දෙන විටත් එය ප්‍රතික්‍ෂේප කළ පිරිසක් විය. එනිසාම සමහරු පරලොව ගියහ. සරම්ප එන්නත ප්‍රතික්ෂේප කිරීම කොරෝනාවට වඩා ප්‍රශ්නයකි. මේ ඊනියා මිථ්‍යා මතවාද නිසා සිදුවන්නේ සමාජයම අර්බුදයට ලක්වීමය.

එන්නත් – විරෝධී අවිද්‍යාත්මක මත ආදිය හේතුවෙන්, සරම්ප එන්නත නොගත් පුද්ගලයන් 7,500ත් 10,000ත් අතර සංඛ්‍යාවක් රට තුළ සිටින්නේයැ යි උපකල්පනය කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පසුගියදා ප්‍රකාශ කර තිබිණි. “2021 වසරේ ඉපදුණු ළමයි දළ වශයෙන් ලක්ෂ තුනක් අතරින් 1352ක් ඉන්නවා සරම්ප එන්නතේ පළමු මාත්‍රාව ලබා නොගත්… ප්‍රතිශතයක් වශයෙන් ගත්තම මේක සියයට දශම ගාණ යි… හැබැයි මතක තියාගන්න, මේ මම කියන්නෙ 2021 ඉපදිච්ච ළමයි අතරින්. ඉතින් මේ වගේ 2020, 2019, ඒ වගෙ ඉපදිච්ච ළමයි යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා,”යි ද ඔහු කියා සිටියේ ය. තම දරුවන්ට එන්නත් ලබාදීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ගෙන් 50%ක් පමණම වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඊට අමතරව මොවුන් ගම්පහ, මහනුවර, කල්මුණේ, පුත්තලම, ගාල්ල, කළුතර, මාතර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලින් ද වැඩි වශයෙන් වාර්තා වෙයි. පසුගිය වසරේ මැයි මාසයේ දී පළමු සරම්ප රෝගියා වාර්තා වූයේ කොළඹ ප්‍රදේශයෙනි. ඔහු සරම්ප එන්නත ලබා නොගත් තැනැත්තෙකි. මේ නිසාම පෙරේදා සිට උදෑසන 09:00 සිට පස්වරු 04:00 දක්වා ආසන්නතම එන්නත්කරණ සායනයෙන් මාස හය – මාස නවය වයස් කාණ්ඩයේ පසුවන සියලුම දරුවන් සරම්ප රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අමතර සරම්ප එන්නත් මාත්‍රාව ලබාගැනීමට ඉඩ සලසා තිබිණි. එය ඉතා වැදගත් කාර්යයකි. සෞඛ්‍ය ආමාත්‍යාංශ ලේකම් පාලිත මහීපාල මහතා පෞද්ගලිකවම කොළඹ සමහර නිවාසවලට ගොස් මේ සරම්ප එන්නත ලබා ගන්න ලෙස නිවැසියන්ට දන්වන අයුරුද අපට මාධ්‍ය ඔස්සේ දැකගැනීමට හැකි විය. මෙය අගය කළ යුත්තකි. සමහරු එන්නත් භීතිකාවෙන් පෙළෙති. මේ සඳහා යම් ආගමික පසුබිමක්ද බලපා ඇත. පාකිස්තානයේ පෝලියෝ එන්නත ලබා දෙන්නට එන සෞඛ්‍ය සේවකයන්ට වෙඩි තැබූ පුවත් නිරන්තරයෙන් අසා තිබේ. නමුත් මෙරට එසේ නැත. එහෙත් සමහරු වුවමනාවෙන්ම මේවා මගහරිති. එය බලවත් වරදකි. නමුත් ඔබේ දරුවාට සරම්ප එන්නත් මාත්‍රාව ලබා දීම එම දරුවාගේ පමණක් නොව සමාජය සුරක්ෂිත කිරීමේ සත්කාර්යයකි. 1963 දී සරම්ප එන්නත හඳුන්වාදීමට පෙර සෑම වසර දෙක තුනකටම වරක් මහා පරිමාණයේ සරම්ප වසංගත තත්ත්වයක් පැමිණි අතර, එනිසා සෑම වසරකදීම මිලියන 2.6ක් පමණ දෙනා මියගියහ.


advertistmentadvertistment