සමාජ මාධ්‍යයයේ සෞන්දර්යාත්මක සතුට සහ විනෝදාස්වාදය

40

TikTok¸ Instagram සහ YouTube වැනි සමාජීය මාධ්‍යය වේදිකා සමකාලීන ලෝකයේ සෞන්දර්යාත්මක අගය කිරීම සහ විනෝදාස්වාදය සඳහා ප්‍රබල මාධ්‍යයන් ලෙස මතු වී ඇත. මෙම ලිපියෙන් දකුණු ආසියාවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සමාජීය මාධ්‍යය පරිශීලකයන් ගෝලීය ඇල්ගොරිතම ව්‍යුහ සහ දේශීය සංස්කෘතික රාමු තුළ ඩිජිටල් සෞන්දර්යය තුළ සැරිසැරීම පිළිබද විමසා බලනු ලැබේ. සෞන්දර්යාත්මක දර්ශනය, මාධ්‍ය න්‍යාය සහ පශ්චාත් යටත් විජිත විවේචනය මත පදනම්ව, සහභාගීත්ව සංස්කෘතිය, මතවේදිකා ධනවාදය සහ සංස්කෘතික දෙමුහුන්භාවය මගින් ඩිජිටල් අන්තර්ගත නිර්මාණය හැඩගස්වා ඇති ආකාරය පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. මෙහිදී, ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු නිර්මාණකරුවන් සමාජීය ජාල මාධ්‍යය පාදක ව ක්‍රියාත්මක කලා සෞන්දර්ය රසාසවාද ආශ්‍රිත සිද්ධි අධ්‍යයන පාදක කරගනී. ඒ අනුව, කලාපය තුළ සෞන්දර්යාත්මක සතුට දේශීයකරණය, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙළෙඳ භාණ්ඩකරණය යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කර ඇති ආකාරය මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

සමාජ මාධ්‍යයයේ සෞන්දර්යාත්මක සතුට සහ විනෝදාස්වාදය

විසිවන සියවසේ සමාජීය ජාල මාධ්‍යය නැගීම විසින් මිනිසුන් සුන්දරත්වය සහ විනෝදාස්වාදය අත්විඳින ආකාරය නැවත අර්ථ දක්වා ඇත. දකුණු ආසියාව පුරා සිටින සමාජීය ජාල මාධ්‍යය පරිශීලකයන් සඳහා, ඩිජිටල් වේදිකා සාම්ප්‍රදායික මාධ්‍යවලින් ඔබ්බට සංස්කෘතික ප්‍රකාශනය, සෞන්දර්යාත්මක ස්වයං නියෝජනය සහ විනෝදාස්වාදය සඳහා නව අවකාශයන් විවෘත කර ඇත. මෙහිදී යටත් විජිත සංස්කෘතික උරුම, නව ලිබරල් ගෝලීයකරණය සහ තරුණ ඩිජිටල්කරණය සමඟ එකිනෙක අන්තර් සම්බන්ධ වෙමින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව වැනි පශ්චාත්-යටත්විජිත දකුණු ආසියානු ජන සමාජ සංදර්භ, සමාජීය ජාල මාධ්‍යය සෞන්දර්යාත්මක අත්හදා බැලීම්, අනන්‍යතා නිර්මාණය සහ රංගන කතන්දර කීම සඳහා ප්‍රධාන ස්ථානයක් බවට පත්ව තිබේ. තව ද, ඩිජිටල් සෞන්දර්යය වේදිකා තර්කන සහ සංස්කෘතික ඉතිහාස යන ක්ෂේත්‍ර දෙක ඔස්සේ වේශ නිරූපණය පිළිබද වන අධ්‍යයන සටහන්, නිබන්ධන සහ නර්තන රීල්වල සිට සම්ප්‍රදායික ගම ආශ්‍රය කරගෙන කෙරෙන ව්ලොග් සහ දේශපාලන උපහාස වැඩසටහන් සමාජීය ජාල මාධ්‍යය සහ එහි රසාස්වාදනය තුළ නැවත හැඩගස්වා ඇත.

සෞන්දර්යාත්මක ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමාන්‍ය

කලාව වනාහි සාමාන්‍ය අත්දැකීම්වලින් මතුවන දෙයක් ලෙස ජෝන් ඩිවි (1934) තර්ක කරයි. ශ්‍රී ලාංකික තරුණයින් ජංගම දුරකථන කැමරා සහ සංස්කරණ යෙදුම් භාවිතයෙන් ජීවිතයේ ලෞකික අංග, උදාහරණ ලෙස වැසි සහිත උදෑසන, වීදි ආහාර හෝ දේශීය චාරිත්‍රවාරිත්‍ර – සෞන්දර්යාත්මක ලෙස සමාජීය ජාල මාධ්‍යය ඇසුරෙන් නිරූපණය කරන ආකාරය අනුව උක්ත ජෝන් ඩිවිගේ අදහස පැහැදිලි කළ හැකිය. ජැක් රැන්සියර්ගේ (2004) “සංවේදී දේ බෙදාහැරීම” පිළිබඳ සංකල්පය ඉදිරිපත් කර ඇත. ඒ අනුව, සමාජ මාධ්‍ය තුළ අප දිනපතා ජිවිතයේ දී දකින සහ අසන දේ වටිනා ප්‍රස්තුත ලෙස නැවත සකස් කරන ආකාරය පැහැදිලි කළ හැකිය. එදිනෙදා ජීවිතය සෞන්දර්යාත්මක ස්වරූපයෙන් දෘශ්‍යමාන කරන ආකාරය ඒ අනුව ජැක් රැන්සියර්ගේ දක්වන න්‍යායාත්මක අදහස සමග පිරික්සිය හැකිය.

සහභාගීත්ව සංස්කෘතිය සහ සමාජීය ජාල මාධ්‍යය මතවේදිකා මගින් ලබාදෙන ගුණාත්මක ගෙනදීම්

ජෙන්කින්ස් (2006) නව මාධ්‍ය පරිසර තුළ සහභාගීත්ව සංස්කෘතියේ නැගීම අවධාරණය කරයි. ටික්ටොක් හෝ ඉන්ස්ටග්‍රෑම් රීල්ස් වැනි සමාජීය ජාල මාධ්‍යය මතවේදිකාවල, දකුණු ආසියානු තරුණයන් විසින් තමන්ගේ ජන සමාජ ආශ්‍රිත සංස්කෘතික සංඥා නැවත මිශ්‍රකර ඉදිරිපත් කරයි. උදාහරණ ලෙස බොලිවුඩ්, කේ-පොප්, සිංහල බයිලා හෝ දෙමළ ගායනා සන්නිවේදන වැඩසටහන් එකිනෙක මිශ්‍රකර දෙමුහුන් අනන්‍යතා ප්‍රකාශ කරන ආකාරය හඳුනාගත හැකිය. එබදු වැඩසටහන් වීඩියෝ ටික්ටෝක් ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජීය ජාල මාධ්‍යය තුළ දැක ගත හැකිය. බර්ගස් සහ ග්‍රීන් (2009) යන පර්යේෂකයෝ අඩු වියදම් නිෂ්පාදනය සහ ඉහළ චිත්තවේගීය බලපෑම ඔස්සේ ස්වයං නියෝජනයට ඉඩ සලසන සංස්කෘතික තාක්ෂණයක් ලෙස යූ ටියුබ්හි භූමිකාව ඉස්මතු කර පෙන්වති.

පශ්චාත් යටත් විජිත දෙමුහුන්භාවය සහ ඩිජිටල් සෞන්දර්ය

ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික පශ්චාත් යටත් විජිත ජන සමාජීය සන්දර්භ තුළ, සමාජ මාධ්‍යවල සෞන්දර්යාත්මක ප්‍රකාශනය, ප්‍රාසංගිකත්වය සහ කාර්ය සාධනය දෙස බැලීමේ දී බොහෝ විට පශ්චාත්-යටත්විජිත සංස්කෘතික දෙමුහුන්භාවය පිළිබිඹු කරයි. එනම් මේ වනාහි, දේශීය සම්ප්‍රදායන් සහ ගෝලීය විලාසිතාවන්ගේ මිශ්‍රණයකි. හාවඩ් සරසවියේ ව්‍යක්ත විචාරාත්මක සංස්කෘතික ශාස්ත්‍රඥ මහාචාර්ය හෝමි භාබා (1994) තර්ක කරන පරිදි, මෙම සංස්කෘතික දෙමුහුන්භාවය යනු ප්‍රතිරෝධයේ සහ අනුකරණයේ ස්ථානයකි. දකුණු ආසියානු සමාජීය ජාලා බලපෑම්කරුවන් විසින් ආසියානු සාරි ඇඳගෙන ඉංග්‍රීසි පොප් සංගීතයට තොල් වලින් විතරක් ගායනා කරන ආකාරය ව්‍යාජ ලෙස අනුකරණය කිරීම (සමමුහුර්ත) කරන (Lμp-syncμng) ආකාරය උදාහරණයකි. නැතහොත් සමකාලීන සංගීතය සමඟ දෙමළ ජන නැටුම් ඉදිරිපත් කරන ආකාරය තවත් නිදසුනකි. මෙකි නිදසුන් ඇසුරෙන් පෙනී යන්නේ නූතන සමාජීය ජාල මාධ්‍යය ඔස්සේ කෙසේද එකී ජන සමාජවල සංස්කෘතික වශයෙන් මුල් බැසගත් මෙන්ම නූතන ගෝලීයකරණය වූ සෞන්දර්යාත්මක අභිනයන් නිර්මාණය කරන්නේ යන්නයි.

ශ්‍රී ලංකාවේ ටික්ටොක්: නර්තනය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ප්‍රතිරෝධය

ශ්‍රී ලංකාවේ කම්කරු පන්තියේ මෙන්ම ග්‍රාමීය තරුණයන් සඳහා ටික්ටොක් ප්‍රමුඛ වේදිකාවක් බවට පත්ව ඇත. හෂාන් ගිම්හාන් සහ දිල්කි උරේෂා වැනි නිර්මාණකරුවෝ සිය නර්තනය, අනුකරණය කරන සංවාද සහ ආදර හැඟීම් ජනිත කිරීම ඔස්සේ ග්‍රාමීය ජීවිතය ප්‍රදර්ශනය කරති. මේ ආකාරයේ නිර්මාණ ක්‍රමෝපාය ඔස්සේ ඔවුහු සමාජීය ජාල මාධ්‍යය මගින් තමන්ගේ වැඩසටහන් ඉක්මනින් දීපව්‍යාප්ත වීමෙන් කීර්තියක් ලබා ගත්හ. ඔවුන්ගේ අන්තර්ගත මගින් සැහැල්ලු විනෝදාස්වාදයක් ලබාදෙන අතර, එය නාගරික නොවන අනන්‍යතා සෞන්දර්යාත්මක ලෙස ඉදිරිපත් කිරීමකි. එමගින් පන්ති පාදක මාධ්‍ය ධූරාවලියකට වඩා පුළුල් ස්වාධීන නිදහස් මාධ්‍යය සන්නිවේදන අවකාශයක්, අවස්ථාවක් සහ සන්නිවේදන නිර්මාණශීලි අයිතියක් මින් ගොඩනැගෙන ආකාරය හඳුනාගත හැකිය.

සමාජීය ජාල මාධ්‍යය ආශ්‍රිත කාන්තා නිර්මාණකරුවෝ බොහෝ විට ප්‍රකාශන විලාසිතා, නර්තනය සහ නිර්භීත හාස්‍යය යනාදිය ඔස්සේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සම්මතයන්ට අභියෝග කරති. පීතෘ මූලික ඩිජිටල් මාධ්‍යය පරිසරයක දෘශ්‍යතාව තුළ මෙකී කාන්තා මාධ්‍යකරණය වඩා සුවිශේෂී කාරණයක් වන්නේය. ඒ මන්ද යත්? ආන්තික හෝ ප්‍රධාන මාධ්‍යය ප්‍රවාහයේ තමන්ගේ නියෝජනයක් නැති මිනිසුන්ට තමන්ගේ ප්‍රකාශන නිදහසේ ඉදිරිපත් කිරීමට මෙහි ඇති අයිතිය සහ හැකියාවයි. උදාහරණයක් ලෙස, චමරිගේ ව්ලොග්ස් (ටික්ටොක් සහ යූ ටියුබ් පෞරුෂයක්) සමාජීය ජාල මාධ්‍යය මතවේදිකා මගින් ග්‍රාමීය කාන්තාවන්ට වරක් ප්‍රතික්ෂේප කරන ලද සෞන්දර්යාත්මක සහ චිත්තවේගීය ප්‍රකාශනය නැවත ලබා ගැනීම සඳහා පහසුකම් සැපයේ. ඒ උපහාසාත්මක සහ නාට්‍යමය කතන්දර කීම භාවිත කරමිනි.

කෙසේ වෙතත්, මෙම නිර්මාණකරුවන්ගේ සමාජීය ජාල මාධ්‍යය නිර්මාණ බොහෝ විට සදාචාරාත්මක නියාමනයකට සහ ආචාරධර්මීය සුපරික්ෂාකාරීත්වයකට යටත්ව සමාජීය ජාල මාධ්‍යයේ ක්‍රියාත්මක වේ. ඒ අනුව, ඔවුන්ගේ සෞන්දර්යාත්මක තේරීම් නිහතමානීකම, ජාතිකවාදය හෝ සංස්කෘතික “පාරිශුද්ධත්වය” යන කාච සහ පෙරහනු ඔස්සේ කියවනු ලැබේ. මෙහිදී සෞන්දර්යය, ස්ත්‍රී පුරුෂ භාවය සහ ගතානුගතික සම්මත සංස්කෘතික වටිනාකම් සහ ධර්මතා අතර පවතින එකිනෙක ප්‍රතිවිරෝධ, ගැටුම් සහ ආතතීන් අනාවරණය වීමක් ද සිදුවෙන බව පෙනී යයි.

කොළඹ ඉන්ස්ටග්‍රෑම් සහ මධ්‍යම පාන්තික සෞන්දර්යාත්මක සැකසුම්

ශ්‍රී ලංකාවේ ඉන්ස්ටග්‍රෑම් ආධිපත්‍යය දරන්නේ වඩාත් නාගරික, ඉංග්‍රීසි කතා කරන ප්‍රජා ජන කණ්ඩායමක් විසිනි. ෂනුකි ද අල්විස් සහ බාචි සුසාන් වැනි සමාජීය ජාල මාධ්‍යය බලපෑම්කරුවෝ හාස්‍යය, විලාසිතා සහ සමාජ විවේචනය යන අංශ ශක්තිමත් සෞන්දර්යාත්මක සංවේදීතාවයක් ඔස්සේ නිර්මාණශීලීව මුසු කරති. ඔවුන්ගේ සමාජීය මාධ්‍ය පෝෂණ සංග්‍රහ වන්නේ පෙරහන්, වර්ණ පුවරු සහ ආඛ්‍යාන සහජීවනයෙන් සකස් කරන ලද දෘශ්‍ය දිනපොත් ය. මෙමගින් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක සමාජීය ජාල මාධ්‍යය සංස්කෘතියේ බලපෑම පිළිබිඹු කරයි. ඒ අතරම මෙම වැඩසටහන් තුළ දේශීය ජන සමාජීය සංස්කෘතියේ පවතින සංවේදීතා ද දැක ගත හැකිය. එනම්, ස්ත්‍රී පුරුෂ භූමිකා, දේශපාලනය හෝ මානසික සෞඛ්‍යය පිළිබඳ විවරණ මෙම වැඩසටහන් තුළ ලාංකේය ජන සංස්කෘතියේ පවතින සංවේදිතා මුසුකරගෙන ඉදිරිපත් කරන ආකාරය හදුනාගත හැකිය.

කොළඹ විලාසිතා සතිය හෝ මිල්ක් ඇන්ඩ් හනි කැෆෙ වැනි වැඩසටහන් සිදුවීම් මගින් පෙනෙන්නේ එකී කටයුතු සදහා සැබෑ ලෝකයේ අවකාශ පමණක් නොව සමාජීය ජාල මාධ්‍යය ඉන්ස්ටග්‍රෑම් කළ හැකි පසුබිම් ඇසුරෙන් නිර්මාණ වන බවයි. එහිදී සමාජ මාධ්‍ය සෞන්දර්යය පාරිභෝගිකවාදය සහ නාගරික විවේකය සමඟ මෙම ඉන්ස්ටග්‍රෑම් වැඩසටහන් අනුයාතව සම්බන්ධ වන ආකාරය හඳුනාගත හැකිය. මෙම සෞන්දර්යාත්මක ඉදිරිපත් කිරීම්වලින් පෙනෙන්නේ අභිලාෂකාමී මධ්‍යම පාන්තික අනන්‍යතාව සමග විනෝදාස්වාදය සහ රසාස්වාදනය මිශ්‍ර වන ආකාරය යි.

යූ ටියුබ් ව්ලොග් සහ දේශීය සැමරුම

Vlogs වැනි නාලිකා මගින් ගමේ දර්ශන, සොබාදහම සහ උරුමය යනාදිය ඇසුරෙන් වැඩසටහන් නිර්මාණය කරන ආකාරය පෙනෙයි. ඒවා දෘශ්‍ය කාව්‍ය බවට පත් කරන සංචාරක සහ ජීවන රටා අන්තර්ගත ලෙස හඳුනා ගත හැකිය. මෙම Vlogs බොහෝ විට මන්දගාමී චලන ඩ්‍රෝන දර්ශන, පසුබිම් සංගීතය සහ සිනමාත්මක ආඛ්‍යානය භාවිත කරයි. ඒ ඇසුරෙන්, කලක් “පසුගාමී” හෝ ඌන සංවර්ධිත ලෙස සැලකූ ග්‍රාමීය ජන සමාජීය අවකාශ සෞන්දර්යාත්මක ලෙස නිරූපණය කරන ආකාරය මෙහිදී කැපී පෙනෙයි.

මෙම ක්‍රියාවලිය උර්රි (2002) නමැති පර්යේෂකයා විසින් “සංචාරක බැල්ම” ලෙස විස්තර කරන දෙයට සමපාත වේ. එහිදී මේ සමාජීය ජාල මාධ්‍යය වැඩසටහන් ක්ෂේත්‍ර භූ දර්ශනය සෞන්දර්යාත්මකව පරිභෝජනය කරන ආකාරය පෙනී යයි. එහෙත්, දේශීය නිර්මාණකරුවන් මෙම බැල්ම ඔවුන්ගේම කාච ඔස්සේ නැවත ලබා ගනී. ඒ අනුව, ශ්‍රී ලාංකේය ගම්බද, දේශීය ආහාර සහ චාරිත්‍ර වාරිත්‍ර සෞන්දර්යාත්මක ආඩම්බරයේ සහ ඩිජිටල් විනෝදාස්වාදයේ වස්තූන් බවට පත් කරයි.

දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල, Vlogges බොහෝ විට පන්සල් චාරිත්‍රවාරිත්‍ර, ප්‍රජා උත්සව සහ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් දිගු ආකාරයේ වීඩියෝවල ප්‍රදර්ශනය කරන අකාරය හඳුනාගත හැකිය. ඒවා ඩයස්පෝරා ප්‍රේක්ෂකයන් සඳහා වන වඩාත් සියුම් සෞන්දර්යාත්මක අත්දැකීම් බවට පරිවර්තනය කරන ආකාරය හඳුනාගත හැකිය. මේ අනුව සෞන්දර්යාත්මක සතුට යනු සංස්කෘතික මතකය සහ තමන්ගේ උරුම සංස්කෘතියට අයත් වීම සමඟ අන්තර් සම්බන්ධව ක්‍රියාත්මක වන ආකාරය ද මෙයින් හෙළි වේ.

නුතන සමාජ මාධ්‍ය අවකාශය සහ එකී වැඩසටහන් අන්තර්ගත දෙස බැලීමේ දී පෙනෙන්නේ සෞන්දර්යාත්මක අන්තර්ගත නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ හැකියාව මෙම මාධ්‍ය අවකාශයේ වඩා ප්‍රජාතන්ත්‍රීකරණයකට ලක් වූ දෙයක් වන බවයි. නමුත්, එය තවමත් කෘත්‍රිමව විවිධ අවශ්‍යතා මත සකස් කරන ලද ඇල්ගොරිතම ධූරාවලි මගින් පාලනය වේ. සමේ වර්ණ, ඔප දැමූ දෘශ්‍ය හෝ විෂමජාතීය ආඛ්‍යාන යනාදී වේදිකා-හිතකාමී සෞන්දර්යයට අනුකූල වන නිර්මාණකරුවෝ බොහෝ විට දෘශ්‍යතාව සහ මුදල් ඉපැයීමේදී වරප්‍රසාද ලත් අය වෙති.


advertistmentadvertistment