සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනය නංවාලීම සඳහා Hemas සහ SLIIT අත්වැල් බැඳගනී

34

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම අරමුණු කරගත් විශේෂ ගිවිසුමකට පසුගියදා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ Sri Lanka Institute of Information Technology (SLIIT) විසින් අත්සන් තබන ලදී. මේ යටතේ SLIIT-HEMAS Allied Health Sciences Institute (SHAHSI) නමින් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට නියමිත අතර, එම ආයතනය මගින් නවීන ලෝකයට ගැළපෙන හෙද සේවා සහ සම සෞඛ්‍ය විද්‍යා අධ්‍යාපනයක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලබාදෙනු ඇත. මෙහි පළමු ශිෂ්‍ය කණ්ඩායම 2024 ඔක්තෝබර් මාසයේදී බඳවාගනු ලැබීමට නියමිත වන අතර, එම කණ්ඩායමට 300 කට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ඇතුළත් වනු ඇත.

මෙය පෞද්ගලික සෞඛ්‍ය සේවා ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් Hemas Hospitals සතු විශේෂඥ දැනුම සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් SLIIT සතු දීර්ඝකාලීන පළපුරුද්ද එක්තැන් කරන සුවිශේෂී පියවරකි. මෙම හවුල්කාරීත්වය යටතේ සම සෞඛ්‍ය විද්‍යා විෂයන් ආවරණය කරන, පුළුල් පරාසයක විහිදුණු පාඨමාලා එකතුවක් හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබෙනු ඇත. සම සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සඳහා මේ වනවිට ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතී. එබැවින් මෙම හවුල්කාරීත්වය, මෙරට මෙන්ම ලොව පුරා පවතින සම සෞඛ්‍ය වෘත්තික හිඟය පියවීම සඳහා තබන ලද සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

හෙද හෙදියන්ගේ සහ අනෙකුත් වෘත්තිකයන්ගේ දැනුම වැඩිදියුණු වන ආකාරයට මෙම පාඨමාලා සැලසුම් කර ඇති අතර, අදාළ විෂයන් සම්බන්ධ ප්‍රවීණ ආචාර්යවරුන් සහ විශේෂඥයන් මෙම පාඨමාලාවල ඉගැන්වීම් හා පුහුණු කටයුතු සිදුකරනු ඇත. සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැරව, පාඨමාලා හදාරන්නන්ට ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ දැනුමක් හා ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම SHAHSI ආයතනයේ අරමුණ වී තිබේ. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ Deakin University සහ එක්සත් රාජධානියේ Liverpool John Moores University සමග එක්ව පිරිනමනු ලබන පාඨමාලා එකතුවක් SHAHSI හිදී හැදෑරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවස්ථාව ලැබෙනු ඇති අතර, හෙද පාඨමාලාවට තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ NVQ Level 6 සුදුසුකම් මට්ටම හිමි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment