සර්පින් කී‍්‍රඩාවට ලෝකයේ හතරවන ස්ථානය හිමි  – අරුගම්බෙ වෙරළටත් කණකොකා හඩන ලකුණු

76

විශාල ඉඩම්  කොල්ලයක:  බලධාරීහු නිහඩයි

අරුගම්බෙ කියන්නේ කොළඹ සිට කිලෝමීටර් 320ක පමණ දුරින් පොතුවිල් නගරයේ සිට කිලෝමීටර් 4ක් නැගෙනහිර දෙසින් පිහිටි ඉතාමත් අලංකාර වෙරළ තීරයක ජල ක‍්‍රීඩා, එහෙමත් නැත්නම් සර්පින් ක‍්‍රීඩාව සඳහා ලෝකයේ වෙරළ තීරයන් අතරින් අරුගම්බෙ වෙරළට හිමිව ඇත්තේ හතරවන ස්ථානයයි. එම නිසාම ලෝකයේ බොහෝ සංචාරකයන් ජල ක‍්‍රීඩා පුහුණු වීම් සඳහා ද තෝරාගන්නේ අරුගම්බේ වෙරළ තීරයයි. මේ නිසා මෙම වෙරළ තීරය සංචාරකයන් ගේ තෝතැන්නක් බවට පත්වී ඇත. විදෙස් සංචාරකයන් පමණක් නොව දේශීය සංචාරකයන්ද මෙම වෙරළ තීරයට බෙහෙවින් ඇළුම් කරයි. ඒ නිසාම හැම මොහොතකම මෙම වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී පවතියි.

සර්පින් කී‍්‍රඩාවට ලෝකයේ හතරවන ස්ථානය හිමි  - අරුගම්බෙ වෙරළටත් කණකොකා හඩන ලකුණු

අරුගම්බෙ වෙරළ තීරය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වීමත් සමග එහි ඉඩම් වල වටිනාකමද ඉහළ යාම හේතුවෙන් දැන් දැන් එහි වෙරළ තීරයේ ඇති රක්ෂිතයට අයත් ඉඩම් විවිධ පුද්ගලයන් අත්පත් කරගනිමින් සිටියි. ගෝනහඩුව හඳුනාගත් රක්ෂිතයේ හෙක්ටයාර් 12ක පමණ රජයේ ඉඩම් වලට විවිධ පුද්ගලයන් අයිතිවාසිකම් කියමින් අත්පත් කර ගැනීමට වෙර දරන බවක් පසුගිය දිනවල අප එහි කළ සංචාරයකදී දැක ගැනීමට හැකි වුණි. එහි කැලෑ හෙළිකරමින් නව ඉදිකිරීම් කරමින් තිබෙන බවක්ද අපට දැක ගැනීමට හැකි වුණි.

අරුගම්බෙ පවුල් 200ක් පමණ ජීවත්වෙන අතර ඔවුන් බොහෝ දෙනකුට තවමත් තම උපන් බිම් වලට බලපත‍්‍ර නැත. බලපත‍්‍ර ගන්න ගියවිට නිලධාරීන් විවිධ කොන්දේසි දමමින් බලපත‍්‍ර ලබා දීම ප‍්‍රමාද කරන බව එහි වැසියෝ පවසති. නමුත් අනවසර ඉඩම් වලට බලපත‍්‍ර ලබාදීම කඩිනමින් කරන බවට ඔවූහු චෝදනා නඟති.

අරුගම්බෙ පදිංචි සී/ස සිංහපුර ධීවර සමූපකාර සමිතියේ ලේකම් කේ. එච්. අමරදාස මහතා- මේ ඉඩම් නිසා වෙරළ අලංකාර වෙනවා, සේම හදිසි සුනාමි අවස්ථාවක මුහුදු ජලය ගොඩ ගැලීම නතර වෙනවා. ඒ තරම් වටිනා ඉඩම් තමා මේ විනාශ කරන්නෙ. දිවා කාලයේ ඉඩම් වල කිසිවකුත් නැති වුවත් රාත‍්‍රී කාලයේ කෙසෙල් පැළ, පොල් පැළ සිටුවමින් කබානා ඉදිකරනවා. මේ තියෙන්නෙ රාති‍්‍රයේ කළ ඉදිකිරීම්. ප‍්‍රශ්නේ තියෙන්නේ මේ ඇස් දෙකට පෙනෙන දේට නීතිය ක‍්‍රියාත්මක නොවීමයි. නමුත් ඉඩම් රැක ගන්න අපි ඕනෑම කැපකිරීමක් කරන්න සුදානමින් ඉන්නේ. ඒ වගේම නිලධාරීන් එක්කෙනාට එක්කෙනා බෝල පාස් කරන බවත් අපි දන්නවා. ඒ ගැනත් අවධානයෙන් අපි ඉන්නේ.

උල්ල, සිංහපුර විහාරස්ථානයේ විහාරාධිපති ඉඳුරුවේ උපනන්ද හිමි- මම මේ විහාරස්ථානයට ආවට පස්සේ තමා මේ ඉඩම් ආරක්ෂා වුණේ. නමුත් දැන් නැවත ඉඩම් විවිධ පුද්ගලයන් අනවසරයෙන් අල්ලනවා. දැන් අලූතින් පාරකුත් හදලා. මේවා සිදු වන්නේ රාත‍්‍රී කාලයට. ඒ නිසා බලධාරීන් මැදිහත්වෙලා මෙම ඉඩම් ආරක්ෂා කරලා දෙන්න ඕනෑ.

සංචාරක ව්‍යාපාරයෙන් තම ජීවිකාව සරිකර ගන්නා කේ. එච්. තරංග මහතා-

මේ ප‍්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය රැඳිලා තිබෙන්නේ මෙම ස්වාභාවික වැලි කඳු සහ වනාන්තර මත. කොන්ක‍්‍රීට් ගොඩනැ`ගිලි වලට හිරවෙලා ඉන්න සංචාරකයන් මේ ප‍්‍රදේශ වලට එන්නේ නිදහසේ හුස්ම ගන්න. නමුත් මේවා විනාශ කරලා ගොඩනැගිලි ඉදි කළාම සංචාරකයන් එන්නැති වෙන්න පුළුවන්. ඒ වගේම මෙම කැලෑ කැපීමෙන් එහා පැත්තෙ ගම්මානෙට සුළගට වැලි ගහනවා. මුළු ගම්මානෙම වැලි වලින් වැහෙන්න පුළුවන්. ඊට පස්සෙ අලූත් ප‍්‍රශ්නයක් නිර්මාණය වෙනවා. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මෙම අනවසර අත්පත් කරගැනීම් වහාම තහනම් කරන්න කියලා. මෙය රක්ෂිතයක් කරන්න කියලා.

එස්.සුන්දරලිංගම් මහතා- දැන් දිනපතාම ඉඩම් වල අනවසර ඉදිකිරීම් සිදුවෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඔබතුමා මැදිහත්වෙලා මෙම ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක් හෝ දාලා මේ වටිනා ඉඩම් ටික ආරක්ෂා කර සංචාරක ව්‍යාපාරය රැුක දෙන්න කියලා. මේ සම්බන්ධව වෙරළ සංරක්ෂණ නිලධාරියකු සඳහන් කළේ මෙවැනි අදහසකි. අරුගම්බෙ කළපුවේ අවුරුද්ද මුළුල්ලේම ජලයෙන් යටවී ඇති කොටසකටත් සින්නක්කර ඔප්පු තියෙනවා නම් ගොඩ ඉඩම් ගැන මොන කතාද. බලපත‍්‍ර තිබෙන ඉඩම් වලට නීත්‍යානුකූලව කටයුතු කරන්න අපට අයිතියක් නෑ. මේ බලපත‍්‍ර සියල්ල ව්‍යාජ ඒවා බව වැටහෙනවා. අපට ප‍්‍රශ්නෙ මේ බලපත‍්‍ර දුන්නෙ කවුද කියලා. ඒ නිසා මුලින්ම කළ යුත්තේ මෙම බලපත‍්‍ර අවලංගු කර ඉඩම් රජයට පවරා ගැනීමයි. දැනට අපට ලැබිලා තිබෙන බලතල අනුව අපි උපරිම කටයුතු කරනවා යනුවෙනි.

ලාහුගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ- අරුගම්බෙ මුහුදේ දිය මත ලිස්සා යන ක‍්‍රීඩාවට (සර්පින්) තෝතැන්නක් වෙලා තිබෙන්නේ මෙම කැලෑව නිසා එයින් හමා එන සුළඟ. එයින් තමා මෙම සර්පින් කී‍්‍රඩාව පාලනය කරන්නේ. ඔය කැලෑව විනාශ කළා නම් සර්පින් ක‍්‍රීඩාව කරන්න බෑ. ඊට පස්සෙ සංචාරකයෝ එන්නෙ නෑ. ඒ නිසා අරුගම්බෙ සංචාරක ව්‍යාපාරය රැකෙන්න නම් මේ රක්ෂිත ප‍්‍රදේශ ආරක්ෂා කර ගත යුතුයි. මෙම රක්ෂිත ප‍්‍රදේශ පුද්ගලයන් අත්පත් කරගැනීම වැඩි වශයෙන් ආරම්භ වූයේ වන ජීවි සහ වන සම්පත් අමාත්‍යාංශය යටතේ තිබුණු ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට සහ දිසාපතිවරුන්ට පැවරීමෙන් පසුවයි. එම නිසා මෙම රක්ෂිත රැක ගැනීමට නම් අනිවාර්යෙන් නැවත ගැසට් නිවේදනයකින් වන ජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම් පැවරිය යුතුයි. අපට ලැබී ඇති බලතල අනුව මෙම රක්ෂිත රැක ගන්න උපරිමව කටයුතු කරනවා.

පානම- දිනේෂ් චන්ද්‍රපාල අම්පාර දිස්ත‍්‍රික්කයට අයත් පොතුවිල්

advertistmentadvertistment
advertistmentadvertistment