සරසවි සිසුවියගේ පරිගණකය සොරාගත් සැකකාර සිසුවියට ඇප

215

සරසවි සිසුවියක සතු රුපියල් ලක්ෂයකට අධික වටිනාකමැති පරිගණකයක් සොරකම් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද තවත් සරසවි සිසුවියක රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය පෙරේදා (13 වැනිදා) නියම කළාය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි තවත් සරසවි සිසුවියකි. සැකකාර සරසවි සිසුවිය හා පරිගණකය හිමි සරසවි සිසුවිය කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ එකම කාමරයක නවාතැන් ගෙන සිටින සරසවි සිසුවියන් වන බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේය. එහිදී එම නේවාසිකාගාර කාමරයේ කිසිවකු නැති අවස්ථාවක සැකකාරිය විසින් එම පරිගණකය සොරකම්කොට කුරුණෑගල ප්‍රදේශයට විකුණා තිබී සොයා ගත් බවට අධිකරණයේ සඳහන් විණි. වැඩිදුර විභාගය ලබන ජූලි මස 30 වැනි දිනට කල් තැබීය. කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. රෝභණ නන්දසිරි මහතා විසින් අත්අඩංගුවට ගත් එම සැකකාර සරසවි සිසුවිය එහි නඩු මෙහෙයුම් අංශයේ පො.සැ. අරුණ කුමාර (27909), පො.කො. වරුන් වන රත්නායක (90071) හා කුලසිංහ (10789) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කළහ.

දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment