සරත් ෆොන්සේකා සමග ඉදිරි කටයුතු ගැන එකඟතාවයකට පැමිණියා

202

සජබ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක

පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග යම් සීමා ඔස්සේ ඉදිරියට කටයුතු කිරීමට එකඟතාවයකට පැමිණි බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය. හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (30දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය.

රටේ මේ වන විට අර්බුද ගණනාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. මිනිස්සුන්ට ජීවත්වීමට තිබෙන සහනදායි තත්ත්වය ඉක්මවලා ගිහින් මිනිස්සු දැඩි පීඩනකාරී තත්ත්වයට පත්වෙලා සිටිනවා. ඒ පීඩනය අඩු කිරීමට ආණ්ඩුව සහන දෙනවා වෙනුවට ජනතාවට ලබාදෙන පීඩනය වැඩි කරන්න ආණ්ඩුව විවිධ පියවර ගනිමින් ඉන්නවා. විදුලිබිල වැඩි කරන්න ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්මය තීන්දුවට රටේ ජනතාව කිසිසේත් එකඟවෙන්නෙ නෑ. විදුලිබිල සියයට 400 කින් පමණ මේ වනවිට වැඩිවෙලා තිබෙනවා. ඒ අතර පළමු වැනිදා සිට ඉන්ධන මිලේ සංශෝධනයක් පිළිබඳ කතාබහක් ඇතිවෙලා තිබෙනවා. නැවත වතාවක් ගෑස් මිල වැඩි කරන බවද ගෑස් සමාගම් සඳහන් කර තිබෙනවා. මිනිසුන්ට බලපාන අත්‍යාවශ්‍ය දේවල්වල මිල ඉහළ දැමීම හරහා රටේ ජනතාවගේ ජීවන තත්ත්වයට අත්වන භයානක තත්ත්වය පිළිබඳ ආණ්ඩුව තේරුම් ගෙන සිටිනවාද කියන කාරණය අපහැදිලියි.

මේ වනවිට විශාල උද්ඝෝෂණ රැල්ලක් රට පුරා පැතිරෙමින් තිබෙනවා. විදුලිබිල වැඩි වීම, වැඩි වෙන්න නියමිත ගෑස්මිල ඉන්ධන මිලට විරුද්ධව ජනතාව මේ වනවිට පාරට බැහැලා තිබෙනවා. විදුලි බල නිෂ්පාදනය සඳහා යන වියදම වැඩියි කියලා ආණ්ඩුවට තර්ක කරන්න බෑ. මේ වනවිට විදුලිබලය නිෂ්පාදනය කරන ජලාශවල ජල මට්ටම පිරිලා ඉතිරිලා තිබෙනවා. ආණ්ඩුවට විදුලිය මිලදී ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය තරම් විදුලිය බෙදා හරින්න සම්පත් තිබෙනවා. මේ වගේ අවස්ථාවක විදුලිය වැඩි වෙනවා කියලා ආණ්ඩුවට කියන්න බෑ. විදුලි බල මණ්ඩලයේ පාඩුවේ බර රටේ ජනතාව දැරිය යුතුයි කියලා ආණ්ඩුව තර්ක කරනවා නම් ඒක සම්පූර්ණයෙන් වැරදි දෙයක්. විදුලිබල මණ්ඩලයේ නාස්තිය දූෂණය හොරකම අඩු කරන්න ක්‍රියා කරනවා වෙනුවට ඒවා සහතික කරමින් ඒ බරත් ජනතාව පිට පටවන්න ආණ්ඩුව සූදානම් වෙනවා. මේ ක්‍රියා කලාපයට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය දැඩි විරෝධයක් පළ කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුත් කියනවා විදුලිබිල වැඩියි ජනතාවට දරන්න බෑ කියලා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කියනවා විදුලි බිල වැඩි කියලා. ආණ්ඩුව කරන්නේ සමගි ජනබලවේගය නෙවෙයිනේ. ඒ ගැන ජනාධිපතිවරයාට කියන්න ඔවුන්ට පුලු‍වන් වෙන්න ඕන. ඒක කරන්න ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට නොහැකි වෙලා තියෙනවා.

2024 අයවැය ලේඛනය ලබන මාසයේ 13 වැනිදා ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ලබන මාසයේ ඉදිරිපත් කරන අයවැය ලේඛනය ගැන විවිධ කතා මේවනවිට පැතිරෙමින් තිබෙනවා. ආණ්ඩුවේ ඇතැම් පිරිස් කියනවා රටට සහනදායි අයවැයක් ගේනවා කියලා. ඒක රටේ ජනතාව හැමදාම අහන කතාවක්. සහනදායි අයවැයක් ගේනවානම් මුලින්ම කළ යුත්තේ ජනතාවගේ ජීවන වියදම වැඩිවෙලා තිබෙන තත්ත්වයක එය පාලනය කිරීමට උපායමාර්ගික පියවරක් අනුගමනය කිරීම. ආණ්ඩුවට 2024 අයවැය ලේඛනය හරහා රටේ ජනතාවට යම් සහනදායි පියවරකට අවතීරණය වෙන්න පුලු‍වන් කියලා විශ්වාස කරන්නේ නෑ. රටේ ජනතාව 2019 සිට මේ දක්වා විවිධ කාරණා ඔස්සේ පීඩාවට පත්වෙලා තිබෙනවා. ආණ්ඩුව රට යම් තරමක් දුරට ස්ථාවර කළා කියලා පම්පෝරි ගහන නිසා 2024 දීවත් ජනතාවට සහනයක් දෙන්න පුලු‍වන් විදිහේ අයවැය ලේඛනයක් සකස් කරන්න. මුදල් රාජ්‍ය ඇමැති කියනවා අලු‍ත් බදු ගණනාවක් හදුන්වලා දෙනවා කියලා. ඒ බදු සමාන්‍ය ජනතාවට බලපාන්නේ නෑ කියල් මුදල් රාජ්‍ය ඇමැති කියනවා. නමුත් ඒ කතා බොරු. බදු ගහපු හැම අවස්ථාවකම ආණ්ඩුව කියන්නේ මේ කතාව. නමුත් අවසානයේ බදුවල මුලු‍ බර සාමාන්‍ය ජනතාව මත පැටවෙන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා.

ආණ්ඩුවෙන් අපි ඉල්ලන්නේ රටේ ජනතාවට සහනයක් ලැබෙන පරිදි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න කියලා. රටේ ආදායම, නිෂ්පාදන වැඩි වන ආකාරයට අය වැය ලේඛනය ඉදිරිපත් කරන්න. එසේ නැති වුණොත් 2024 2025 ජනතාවගේ ආදායම් බිඳ වැටිලා වියදම වැඩිවෙන්න ඉඩකඩ තිබෙනවා. ආණ්ඩුව හදිසි කැබිනට් සංශෝධනයක් සිදුකළා.

සෞඛ්‍ය ඇමැතිවරයා පරිසර ඇමැති කරලා ආණ්ඩුව හැදුවා කියලා කියන්න සූදානම් වෙනවා. සෞඛ්‍ය ඇමැතිවරයාට විරුද්ධව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය විශ්වාසභංග යෝජනාව ගෙනාපු වෙලාවේ පොහොට්ටුවේ පිරිස කිව්වේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිඳු වංචාවක්, දූෂණයක්, බාල බෙහෙත් ගෙන්වීමක් සිදුවෙලා නෑ කියලා. නමුත් විපක්ෂය ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කරන අවස්ථාවේ ඒ කරුණු පිලිගන්නේ නැතුව තවදුරටත් ඒ විශ්වාසය ඇමැතිවරයා සතුව තිබෙනවා කියලා පාර්ලිමේන්තුවේ 113 දෙනෙක් සහතික කළා. නමුත් අද වනවිට ජනාධිපතිවරයා පිළිගෙන තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල බිඳවැටීමක් තිබෙනවා කියලා. ඒ නිසා තමයි ඇමැතිකම මාරු කළේ. හිටපු සෞඛ්‍ය ඇමැති සාර්ථක නම් මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නෑනේ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment