සර්වපාක්‍ෂික ආණ්ඩුවට කඹ අඳින්නේ ඇයි?

111

දැන් තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්ය. ආණ්ඩුවක් කීවාට තවමත් ස්ථාවර නැති තත්ත්වයක් පෙනෙන්නට තිබේ. සර්වපාක්‍ෂික ආණ්ඩුවක කතා ඇහෙන මුත් බොහෝ පක්‍ෂ ඊට එකඟව කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. අප ඒ ඒ පක්‍ෂ නියෝජිතයන්ගෙන් සර්වපාක්‍ෂික ආණ්ඩුව ගැන විමසුවේ එහෙයිනි. ඊට ශ්‍රීලනිපයෙන් වීරකුමාර දිසානායක ද, සජබයෙන් ලක්‍ෂමන් කිරිඇල්ලද, ජාජබයෙන් හරිනි අමරසූරියද, 47 සේනාංකයෙන් කරු පරණවිතානද අදහස් දැක්වීමට එකතුවිය. මේ ඔවුන්ගේ කතාබහය.

විපක්‍ෂ නායකවරයා මේ ආණ්ඩුව පෙරළන්නේ නෑ!
ශ්‍රී.ල.නි.ප. මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්ඡා මේසයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අවතීර්ණ වෙලා. පෙර පැවති විරෝධයෙන් ඈත්ව දැන් ඔබේ පක්ෂයත් සර්ව පාක්ෂික ආණ්ඩුවක කොටස්කරුවන් වෙන්න ද හදන්නෙ?

සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදීමේ යෝජනාව පළමු වතාවට ගේන්නෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා. මේ ප්‍රශ්නය එන්නත් ඉස්සෙල්ලා අපේ පැවති සෑම රැස්වීමකදිම මේ සර්වපාක්ෂික ආණ්ඩුව ගැන කතාව සාකච්ඡාවකට ගන්න කියල අපි කිව්වා. ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අපේ පක්ෂය කිව්වා. ඒක විශාල කාලයක් ඇදල තමයි සර්වපාක්ෂික එකතුවක් හැදුවේ. නමුත් ඒ එකතුව සාර්ථක වුණෙත් නෑ. වර්තමාන ජනාධිපතිතුමා සාර්ථක ලෙස මේ සඳහා ප්‍රවේශ වෙයිද කියල තාම අපිට කියන්න බෑ. එහෙම සද්භාවයෙන් අවංක ප්‍රවේශයක් ආවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒක මග හරින්න කිසිම අවශ්‍යතාවයකුත් නෑ.

සර්ව පාක්ෂික ආණ්ඩුව හැදීමේ මුල් යෝජනාව ශ්‍රී ල. නි. ප. එකක් නම් එය මොනවගේ කාලයක් සහ කුමක් අරමුණු කරගෙනද ගොඩ නැගෙන්න ඕන?

දැන් තියෙන්නෙ කෙටි කාලීනව රටේ තියෙන මූලික ප්‍රශ්න ටික විසඳන්නනෙ. ඒකට සියලුම පක්ෂ එකතුවෙලා මේ මහජනයා පෙළෙන ප්‍රධාන ප්‍රශ්න ටිකට උත්තරයක් හදාගන්න. ඒක කරල රට ස්ථාවර වුණාට පස්සෙ මැතිවරණයකට ගිහින් පැහැදිලි ජනවරමක් ගන්න කණ්ඩායම මේ රටේ තියෙන ඉතුරු ප්‍රශ්න ටික විසඳන්න මැදිහත් වෙන්න. ඕක තමයි අපේ යෝජනාව.

ඔබේ පක්ෂය හදිසි නීතියට එරෙහිව ඡන්දය භාවිතා කළේ. මේ වෙලාවේ හදිසි නීතිය පැනවීම පිළිබඳ පක්ෂයේ මතය මොකක්ද?

පැහැදිලිවම මේ වෙලාවේ හදිසි නීතිය පනවන්නෙම මේ රටේ පැන නැගුණ අරගලයේ නියැළුන ජනතාව මර්දනය කිරීම සඳහා කියන එක පැහැදිලියි. ජනතාව කන්න බොන්න නැතිව ඉල්ලද්දි අපි ඒකට නීති පනවල ඒ ප්‍රශ්නය විසඳන්න බෑ. ළමයෙක් බඩගිනි කියල කෑ ගහද්දි අම්මා හරි තාත්තා හරි වේවැල ගන්නවා වගේ වැඩක් මේ. අනික හොඳට බලන්න මේකෙ තියෙන දේශපාලන රංගනය දිහා. හදිසි නීතිය කියන බෝලේ පාර්ලිමේන්තුවට දාලා, මේ අරගලය ෆැසිස්ට්වාදියි, මේක රාජ්‍ය බිඳ වැට්ටීමේ කුමන්ත්‍රණයක් වගේ දේ කිය කිය ගහගන්නවා. අනිත් පැත්තෙන් ජනාධිපතිතුමා සිරිකොතේ රැස්වීමක් තියල අරගලේ හරිම ලස්සනයි, ඒකෙ දක්ෂ නිර්මාණකරුවෝ ඉන්නවා වගේ ප්‍රකාශ කරනවා. හදිසි නීතිය ගැසට් එක පාර්ලිමේන්තුවට එවල එහෙම කියන්නෙ. මේක මට පේන්නෙ ජනාධිපතිතුමා සිරිකොතේ ඉඳන් වීණා වයන අතරේ පාර්ලිමේන්තුව ගිනි ගන්න අරිනවා වගේ දෙයක්.

එහෙම කරන්න මොකක්ද මෙහි තිබෙන සැඟවුණු න්‍යාය පත්‍රය?

ජනාධිපතිතුමා සිරිකොතේ ඉඳන් තමන්ගේ දේශපාලනය කරනවා. පාර්ලිමේන්තුවේ අය තමන්ගේ දේශපාලන අනන්‍යතාව නැති කරගෙන ගහ ගන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකටද මේ වගේ පාස් කරන බෝලවලට මැදිහත් වෙන්නෙ. අපිට එහෙම වෙන්න අවශ්‍යතාවක් නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ඉන්නෙ විපක්ෂයේ ද නැත්නම් වෙනම කණ්ඩායමක් විදියටද?

මේ පාර්ලිමේන්තුවේ පොහොට්ටුව ආණ්ඩුවක් හැදුවත් එකයි විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවක් හැදුවත් එකයි. තර්කානුකූලව හිතුවොත් විපක්ෂ නායකතුමා කවදාවත් ආණ්ඩුව පෙරළන්නෙ නෑ. එහෙම කළොත් විපක්ෂ නායකතුමාට හම්බවෙන්නෙ අගමැතිකම විතරයි. එතුමා වටේ ඉන්න ඔක්කොම ජනාධිපතිතුමා ළඟට ගිහින් ඇමැතිකම් ගන්නවා. ඒ ඉන්න කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ යාළුවෝ. ඒ නිසා කවදාකවත් මේ ජනාධිපතිතුමා යටතේ විපක්ෂ නායකතුමා ආණ්ඩුව වට්ටන්නෙ නෑ. අගමැතිකම ගන්නෙත් නෑ. එහෙම ගත්තොත් එදා ඉඳල සමගි ජනබලවේගයක් නෑ.

අරගලය සහ ජනතාව ඉල්ලන්නෙ පාර්ලිමේන්තු මැතිවරණයක්. මේ ගැන ශ්‍රී.ල.නි.ප මතය කුමක්ද?

බුදු බණ වුණත් අහන්න බඩගින්නෙ බෑ. ඒකයි බණ කියන්නත් කළින් කන්න දෙන්න ඕන කියල කියන්නෙ. මේ තියන තත්ත්වය තුළ මැතිවරණයකට යන්න බෑ. රජයේ සේවකයන් භාගයකට වඩා සාමාන්‍ය පරිදි තාම රැකියාවලට එන්නෙ නෑ. මැතිවරණ රාජකාරි තියා මනුස්සයෙක් රෝහලකට ගෙනියන්නත් තෙල් නෑ. මුදල් නැති එකම නෙමෙයි ප්‍රශ්නය. රටේ වැඩ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මේ තියෙන තත්ත්වය ඇතුලෙ මැතිවරණයකට යන්න බෑ. හැබැයි මේ තත්ත්වය සන්සුන් කරගත් වහාම මැතිවරණයකට යා යුතුයි.

තිස්ස ගුණතිලක

සර්වපාක්‍ෂික ආණ්ඩුවකට අපිට ආරාධනා නෑ
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක
ලක්ෂ්මන් කිරිඇල්ල

සර්වපාක්‍ෂික ආණ්ඩුවට කඹ අඳින්නේ ඇයි?

ප්‍රශ්නය- ආණ්ඩුවේ සමහර නායකයන් මෙන්ම විවිධ පාර්ශ්වයන් සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව සමගි ජනබලවේගයේ ස්ථාවරය කුමක්ද?

පිළිතුර- මේ දක්වා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපගේ පක්‍ෂයේ නායකතුමාට හෝ ලේකම්තුමාට ආරාධනය කරලා නෑ. එබඳු යෝජනාවක් ලැබුණොත් පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරලා සාකච්ඡා කරලා තීරණයක් ගන්නවා.

ප්‍රශ්නය- ආණ්ඩු පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත් වනතුරු සමගි ජනබලවේගය සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උනන්දු වන්නේ නැද්ද?

පිළිතුර- ආණ්ඩුවට සම්බන්ධ වෙන්න අපට විශේෂ උනන්දුවක් නැහැ. නමුත් රට වෙනුවෙන් අපගේ සහයෝගය ලබාදීමට සූදානම්. මට පෙනෙන ආකාරයටනම් සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පළමුවෙන්ම ආරාධනයක් තිබෙන්න ඕනි. ඒ වගේම වැඩපිළිවෙළක් තිබිය යුතුයි. මාස කිහිපයකට පෙර අරගල පටන් ගත්ත අවස්ථාවේදීත් නීතිඥ සංගමයත් සඳහන් කළා සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන්න කියලා. ඒ වගේම උගතුන්, වියතුන් ඒ පිළිබඳව සඳහන් කළා. ඔවුන් සියලුදෙනාම සඳහන් කළා සර්වපාක්‍ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් වසර එකහමාරකට පසුව මැතිවරණයක් පැවැත්විය යුතු බවත්. එබඳු වැඩපිළිවෙළක් තිබෙනවානම් අපි සර්ව පාක්‍ෂික ආණ්ඩුවකට එකතු වෙන්න කැමතියි.

මට පෙනෙන විධියටනම් මේ ආණ්ඩුව සූදානම් වන්නේ සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොවෙයි. ඔවුන් සූදානම් වන්නේ ඇමැතිකම් දීලා වෙනත් පක්‍ෂවල මන්ත්‍රීවරු කඩා ගන්න.

ප්‍රශ්නය- ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නම් සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට සූදානම් වනවා.

පිළිතුර- ඒ පිළිබඳව පුදුම වෙන්න දෙයක් නෑ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියන්නේ පොහොට්ටුවේ කොටසක්. එම පක්‍ෂයත් මේ ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස කටයුතු කළා. ඔවුනුත් මෙම ව්‍යසනයේ කොටස්කරුවන්. මෛත්‍රිපාල සිරිසේන මහතා පොහොට්ටුවේ උපසභාපති. 1948 සිට සෑම ආණ්ඩුවක්ම මොන ප්‍රශ්න තිබුණත් රට හොඳින් ආර්ථිකය කළමනාකරණය කරගෙන ගියා. නමුත් 2019 දී පොහොට්ටුව රට භාර ගත්තයින් පසුව රට බංකොලොත් වුණා.

ප්‍රශ්නය – පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රටත් ජනතාවත් මුදා ගත්තොත් පවතින ආණ්ඩුවට රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරයක් හිමිවනවා. සමගි ජනබලවේගය ආණ්ඩුවට එක්වුවහොත් එම ගෞරවයේ කොටස්කරුවන් බවට පත්වනවා නේද?

පිළිතුර- මෙම ව්‍යසනය යොදාගෙන දේශපාලනය කිරීමට අපට වුවමනාවක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ව්‍යසනයෙන් රට මුදාගන්න පුළුවන්නම් අපි එතුමාට සුබපතනවා.

ප්‍රශ්නය- ගාලුමුවදොර ප්‍රදේශයේ අඛණ්ඩව පවත්වාගෙන යන උද්ඝෝෂණය පිළිබඳව සඳහන් කිරීමේදී ඔබ එය හඳුන්වන්නේ සාමකාමී අරගලය යනුවෙන්. නමුත් පසුගිය මැයි 09 වැනිදා එම භූමියේදී ඔබගේ පක්‍ෂයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මහතාත්, ඔබගේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන එරාන් වික්‍රමරත්න මහතාත් පහර කෑමට ලක්වූවා. එසේ තිබියදී මෙම අරගලය සාමකාමී අරගලයක් යනුවෙන් හඳුන්වන්නේ කෙසේද?

පිළිතුර- මැයි 09 වැනිදා සිදුවූ එම පහරදීම් සිද්ධීන් දෙකක් පමණයි. නමුත් කවුරුත් දන්නවනේ මෙම අරගලය ආරම්භයේ සිට බොහොම වැදගත් විධියට කරගෙන ආපු බව. නමුත් මෙම ත්‍රස්තවාදය පටන් ගත්තේ කවුද? අරලියගහ මන්දිරයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එන්න කියලා හොඳට බොන්න දීලා අරගලයට ගහන්න ඇරියා. ඔයගොල්ලන්ට ඒවා අමතක වෙලාද? ඔය පහරදීම් පටන් ගන්නේ ඉන් පසුවනේ. අරගලය බොහොම වැදගත් විධියට ශිෂ්ට විධියට තමයි ආරම්භ කළේ. අපේ දරුවනුත් ඒවාට සම්බන්ධ වූණා. නමුත් පසුව අරගලයට අනවශ්‍ය බලවේග රිංගල එය විනාශ කළා. සමහර අන්තවාදී බලවේග ලකුණු දාගැනීම සඳහා අරගලයට රිංගුවා. රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වන්නේ මැතිවරණයකින් පත්වන අලුත් ආණ්ඩුවකට පමණයි. එම නිසා ජනමතය උරගා බැලීම සඳහා ඉක්මනින්ම මැතිවරණයක් පැවැත්විය යුතුයි.

එරික් ගාමිණි ජිනප්‍රිය

දැන් සර්ව පාක්‍ෂික බස් එක ගිහින් ඉවරයි!
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය

සර්වපාක්‍ෂික ආණ්ඩුවට කඹ අඳින්නේ ඇයි?

ප්‍රශ්නය – ජනමතය කෙසේ වුවත් ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් හරහා නව ජනාධිපතිවරයෙක් සහ නව රජයක් පත්ව තිබෙනවා. ඒ අතරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් තැනීම සඳහාත් තවදුරටත් අදහස් පළ වෙනවා. ඇත්තටම සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා තවදුරටත් ඉඩ ප්‍රස්තාව තිබෙනවාද?

පිළිතුර – දැන් සර්වපාක්ෂික ආණ්ඩු කතා අවසන්. ඒ බස් එක ගිහින් අවසන්. දැන් එතැනට ආපහු එන්න බැහැ. එය ඉතා පැහැදිලියි. ආණ්ඩුව තැත් කරන්නේ ඔළුගෙඩි මාරුවෙන් ලබාගත් රජය පවත්වාගෙන යන්න පමණයි.

ප්‍රශ්නය – ඒ කියන්නේ වත්මන් ආණ්ඩුවට එවැනි සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා සැබෑ අවශ්‍යතාවක් නැහැ කියන කාරණයද?

පිළිතුර – ඔවුන්ට ඒ සඳහා මුල සිටම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධුරයට සහ ඉන් අනතුරුව ජනාධිපති ධුරයට ගෙන ආවේ එම පක්ෂයේ බලය රැක ගැනීම සඳහාම පමණයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ ඉදිරි පැවැත්ම පමණයි. රාජපක්ෂ පවුලේ දේශපාලන ව්‍යාපෘතිය රැකගෙන පවත්වාගෙන යෑම පොදුජන පෙරමුණේ එකම අපේක්ෂාවයි. එවන් තත්ත්වයක් තුළ අන්තර්වාර හෝ සර්වපාක්ෂික ආණ්ඩු කතා එන්න විදියක් නැහැ.

ප්‍රශ්නය – රට බරපතළ ආර්ථික අර්බුදයකට ලක්ව අවසන්. එවන් තත්ත්වයක් තුළ වත්මන් රජයට දැන් හෝ රට ගොඩ ගැනීමේ අවංක චේතනාවක් ඇතැයි යන්න හිතන්න පුළුවන්ද?

පිළිතුර – රට ගොඩගැනීමේ කිසිදු අවංක චේතනාවක් මේ රජයට නැහැ. එය ඉතා පැහැදිලියි. ඒ ගැන කිසිම සැකයක් මට නැහැ. මොවුන්ට රටේ මිනිස්සු ගැන කිසි අදහසක් නැහැ. ඔවුන් ගැන ආණ්ඩුව හිතන්නේ නැහැ. යම් තරමකට හෝ ආණ්ඩු රටේ ජනතාව ගැන හිතුවානම් රට හෝ ජනතාව මේ තරම් අමාරු තත්ත්වයකට වැටේවිද?

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පැමිණීම පොහොට්ටුවේ බල ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මීට පෙර ඔබතුමිය සඳහන් කළා. මෙය බොහෝ දෙනෙක් සඳහන් කරන කාරණයක්. නමුත් මේ අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ බලය නංවා ගැනීම සඳහා භාවිතා කරාවි යැයි සිතන්න බැරිද?

පිළිතුර – එහෙම හිතන්න බැහැ. මට කියන්න, රනිල් වික්‍රමසිංහ හෝ රාජපක්ෂලාගේ බල ව්‍යාපෘතියේ ඇති වෙනස කුමක්ද කියලා එම ව්‍යාපෘති දෙකම එකම ව්‍යාපෘතියක් පමණයි. එහි කිසිදු වෙනසක් නැහැ. කවුරුන් හරි හිතනවා නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එජාපය නඟා සිටුවන්න මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගනීවි යැයි කියා එය වැරදියි. එජාපය නඟා සිටුවනවා කියන්නේ අර මං කිව්ව මුල් ව්‍යාපෘතියේම කොටසක්. එය පැහැදිලිව තේරුම් ගත යුතුයි. වසර 74ක් තිස්සේ එක එක ලේබල්වලින් එක එක අවතාර වගේ ඇවිත් තිබෙන්නේ එක කොටසකගේ බලය රැක ගැනීමේ එක ව්‍යාපෘතියක් පමණයි. වසර 74ක් තිස්සේ අප රටේ බලය භාවිතා වුණේ එක ප්‍රභූ පන්තියක් රැක ගැනීම සඳහායි. ඒ ව්‍යාපෘතියේ රාජපක්ෂවරු කියන්නේ එක අවතාරයක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ තවත් අවතාරයක්. එජාපය,

ශ්‍රී ල. නි. ප. පොදුජන පෙරමුණ, සජබය ලෙස මොන මොන නම්වලින් පෙනී සිටියත් ඔවුන් එක කොටසක් පමණයි.

ප්‍රශ්නය – අරගලය සුළඟක් වගේ. එහි ඇති බලය ඉමහත්. නමුත් එය මේ වනවිට ඉබාගාතේ යන බවක් පෙනෙන්න ඇති කාරණයක්. ඒ සඳහා නායකත්වයක් නැති අඩුව හොඳින්ම පෙනෙන්න තිබෙන කාරණයක්. ජ. වි. පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයට අරගලය සඳහා නායකත්වය දෙන්න හැකියාවක් නොමැතිද?

පිළිතුර – හැකියාව නැති එක නෙමෙයි. අරගලයට දේශපාලන නායකත්වයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මේ වගේ අරගල පිළිබඳ ලෝක ඉතිහාසය දෙස විපරම් කර බැලූ විට නායකත්වයක් නොමැති අරගලයන්හි අවසානය ඛේදවාචකයක්. ඒ නිසා මෙවැනි අරගල සඳහා දේශපාලන නායකත්වයක් ලබාදිය යුතුයි. ඇත්තටම තව වැදගත් දෙයක් කියන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ දිගු කාලයක් පුරා ජනතාව සමඟ කළ සාකච්ඡාවල, ප්‍රතිඵලයක් තමයි මේ අරගලය කියන්නේ. එය අපට මඟහරින්න බැහැ. අපි වසර ගණනාවක් තිස්සේ පැළ කළ පැළවල ප්‍රතිඵල තමයි මේ තිබෙන්නේ. ඒ පැළ අප වල් පැළෑටිවලින් ආරක්ෂා කරගත යුතුයි. එසේ වුවහොත් නිසි ප්‍රතිඵල නෙළාගන්න අපට හැකි වේවි.

ප්‍රශ්නය – වත්මන් ආණ්ඩුව මර්දනය ක්‍රියාත්මක කරන බව බොහෝ දෙනෙක් චෝදනා කරනවා. ඒ සඳහා හදිසි නීතිය සම්මත කරගත් බවත් ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා.

පිළිතුර- ඒ චෝදනාව අපිත් එලෙසම කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පැමිණියේ කෙසේද යන්න දැන් ඔහුට අමතක වෙලා. රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ මන්ත්‍රීවරු බලාගන්න වෙලා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු මෙහෙයවන්නේ රාජපක්ෂලා. ඔහු මේ කරන්නේ පොහොට්ටුවේ බලය ආරක්ෂා කිරීම පමණයි. ඔවුන් ව්‍යවස්ථාවට මුවාවී බලය රැක ගැනීම වෙනුවෙන් මර්දනය ක්‍රියාත්මක කරනවා. ඊට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි.

සිරිමන්ත රත්නසේකර

සර්වපාක්‍ෂික ආණ්ඩුව මෙහෙයවන්න ජාතික විධායක සභාවක් ඕනෑ
47 සේනාංකයේ සභාපති කරු පරණවිතාන

සර්වපාක්‍ෂික ආණ්ඩුවට කඹ අඳින්නේ ඇයි?

ප්‍රශ්නය – සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ඇති අවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂ විසින් මත පළ කරනවා. ඔබගේ මතය අනුව එවැනි ආණ්ඩුවකට තවදුරටත් අවස්ථාවක් තිබෙනවාද?

පිළිතුර – සර්වපාක්‍ෂික ආණ්ඩුවකට තවමත් හොඳටම ඉඩකඩ තිබෙනවා. මෙම දේශපාලන අර්බුදය මතුවූ මොහොතේ සිට එවැනි ආණ්ඩුවක් ගැන කතා වෙනවා. මොකද එය එක්තරා මට්ටමකට පවතින අර්බුදයට හොඳම අතරමැදි උත්තරයයි.

රාජපක්‍ෂ ආණ්ඩුව ගෙනගිය ආර්ථික පිළිවෙත හේතුවෙන් රට බංකොලොත් වුණා. ආණ්ඩු මාරු කිරීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට ආර්ථික හෝ දේශපාලන වාතාවරණයක් රට තුළ නැහැ. ඇත්තටම ජනතාව විරෝධාකල්ප වලින් සන්නද්ධ වෙලා ඉන්නවා මිස විකල්පවලින් සන්නද්ධ වෙලා නෙමෙයි. එවැනි තත්ත්වයක් තුළ නව ආණ්ඩුවක් පිහිටුවා ගනු ලැබුවත් එම ආණ්ඩුවටත් මෙම ඉරණමම අත්වීමට ඇති ඉඩකඩ ඉහළයි. ඒ නිසා මතුව ඇති ගින්න නිවාගෙන සාමූහික උත්සාහයකින් වැටුණු වළෙන් ගොඩ ඒමයි කළයුත්තේ.

ප්‍රශ්නය – සර්වපාක්‍ෂික ආණ්ඩුවක් බිහිකර ගැනීමේ අවස්ථා කිහිපයක් මඟ හැරුණා නොවේද?

පිළිතුර – ඔව්…. එවැනි අවස්ථා දෙක තුනක්ම මඟහැරී ගියා. ඇත්තටම සර්වපාක්‍ෂික ආණ්ඩුවක් තැනීමේ උත්සාහය අවංක විය යුතුමයි. රාජ්‍ය නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා සියලු පක්‍ෂවලට නිල ආරාධනාවක් කළ යුතුයි. තමා කරන්න යන දේ පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. ඒ වගේම පක්‍ෂ දේශපාලනය පසෙකට තල්ලු කර රට වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ඒ බව සැබෑව පෙන්විය යුතුයි. සියල්ලන්ට ප්‍රථම නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එය පළමුව පෙන්විය යුතුයි. එහෙම අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්වූ පසු ලැබුණා. අවාසනාවකට එය කෙරුණේ නැහැ.

ප්‍රශ්නය – පවතින අර්බුදය විසඳීමට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත්ද?

මෙම අර්බුදය විසඳීමට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නැහැ. එවැනි ආණ්ඩුවක් සමග තවත් දේවල් ගැටගැහෙන්න ඕන. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය එහි විශේෂයි. ජනමත විචාරණයකට නොගොස් අලුත් ව්‍යවස්ථාවකට නොගොස් එය කළ යුතුයි. එහිදී විසිදෙවන ව්‍යවස්ථා සංශෝධනය කළ හැකියි. ඒ වගේම සර්වපාක්‍ෂික ආණ්ඩුව මෙහෙයවන ජාතික විධායක සභාව වැනි ව්‍යුහයක් තිබිය යුතුයි. සැමගේ අදහස් බලගැන්වෙන්නේ එවිටයි. හැමදෙනාම ආණ්ඩුකරණයේ වගකීම ගත යුතුයි. ඊට අමතරව පොදු අවම වැඩපිළිවෙළක් සඳහා සියලු දෙනා එකඟ විය යුතුයි. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් කටයුතු නිසා මෙම තත්ත්වයන්ට යම් හානියක් සිදුව ඇතත් සර්වපාක්‍ෂික රජයක් තැනීමට ඉඩක් ඇති බව තමයි අපේ අදහස.

ප්‍රශ්නය – යම්හෙයකින් සර්වපාක්‍ෂික රජයක් බිහිවුවහොත් ඔබතුමන්ලාගේ සේනාංකය පාර්ලිමේන්තු නියෝජනය එහි වගකීමක් ගන්න සූදානම්ද

පිළිතුර – මම ඉහත සඳහන් කළ අංග ලක්‍ෂණ සහිත සර්වපාක්‍ෂික ආණ්ඩුවක් තුළ වගකීමක් ගන්න අපගේ නියෝජනය සූදානම්. එය අප මීට ප්‍රථමත් සඳහන් කළ කාරණයක්. අප පමණක් නොව පාර්ලිමේන්තුවේ සැම මේ සඳහා එක්විය යුතුයි. අප සිටිනවාද නැද්ද යන්න විශේෂ ප්‍රශ්නයක් නෙමෙයි.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ පාලනය තුළ අරගලකරුවන් මර්දනය තීව්‍ර වී ඇති බව ඇතැමුන් චෝදනා කරනවා. ජනාධිපතිවරයාගේ හැසිරීම පිළිබඳ ඔබගේ අදහස කෙසේද.

පිළිතුර – ඔහු වැඩේ වරද්දා ගන්නයි යන්නේ. මේ වගේ විශාල සමාජ කැළඹීමකින් පසු ගොඩනැගෙන ආණ්ඩුව තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ ආණ්ඩුවට මහා සානුකම්පාවත් සන්සුන් මනසත් මහජනතාවට ළෙන්ගතුකමක් ඇති ගිනි නිවන, කාටත් ආදරය හිතෙන බොහෝම යුක්තිය සාධාරණය ඇති විය යුතුයි. නමුත් අවාසානාවකට ජනාධිපතිවරයා මර්දනය හැර වෙන යමක් කරන බව පෙනෙන්න නැහැ. අරගලය මතුවුණේ ඉතාම සාමකාමීව. එය ප්‍රචණ්ඩත්වයට හැරවුණේ ජූලි 09 වැනිදා. ප්‍රචණ්ඩත්වය ඇති කිරීමේ වගකීම පොහොට්ටුවේ දේශපාලනඥයින් ගත යුතුයි. එසේ තිබියදී දැන් අරගලයට සම්බන්ධ වුණ තරුණයන්, ජනමාධ්‍යවේදීන්, සමාජ ජාලා ක්‍රියාකාරීන් හොය හොයා මර්දනය කරන්න යනවා. මෙය අන්තිම වැරදි කටයුත්තක්. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඔහුට ලැබුණු සීමිත අවස්ථාව පවා මඟහරිමින් සිටිනවා. ඔහු එතැනට පත්වුණේ කෙසේද යන්න ඔහු අමතක කරලා. ඔහු මේ වෙලාවේ කළ යුතු දේ නෙමෙයි කරමින් සිටින්නේ.. මෙහෙම ගියොත් රට හමුවේ ඇති අර්බුදයට විසඳුම් සොයන්න බැරිවේවි.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment