සයනයිඩ් කෑවත් නොමැරෙන ජනතාවක්

1465

මුළුමහත් ශ්‍රී ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයක ජනගහනයම භීතියෙන් නිර්වින්දනය කරන පුවතක්  දැනගන්නට තිබේ. ඒ වූකලී 2011 සිට 2020 දක්වා කාලය තුළ මේ රටේ රෝගීන් වෙත ලබා දුන් ඖෂධවලින් 99% ක්ම තත්ත්වයෙන් බාල බවය. ඉහත සඳහන් විපත හෙළිදරව් කරන ලද්දේ රජයේ ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව මගිනි. මේ ආකාරයෙන් තත්ත්වයෙන් බාල නමුත් ලංකාවට ගෙන්වා රෝගීන්ට දෙන ලද එක්තරා ඖෂධයක් සඳහා රුපියල් මිලියන 6259 ක් ආණ්ඩුව වැය කර තිබේ. එම මුදල් සැපයුම්කරුවන්ගෙන් ද අයකර ගැනීමට නොහැකි වී ඇත්තේ මේ රටේ ජනයා විසින් එම බෙහෙත් බී අවසන් නිසා විය යුතුය. මේ බෙහෙත්වලින් කී දෙනෙක් මළාද කී දෙනෙක් ආබාධිත වී ද කී දෙනකුගේ වකුගඩු සහ ලිවර් එක විනාශයට පත්වීද යනාදිය ගැන කිසිදු ගණන් හිලව්වක් නැත. එවැනි විගණනයක් කිරීමට අවශ්‍ය විශ්ලේෂණ පහසුකම් තවමත් මේ රටේ නැත. එහෙත් මෙවැනි දෙයක් යුරෝපයේ සිදු වූයේ නම් එකී විපතේ වෝහාරික විගණනයක් සති කිහිපයක් තුළ කළ හැකි අතර එමගින් සිදු වූ මූල්‍යමය පාඩුව පවා ගණන් බැලීමට පුළුවන. මේ පිළිබඳ ඉතිහාසගත උදාහරණයක් කියමු. ගර්භණී සමයේදී නිතර වමනය දැමීමට සිදුවීමෙන් ගර්භණී කාන්තාවෝ ඉමහත් දුෂ්කරතාවයට පත්වෙති. ඒ නිසා එක්දහස් නවසිය පනස් ගණන්වල මුලදී බටහිර ජර්මනියේ බෙහෙත් සමාගමක් ගර්භණී කාන්තාවන්ගේ වමන අසහනය නැවැත්වීම සඳහා ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පර්යේෂණ පවත්වන්නට වූහ. ඒ අනුව Thalidomide යන ඖෂධීය නාමය සහිත බෙහෙතක් සොයා ගැනීමට හැකි විය. මෙය විවිධ වෙළෙඳ නාම යටතේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලදී. එහෙත් මේ බෙහෙත ඉතා භයානක පසු ප්‍රතිපල දෙන බෙහෙතක් බව අවුරුදු තුනකට පසු හෙළිවිය. මේ ඖෂධයේ ප්‍රධානම බලපෑම සිදු වූයේ දරු කලලයට ය. ඖෂධය පාවිච්චි කළ මව්වරු අංගවිකල දරුවන් ප්‍රසූත කළහ. ඒ අතර සමහර මව්වරුන්ට පිළිකාව වැළඳිණ. තවත් ගැබිනි මව්වරුන්ට රුධිරය කැටි ගැසීමේ රෝගයක් වැළඳිණ. මේ සියලු තොරතුරු සොයා ගන්නා ලද්දේ ජර්මන් ආණ්ඩුව විසිනි. ඒ අනුව 1961 දී මේ ඖෂධය නිපදවීම සහ පාවිච්චි කිරීම තහනම් කරන ලදී. ඉන්පසු ඖෂධයේ හානිය පිළිබඳ වෝහාරික විගණනයක් ආරම්භ විය. විගණන වාර්තාවට අනුව තැලිඩොමයිඩ් පාවිච්චි කිරීම නිසා යුරෝපයේ මව්වරුන් දස දහසකට මාරාන්තික හානි සිදුවී තිබිණ. එමගින් අංගවිකල දරුවන් දස දහසකට වඩා උපත ලබා තිබිණ. ඉන් 40% ක් උපන් ගමන්ම මිය ගියහ. ඉතිරි සියලුම දරුවන් අත් පාවල, ඇස්වල, මෞත්‍රවාහිනී පද්ධතියේ සහ හෘදයේ අබල දුබලකම් සහිත රෝගී දරුවෝ වූහ. මේ ඖෂධය තවමත් පාවිච්චි කරනු ලැබේ. ඒ ගැබිනි මව්වරුන්ට වමනය වීම වළක්වා ගැනීමට නොව පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ය. ඖෂධයෙන් වූ හානිය ගැන වෝහාරික විගණනය යන අතරතුර යුරෝපයේ රටවල් කිහිපයක්ම මේ ඖෂධය සම්බන්ධයෙන් කළ ගැඹුරු පරීක්ෂණ මගින් ඔප්පු වී තිබුණේ එය පිළිකා සෛල විනාශ කරන ඖෂධයක් හැටියට ය. ඖෂධය නිසි ලෙස පරීක්ෂා කිරීමටත් එහි අතුරු ආබාධ හෙවත් Contra Indications ගණනය කිරීමට පෙරත් මව්වරුන්ගේ වමනය වැළැක්වීම සඳහා යැයි කියමින් වෙළෙඳපොළට මුදාහළ නිසා එය පාවිච්චි කළ ගැබිනි මව්වරුන්ගේ කලලවල සෛල විනාශ වී තිබිණ. හානියට පත්වූ මව්වරුන් වෙනුවෙන් සහ මියගිය දරුවන් වෙනුවෙන් ඩොලර් බිලියන ගණනක වන්දි ගෙවීමට බෙහෙත් සමාගම්වලට සිදුවීමෙන් පසු මේ සිද්ධිය පිළිබඳ ෆයිල් එක වසා දමන ලදි.

 දැන් අප විසින් කරනු ලැබිය යුත්තේ යුරෝපයේ තත්ත්වය සහ ලංකාවේ තත්ත්වය අතර වෙනස නිකමට මෙන් ගණන් හැදීම පමණි. තැලිඩොමයිඩ්වල හානිකර බලපෑම අවුරුදු 3 ක් තුළ හෙළිකර ගැනීමට යුරෝපයේ සෞඛ්‍ය බලධාරීන්ට හැකි විය. එහෙත් 2011 සිට 2020 දක්වා මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක ජනගහනය පාවිච්චි කළ කුණු වූ බෙහෙත් සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට කාටවත් හැකිවී නැත. 2011 සිට 2019 දක්වා මේ රටේ ආණ්ඩු දෙකක් තිබිණ. සෞඛ්‍ය ඇමැතිලාත් කිහිපදෙනෙක්ම විටින් විට පත්වූහ. ඒ අවුරුදු 9 තුළම රජයේ මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානය ද ඒ ආකාරයෙන්ම තිබිණ. එහෙත් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මේ බව ප්‍රසිද්ධියට පත්කරන තුරු මේ රටේ එක දොස්තර කෙනෙක්වත් කට ඇර මේ බවක් කිව්වේ නැත. චැනල් සේවයේ එල්ලී ලෙඩුන් සූරා කන පල් හොර දොස්තර රෑනක් මේ රට තුළ බෝවී සිටිති. ඉස්පිරිතාලයෙන් පැන විත් උන් ප්‍රයිවට් චැනල් සේවයට රිංගන්නේ එක රෝගියකුගෙන් චැනල් ගාස්තු ලෙස රුපියල් 2000 සිට රුපියල් 5000 දක්වා අය කරමිනි. ඊළඟට ඔවුන් දෙන බෙහෙත් වට්ටෝරුව ඖෂධීය නාමයෙන් නොව වෙළෙඳ නාමයෙන් යුතු බෙහෙත් සමූහයකින් සමන්විත ය. මේ බෙහෙත් වට්ටෝරුව ඒ හැටියෙන්ම ගත්තොත් රුපියල් දහ පහළොස් දාහක් ෆාමසියට ගෙවන්නට ලෙඩාට සිදුවේ. එයට හේතුව ඖෂධීය නාමයෙන් එන බෙහෙත් මිලෙන් අඩු වීමත් එම බෙහෙතම වෙළෙඳ නාම යටතේ එන විට මිල වැඩි

 වීමත් ය. මේ නිසා ලෙඩා නිතරම කල්පනා කරන්නේ දොස්තර සහ බෙහෙත් කොම්පැනි පොහොසත් නොකර මිය යෑමට හැකි නම් කෙතරම් යහපත්ද යන්නය. එහෙත් අපට ඕනෑ වෙලාවට මිය යෑමට නිදහසක් අපට නැත. එය තීරණය කරන්නේ පවුලේ සාමාජිකයන් සහ ඉරණම විසිනි. අන්තිමේදී ලෙඩට බෙහෙත් කොට බංකොලොත් වූ ලෙඩා මහ පාරේ හිඟාකන විට ඔහුට රුපියල් 2 ක ආධාරයක් කර වොල්වෝ හෝ බෙන්ස් රියෙහි නැගී ස්වකීය එපාර්ට්මන්ට් එකට යෑමට චැනල් දොස්තරට පුළුවන.

 අවුරුදු 9 ක් තිස්සේ නරක් වූ බෙහෙත් පාවිච්චි කිරීම නිසා මේ රටේ කී දෙනකුගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් විනාශ වී ඇත්දැයි අප දන්නේ නැත. එය කවදාවත් සොයා ගැනීමට ලැබෙන්නේ ද නැත. අනෙක මේවාට එරෙහි වීමට දොස්තරලා බහුතරය කැමතිද නැත. ඕන නැති වැඩ කරන්නට ගිහින් බෙහෙත් කොම්පැනිකාරයන් දොස්තරලා සමග තරහ වුණොත් එතන පාඩුවත් අපටම ය. මන්ද බෙහෙත් කොම්පැනියෙන් තවදුරටත් ජරාව නොඑන නිසා දොස්තර අපෙන් අය කරන චැනල් ගාස්තුව තවත් වැඩි කරනවා ඇත. ලොකුම වැඩේ මේකයි. කුණු වූ බෙහෙත් නොව සයනයිඩ් කෑවත් නොමැරෙන ජනතාවක් මෙහි ජීවත් වීමයි.


advertistmentadvertistment