සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න ස ජ බය අතුළෙත් බෙදීමක්…

259

රාජිත, හර්ෂ, කබීර්, තලතා, ඉරාන්, රංජිත් ඇතුළු පිරිසක් ආණ්ඩුවට යයිද..?

පසුගිය සතිය දේශපාලනමය වශයෙන් තරමක් සන්සුන් සතියක් විය. උණුසුම් දේශපාලන මාතෘකා කීපයක් මේ සතියේත් දේශපාලන කරළිය රත් කරමින් සාකච්ඡා වුවත් වැඩි කලබැගෑනියක් නැතුවම සතිය ගෙවී ගියේය.

සාකච්ඡාවට ලක් වූ කරුණු අතර එක් උණුසුම් කාරණාවක් වූයේ අගෝස්තු 9 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව කොළඹට කැඳවා තිබූ ජන අරගලයයි.

අරගලයට හෝ අරගල බිමට නායකයෙක් හෝ ක්‍රියාන්විත මූලස්ථානයක් නැති වූවා සේම අගෝස්තු 9 වැනිදා රනිල්ට එරෙහිව පෙළ ගැසෙන්නට කොළඹට එන්නැයි කියා කැඳවීමට ද නායකයෙක් සිටියේ නැත. එක එක තැන්වල එක එක අවස්ථාවලදී අරගලයේ යෙදී සිටින පිරිස් අතර සිටි ඇතැමෙක් “මැයි නමය මයිනා ගියා, ජුනි නමය කපුටා ගියා, ජූලි නමය ගෝඨා ගියා, අගෝස්තු නමය රනිල්ව යවනවා” කියා වහසිබස් දොඩවා අනාවැකි කියා තිබුණත් අරගලයේ කිසිදු කණ්ඩායමකට ඒ සඳහා වැඩපිළිවෙළක් තිබුණේ නැත. අරගලයට උදව් උපකාර හා වියදම් කළ දෙමළ, මුස්ලිම් ව්‍යාපාරිකයෝ, නීතිඥ සංගමය, රාජ්‍ය නොවන සංවිධාන හා විවිධ විදේශීය සංවිධාන කිසිවක් රනිල් එළවීමේ සටන සඳහා වියදම් කරන්නට හෝ අනුබල දෙන්නට ඉදිරිපත් වූයේ ද නැත. මේ නිසා අගෝස්තු නව වැනිදා රනිල් එළවීම යනු හුදු සංකල්පයක් පමණක් විය. එහෙත් ඒ සඳහා කොළඹට මහ සෙනඟක් පැමිණේවි යැයි සිතූ ඇතැම් දේශපාලනඥයෝ මේ පිළිබඳ පුරෝකතන සපයනු ලැබූහ. ඒ අතර කැපී පෙනෙන දේශපාලනඥයා වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය.

අරගලය පිළිබඳ අධි තත්සේරුවකින් සිටි සරත් ෆොන්සේකා නිසැකවම ඔවුන් කොළඹට පැමිණෙනු ඇතැයි සිතා මුළු රටෙන්ම ආරාධනාවක් කළේය. ඔහු කීවේ ජූලි 9 වැනිදා ගෝඨාභය එළවන්නට කොළඹට එක් වූවා සේ අගෝස්තු 9 වැනිදා ද රනිල් එළවීම සඳහා කොළඹට පැමිණ ලෙස යි.

සරත් ෆොන්සේකා මහතා මෙම ආරාධනාව කරන විට අරගලකරුවන් සිටියේ බරපතළ ප්‍රශ්න රැසක් මැදය. ඒ වන විට දින වකවානු නියම කොට අරගල භූමියෙන් ඉවත් වන ලෙස ආණ්ඩුව පොලිසිය මගින් ඔවුන්ට නිවේදනයක් ද ලබාදී තිබිණි. ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ද ගෙන තිබිණි. අනිත් අතට අරගල භූමිය පවත්වාගෙන යෑම සඳහා ඔවුන්ට ලැබෙන ආධාර අනුබල ද දවසින් දවස පිරිහෙමින් තිබුණි. අරගලයේ නාමයෙන් මුදල් හදල් හරිහම්බ කළ ඇතැම් සමාජ ක්‍රියාකාරිකයින් ද අරගලය හැර දමා ගොස් තිබිණි.

මේ නිසා සැබැවින්ම අරගලකරුවෝ සිටියේ රනිල් එලවන්න කොළඹට එකතු වන පසුබිමක නොව, ආතක් පාතක් නැතුව අසරණ වූ පසුබිමක ය.

එහෙත් ආණ්ඩුව සහ ආරක්ෂක අංශ 9 වැනිදා වන විට සිදු වන්නේ කුමක්දැයි කියා දැඩි සැලකිල්ලෙන් යුතුව බලා සිටියහ.

● හිටපු ජනපති ගැන රනිල්ට ගෙනා යෝජනා

පසුගිය සති අන්තයේ සෙනසුරාදා ඉරිදා දෙදින තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විවේකයක් ගත්තේ නැත. ඒ වන විට ඔහුට මුහුණ දෙන්නට බරපතළ ගැටලු ගණනාවක් ම තිබුණි. චීන නැවේ අර්බුදය ඉන් එකකි. රටේ ආරක්ෂක තත්ත්වය බිඳ වැටෙන්නට නොදී නීතිය හා සාමය පවත්වාගෙන යෑම තවත් එකකි. මේ අතර බරපතළම ගැටලුව වූයේ අප මේ වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට හැකි අවම එකඟතා සහිතව හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගැනීමය. ජනාධිපතිවරයා සිය මුඛ්‍ය අවධානය ඒ කෙරෙහි යොමු කර තිබිණි.

සෙනසුරාදා ඉරිදා දින දෙකේම ඔහු සිය කාර්යාලයට ගොස් වැඩ රාජකාරි ඉටු කරමින් සිටියේය. ඒ අතරතුර සෙනසුරාදා දහවල් වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් පැමිණ ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක නිරත වූහ. හවස ඔහුට එක්තරා ගමනක් යන්නට අවශ්‍ය විය.

කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ඉත්තෑපාන ධම්මාලංකාර හිමියන් බැහැදැකීමට ඔහුට අවශ්‍ය වී තිබූ අතර ඒ සඳහා ඔහු ගියේ උන්වහන්සේ වැඩ වාසය කළ රුක්මලේ විහාරස්ථානයට ය.

“එදා ඔබ වහන්සේ අගමැතිකම ගන්න කලින් මට දුන්නු අවවාදය හරි ආකාරව පිළිපැදපු නිසා මට අද මේ රටේ ජනාධිපති වෙන්නත් පුළුවන් වුණා” මහනාහිමියන්ට වැඳ නමස්කාර කරන අතරතුර ජනාධිපතිවරයා කීවේය.

මෙම අවස්ථාවට සහභාගී වන්නට මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් ද පැමිණ සිටියහ. කතාබහ අතරතුර ජනාධිපතිවරයා ළඟට බොහෝ සේ සමීප වූ කොටපිටියේ රාහුල හිමියෝ… “මොනව වුණත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හිටපු ජනාධිපතිවරයෙක්. මේ රටට යම් සේවයක් කළ කෙනෙක්. මේ රටේ පුරවැසියෙක්. එතුමන්ටත් නිදහසේ මේ රටට ඇවිල්ලා ජීවත් වෙන්න ඉඩ අවකාශ හදලා දෙන එක අපේ යුතුකම”…. යැයි කීවේ එක්තරා අන්දමක ඉල්ලීමක් ලෙස ය. ජනාධිපතිවරයා හිස සලමින් එය පිළිගත්තා මිස කිසිවක් කියන්නට ගියේ නැත.

රටේ පවතින තත්ත්වය හා රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මහනායක හිමිවරු හා ටික වේලාවක් සාකච්ඡා කළේය.

සඳුදා දිනයේ සුපුරුදු පරිදි කාර්යාලීය වැඩ රාජකාරි ආරම්භ කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමට ද සහභාගී විය.

රටේ මූල්‍ය තත්ත්වය පාලනය කර ගැනීමට සහ අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අදාළව ඇමැති මණ්ඩලයේ දී කරුණු ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය. ජනතාවට අපහසු නොවන ලෙස බඩුමිල පවත්වා ගැනීම හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව ජනතාවට සැපයීම පිළිබඳව මෙහිදී කරුණු රැසක් සාකච්ඡා විය.

කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත්විණි. මෙහි විශේෂත්වයක් තිබිණි.

අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටු අවහිර කර වැඩ රාජකාරිවලට බාධාකාරී වන අයුරින් හැසිරීම ආරම්භ කළාට පසුව අවසන් වරට ජනාධිපති ලේකම් කාර්යාලයේ කණ්ඩායම් රැස්වීමක් පැවැත්වුණේ පසුගිය මැයි 8 වැනිදා ය. එදායින් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය කිසිදු කණ්ඩායම් රැස්වීමකට යොදා ගැනුණේ නැත. ඒ අනුව පසුගිය 8 වැනි සඳුදා පස්වරුවේ මෙම රැස්වීම පැවැත්වුණේ හරියටම මාස තුනකට පසුවය.

ජනාධිපතිවරයා රැස්වීමට පැමිණ අසුන් ගැනීමට පෙර කණ්ඩායම දෙස සිසාරා බැලුවේ වෙනදාට වඩා සහභාගිත්වයේ යම් අඩුවක් තිබූ නිසා වන්නට ඇත. ඒ මොහොතේ සභානායක ප්‍රසන්න රණතුංග නැගී සිටියේය.

“ඔබතුමාට මෙතන සහභාගිත්වයේ යම් අඩුවක් පේනවා ඇති. ඒකට හේතුවක් තියෙනවා ජනාධිපතිතුමා. හෙට ඇවිල්ලා අගෝස්තු නමය. සුවිශේෂී දවසක්. අපිත් එක්ක මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරපු අන්තිම අහිංසක මන්ත්‍රීවරයෙක් වූ අමරකීර්ති අතුකෝරල මැතිතුමාව අරගලකාර ත්‍රස්තවාදීන් විසින් තිරිසන් විදිහට මරලා දාලා හෙටට හරියටම මාස තුනයි. අද රාත්‍රියේත් හෙට දවසේත් පින්කම් රැසක් ඒ වෙනුවෙන් පැවැත්වෙනවා. අපේ මන්ත්‍රීවරු හුඟ දෙනෙක් ඒ සඳහා සහභාගී වන්න පිට ගිහිල්ලායි ඉන්නේ. ඒක නිසා අද මේ රැස්වීමට මන්ත්‍රීවරු ඇවිල්ලා අඩුයි.” ප්‍රසන්න එසේ කියද්දී මුළු සභාවේ ම සංවේදී නිහැඬියාවක් දක්නට ලැබිණි. ඒ නිහැඬියාව බිඳිමින් ප්‍රේමලාල් සී. දොලවත්ත මන්ත්‍රීවරයා කතා කළේය.

“අපි මේක හිටපු ජනාධිපතිතුමා ගෙනුත් ඉල්ලුවා. දැන් ඔබතුමා ගෙනුත් ඉන්නවා. අමරකීර්ති අතුකෝරාල මැතිතුමාගේ ඝාතනය කියන්නේ අපි අපේ ජීවිත කාලයේ දැකපු අන්තිම පහත් ම තිරිසන්ම ඝාතනය. මේ ඝාතනයට සහභාගි වුණ ත්‍රස්තවාදීන් සියලුම දෙනාට නිසි දඬුවම් ඉතා ඉක්මනින් පමුණුවන්න ඕන. පාකිස්ථානයේ ඇඟලුම් කම්හලක අපේ ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය වුණ වෙලාවේ ඒ රටේ රජය අධිකරණය හා නීතිය ක්‍රියාත්මක කරපු ආකාරය විශිෂ්ටයි. අපිත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් යොදාගෙන විශේෂ අධිකරණයක දිනපතා නඩුව අහලා අපරාධයට වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබා දෙන්න ඕන.”

මේ අවස්ථාවේ මධුර විතානගේ ද ඔහුගේ කතාව අනුමත කරමින් තවත් කරුණු ඉදිරිපත් කරන්නට විය. ඉන් පසුව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ කතා කළේය.

“මේ ඝාතනය සිද්ධ වුණ නගරය නිට්ටඹුව අයිති වෙන්නේ මගේ ආසනයට. මං මේ නගරයේ හැමෝම දන්නවා. ඔය ඝාතනය සිද්ධ වුණු ආකාරයත් මම හොයා බැලුවා. අපේ අමරකීර්ති මන්ත්‍රීතුමා ඔය ඝාතකයින් ගෙන් බේරෙන්න පාර දිගේ සිය ආරක්ෂකයත් එක්ක දුවගෙන ගිහිල්ලා ඇතුළු වුණේ නගරයේ ප්‍රසිද්ධ රෙදි කඩයකට. එහි හිමිකරුවා ත්‍රස්තවාදීන්ගෙන් මන්ත්‍රිතුමාව බේරගන්න ලොකු පරිශ්‍රමයක් දැරුවා. එතුමා මේ මන්ත්‍රිතුමාව සාප්පුවේ ඉහළ මාලයේ තියෙන තම කාමරයට දාලා වහගෙන හිටියා. පැය භාගයක් විතර එහෙම ඉන්න අතරෙ එතුමා පොලිසියට හමුදාවට හැමතැනටම කෝල් කරලා කිව්වා මන්ත්‍රීවරයෙක්ගේ ජීවිතය අනතුරක ඇවිල්ල බේරගන්න කියලා. ඒ වෙලාවේ ඒ අවට පොලිසිවල කිසිදු නිලධාරියෙක් මෙතනට ආවෙ නෑ. කිසිම ආරක්ෂක අංශයක් ආවේ නෑ. එහෙම කවුරු හරි කණ්ඩායමක් එදා එතනට ආවා නම් අදටත් අමරකීර්ති මන්ත්‍රිතුමා ජීවත් වෙනවා. මේ ඝාතනයට හවුල් වුණු අය විතරක් නෙවෙයි, මේ ඝාතනය ඔහේ සිද්ධ වෙන්න ඇරලා ඒක වළක්වගන්න ඉදිරිපත් නොවුණු අයත් වැරදිකාරයෝ. අන්න ඒ අයට විරුද්ධවත් ක්‍රියාමාර්ග ගන්න ජනාධිපතිතුමනි.”

“අධිකරණ ඇමැතිතුමා ඒ ගැන නිසි අවධානයෙන් කටයුතු කරාවි. දැනටමත් අපි බටගොඩ කොමිසම පත් කරලා තියෙන්නේ. මන්ත්‍රීවරුන්ට පළාත් සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විතරක් නෙවෙයි, ඔයගොල්ලන්ගෙ පාක්ෂිකයන්ට සාමාන්‍ය ජනතාවට වුණත් වින්දිතයින් හැටියට දැන් ඒ කොමිසම ඉදිරියේ කරුණු දක්වන්න පුළුවන්. පොලිසිය හා අධිකරණය ඒ රාජකාරි කරාවි. අසාධාරණයක් තියෙනවා නම් ඒ කොමිසමට පැමිණිලි කරන්න” රනිල් කීවේය.

“මම දැක්කා ජනාධිපති කාර්යාලයට ජනාධිපති නිල නිවසට ඇතුල් වෙලා දේපළ හානි කරපු අයගේ ඡායාරූප වගයක් ප්‍රසිද්ධ කරල තියනවා මේ අයව හොයා දෙන්න කියලා. ඊට වඩා ලේසි නැද්ද ඒ මිනිස්සුන්ව කුලප්පු කරලා කොළඹට ගෙන්නලා මහා විනාශයක් කරන්න අණ දීපු අයව අත්අඩංගුවට ගන්න එක. ඔය සරත් ෆොන්සේකාත් එහෙම එක්කෙනෙක්…” විමලවීර දිසානායක කියාගෙන ගියේය. අනතුරුව සරත් වීරසේකර නැගිට ප්‍රශ්නයක් ඇසීය.

“චීනෙන් හම්බන්තොට වරායට නැවක් එනවා. ඉන්දියාව ඒකට විරුද්ධ වෙනවා. රටක් හැටියට ජාතියක් හැටියට රජයක් හැටියට අපටත් ඒ සම්බන්ධයෙන් මතයක් තියෙන්න ඕනෑ. මොකක්ද ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය.”

ජනාධිපතිවරයා එහිදී අලි සබ්රි ඇමැතිවරයා දෙස බලමින්… “මෙතුමා තමයි ඒ ගැන දන්නේ” කියා කීවේ ය.

ඉන්පසුව අලි සබ්රි දිගු පැහැදිලි කිරීමක් කළේ මුළු ලෝක දේශපාලන බලතුලනය ම මැනවින් විස්තර කරමිනි. මෙහි දී “නොබැඳි පිළිවෙත” හැර අපට වෙනත් විදේශ ප්‍රතිපත්තියක් නැතැයි ඔහු පැහැදිලිව ප්‍රකාශ කළේය.

“අපි මොකටද ඉන්දියාවට ඕන විදිහට චීනයට තහංචි දාන්නේ. හම්බන්තොට වරාය චීනයට ලබා දීපු එකක්. ඒ වරාය ජාත්‍යන්තර වරායක්. අපි කොහොමද චීනෙන් තමුන්ගේ වරායට එන නැවකට තහංචි දාන්නේ. ඒ නැවට අයිතියක් තියෙනවා තමන්ගේ රටෙන් පාලනය වන වරායට එන්න” එසේ සුරේන් රාඝවන් අදහසට ප්‍රතිවිරුද්ධ අදහස් ද බොහෝ විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කතා කළේය.

“නෑ නෑ එහෙම එකක් නෑ. වරාය කවුරු යටතේ පාලනය වුණත් ඒ වරායට එහෙම හිතූ හිතූ හැටියේ ඇතුල් වෙන්න බෑ. වරාය පාලනය කරන්නේ හාබර් මාස්ටර්. ඔහු රජයට වගකියන නිලධාරියෙක්.” මහින්ද පැහැදිලි කළේය. දැන උගත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම එම කාරණාව ගැන අදහස් පැහැදිලි කළේය.

“එහෙම නම් මම හිතපු විදිය වැරදියි. මගේ අදහස මම ඉල්ලා අස් කරගන්නවා” සුරේන් රාඝවන් කීවේය.

● බය නැති කිරීම ගැන පොහොට්ටුවේ ස්තූතිය

පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කතා කළේය.

…බොහොම ස්තූතියි ඔබතුමාලාට. මමත් ස්තූති කරනවා. දැන් ඒ ප්‍රශ්න ඉවරයි. අපි වැරදිකාරයෝ අපරාධකාරයෝ කවුද කියලා තේරුම් අරන් වැඩ කරන්නේ. මේ පවතින ක්‍රමය වෙනස් කරන්න අරගලය කරන නිර්පාක්ෂික නිරායුධ ජනතාව ගැන ප්‍රශ්නයක් නෑ.

දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ මේ කඩා වැටුණු රට කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්න අභියෝගය. ලෝකයෙන් උදව් උපකාර ගන්න නම් අපි එකතු වෙන්න ඕන. ඒගොල්ලො සර්ව පාක්ෂික ආණ්ඩුවක් අපි හදන තුරු බලා ඉන්නවා. මම මේ දවස්වල දිගින් දිගටම විවිධ පක්ෂ සමඟ මේ ගැන සාකච්ඡා කළා. සමහර පක්ෂවල ප්‍රතිචාරය ඉතා හොඳයි. හැබැයි මේ පවතින ගැටලුව අවබෝධ කරගත්තේ නැති පිරිසකුත් ඉන්නවා. ඒ පිරිස ඉන්නේ වෙන වෙනම න්‍යාය පත්‍රවල.

මම හැමතැනදිම අපේ දේශපාලනඥයන්ට ආරාධනය කළා සර්ව පාක්ෂික ආණ්ඩුවකට එන්න. සමහර අය කැමතියි. සමහර අය අපිත් එක්ක එකතු වෙන්න නැතුව පිටින් ඉඳන් උදව් කරන්න කැමතියි. කැමතිම නැති සුළු පිරිසකුත් ඉන්නවා. ඔබතුමා ලබන සතියේ පවත්වන විවාදයේ දී හැමෝටම මේ කරුණු පැහැදිලි කරලා දෙන්න. සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ආරාධනය කරන්න. හැම කතාවකදී ම එක කරන්න.”

● සර්ව පාක්ෂික ආණ්ඩුව වෙනුවට වැඩපිළිවෙළක්…

සර්ව පාක්ෂික ආණ්ඩුවක් තනා ගැනීම පසුගිය සතියේ අපේ දේශපාලන කරළියේ පැවැති ප්‍රධානම මාතෘකාව විය. මේ සතියට පෙර සතියේ ජනාධිපතිවරයාගේ ආරාධනාව පිළිගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු ලොකු කුඩා දෙමළ මුස්ලිම් පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒ වගේම ස්වාධීන වූ අනෙකුත් කණ්ඩායම් සියල්ලෝම මූලික වටයේ එකඟව සිටියහ. එහෙත් මේ සතිය වන විට එම එකඟතාවය සම්බන්ධයෙන් යම් යම් ව්‍යතිරේක හා කොන්දේසි පැන නගින්නට විය. ප්‍රධාන වශයෙන්ම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය මෙහිදී බරපතළ ප්‍රශ්න කීපයක් මතු කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා මොකක්ද වැඩපිළිවෙළ. මොකක්ද ඒ සඳහා ඇති නිශ්චිත කාලය…? සමගි ජන බලවේගය මතු කළ බරපතළම ප්‍රශ්න දෙක එයයි.

මේ සම්බන්ධයෙන් එකඟතාවයකට එන්නට සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ නියෝජිතයෝ කීප වරක් ම ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළහ. එහෙත් ඔහුට ඒ මගින් නිශ්චිත විසඳුමකට පැමිණෙන්නට හැකියාවක් ලැබුණේ නැත. සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෝ මේ සතිය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විවාදයක් ද ඉල්ලා සිටියහ. මේ සතියේ පාර්ලිමේන්තුව තුළ පැවතුණු විවාදය එයයි.

ජනාධිපතිවරයා සමග මේ ගැන කතා කළොත් සමහරක් පක්ෂ හා කණ්ඩායම් සෘජුවම ඇමැති ධුර හා වගකීම් ඉල්ලා සිටියහ. අනුර යාපා, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම්වල අදහසව තිබුණේ රට සංවර්ධනය කරන වැඩපිළිවෙළකට ආණ්ඩුව සමග එක්වී ඇමැති ධුර වරප්‍රසාද භාර නොගෙන සහයෝගය ලබා දීමට කැමති බවය. විශාල ඇමැති මණ්ඩලයක් නඩත්තු කරමින් රජයේ වියදම අධික වනවාට ඔවුන් තුළ ඇති නොකැමැත්ත ඉන් පිළිබිඹු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම සංවාදය තුළ හැසිරෙමින් තවත් අදහසක් ඉදිරිපත් කළේය. සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකතු වීමට නොහැකි අයට සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට එකතුවීමට ඇති හැකියාව ගැන ඔවුන් තුළ අදහසක් තිබිණි.

සජිත් ප්‍රේමදාසලාද ඉදිරිපත් කළේ එබඳු අදහසකි. කවුරුත් සර්ව පාක්ෂික වැඩපිළිවෙළකට අනුව එකඟවී ඉදිරියට යා යුතු බව ඔවුන්ගේ අදහස වූහ.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වූයේ මෙම වැඩපිළිවෙළ කඩිනම් කර ගැනීමටය. ඒ පිළිබඳ කොතරම් විවේචන තිබුණත් රනිල් එහිදී පුදුමාකාර ඉවසීමක් පෙන්නුම් කළේය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණට කරන ලද ආරාධනාව අනුව ජනාධිපති රනිල් ඔවුන් එනතුරු බලා සිටියත් අඟහරුවාදා පැවැති එම සාකච්ඡාවට ඔවුන් එන්නේ නැතැයි කියා ජවිපෙ සඳුදා හවසම නිවේදනයක් නිකුත් කර තිබිණි.

● සජබයේ තීන්දුව තවමත් විවාදයේ…

මේ අතර පසුගිය සතියේ මුල කොළඹ කේම්බ්‍රිජ් ටෙරසයේ නො. 30 කාර්යාලයේ සමගි ජන බලවේගයේ තීරණාත්මක රැස්වීමක් පැවැත්විණි. ඒ සඳහා පක්ෂයේ ඉහළම පෙළේ දේශපාලනඥයින් පිරිස එක්ව සිටි අතර ඔවුන් එහිදී සාකච්ඡා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවට යනවද නැද්ද කියන කාරණාව ගැනයි. සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරාල, ගයන්ත කරුණාතිලක ඇතුළු කිහිප දෙනෙක් මෙතැන සිටියහ.

“මේගොල්ලෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. හැබැයි ඒක මොකද්ද කියලා පෙන්නන්න වැඩපිළිවෙළක් සකස් වෙලා නෑ. ඒ වගේම ඒක කොච්චර කාලෙකට හදාගන්න එකමුතුවක් ද කියලා කියන්නෙත් නෑ. එහෙම පෙන්නන්න කිසිම සැලැස්මක් නැති වැඩපිළිවෙළකට එකඟවෙලා අපට මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ටික මග හරින්න බෑ. කෝ වැඩපිළිවෙළක්. කෝ කාලයක්. මේ සාකච්ඡාව එකතැන නතර වෙන්නේ ඒකයි…” සජිත් කීවේය.

“වැඩපිළිවෙළක් අපි එකතුවෙලා යෝජනා දීලා හදා ගන්න ඕන. මේ වෙලාවේ රටේ ජනතාව අපි කරන්නේ මොකක්ද කියල බලන් ඉන්නවා. අපේ රටේ තියෙන්නෙ මේ විදියට කල් ඇර ඇර බලාගෙන ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. අපි අපේ යුතුකම් කොටස ඉටුකරන තුරු ජනතාව අපි දිහා බලන් ඉන්නවා.

පහුගිය කාලේ යුද්ධය පවතින වෙලාවෙත් මම ඔය ටික කිව්වා. කවුරුවත් ගණන් ගත්තෙ නෑ. ආණ්ඩුව යුද්ධ කරද්දී අපි ඊට විරුද්ධ මතයේ හිටියා. අන්තිමේ ආණ්ඩුව යුද්දෙන් දින්නට පස්සෙ අපිට මොකද වුණේ.

මේ වෙලාවෙත් අපි මේ ප්‍රශ්නෙ විසඳගන්න උදව් කරන එක මගහැරියොත් මොකද වෙන්නේ. අපි නැතුව රනිල් වික්‍රමසිංහ මේ ප්‍රශ්නෙ කොහොම හරි විසඳගෙන ජයග්‍රහණය කළොත් අපිට ආයේ දේශපාලනයක් කරන්න පුළුවන්ද…” රාජිත ප්‍රශ්න කළේය.

“එහෙමෙයි කියල ආණ්ඩුවට අපි යන්ඩ ඕනෙ නැහැ… කරන හොඳ වැඩකට අපිට පුළුවන් එළිය ඉඳලා සහයෝගය දෙන්න…” සජිත් කීවේය.

“කවුරු ගියත් මම නං ඔය ආණ්ඩුවට යන්නේ නෑ…” කිරිඇල්ල කීවේය.

“ලකීගේ ස්ථාවරය නිවැරදියි. පිළිවෙළයි පැත්තක් ගන්න ඕනේ නෑ…” තිස්ස අත්තනායක කීවේය. එහෙත් මෙම අවස්ථාවේ හර්ෂ සිල්වා, තලතා, මද්දුම බණ්ඩාර, එරාන්, ගයන්ත ඇතුළු පිරිස සිටියේ මැද තැනකය. ආණ්ඩුවට සහභාගි වුණොත් හොඳයි යන අදහස ඔවුන් නියෝජනය කළහ.

“හරි… අපි කණ්ඩායමක් ආණ්ඩුවට ගිහිල්ලා මේ වැඩේට උදව් කරමු. ඔබතුමාල කට්ටිය විපක්ෂයේ ම ඉන්න. මේ වෙලාවේ උවමනාව වැඩපිළිවෙළක් හදාගන්න එක.” රාජිත කියද්දී සජිත් ඊට තරයේ විරෝධය පෙන්නුවේය.

“ඒක හරි කතාවක්නේ. මට විපක්ෂ නායක හැටියට ඉන්න කියලා ඕගොල්ලෝ ආණ්ඩුවට ගියාම මට සිද්ධ වෙනවා ඕගොල්ලන්වත් විවේචනය කරන්න…”

මෙම සාකච්ඡාව සමගි ජනබලවේගයේ යන අතර ජනාධිපතිවරයාට තවත් අදහසක් ඉදිරිපත් කළ පොහොට්ටුවේ කණ්ඩායමක් ද හිටියහ…

ඔවුන්ගේ අදහස වූයේ සමගි ජන බලවේගය දෙස බලාගෙන ප්‍රශ්නය තව තවත් ඔඩු දුවන්නට ඉඩ දී බලා සිටීම නොකර ආණ්ඩුව සමඟ සිටින පක්ෂ ටික සමඟ එකතු වී සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් මත බහු පාක්ෂික ආණ්ඩුවක් සාදා ගැනීම වඩාත් යහපත් බව ය.

මෙම තත්ත්වය තිබියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ දෙගිඩියාවකය. කෙසේ වෙතත් බහුතරයක් ඉල්ලා සිටියේ අන්තර්කාලීන ආණ්ඩුවකි. දැනට ආණ්ඩුවේ සිටින බහුතරයක් බලවතුන්ගේ අදහස ඊට වෙනස් එකක් විය. ජනාධිපතිවරයාගේ ඉතිරි ධුර කාලය දිගටම ආණ්ඩුව පවත්වාගෙන ගොස් ප්‍රශ්න ටික විසඳාගත් අනතුරුව මහ මැතිවරණයකට යෑම සුදුසු බව ඔවුන්ගේ අදහස වූහ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ආණ්ඩුව සඳහා වූ විවාදය පැවැත්විණි.

විවාදයේ කතා කළ බොහෝ කථිකයෝ අරගලේ ගැන ද අදහස් දැක්වූහ. ඒ සඳහා එක්තරා මාතෘකාවක් වූයේ සරත් ෆොන්සේකා මහතා පසුගිය දිනක අරගලකරුවන්ට කොළඹ එන්නැයි කියා කරන ලද ආරාධනාවයි. එම ආරාධනාව කිසිවෙක් භාරගෙන තිබූ බවක් පෙනෙන්නට තිබුණේ නැත.

කවුරුන් කෙසේ කීවත් නම වැනිදා යම්කිසි සෙනඟ පිරිසක් කොළඹට ඒ යැයි කියා ආණ්ඩුව හා ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටියහ. එහෙත් තෙල් පෝලිම් විසඳීම, ගෑස් ලැබීම, පොහොර වර්ග ගොවියාට ලැබීම, යම් යම් අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක මිල අඩුවීම වැනි කාරණා මත ජනතාවගේ පීඩනය යම්කිසි දුරකට පාලනය වී තිබිණි. එම හේතුව නිසා කවුරුන් කෙසේ කොළඹ එන්නට ආරාධනා කළත් ඒ ආරාධනාව පිළිගන්නා තැනක බහුතර සමස්ත ජනතාව සිටියේ නැති බව පැහැදිලි විය.

● තට්ටුව මාරු වූ දිනේෂ් අගමැති

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට පසුගිය සතිය ඉතාමත් කාර්යබහුල එකක් විය. ඔහුට හමුවීම් හා සාකච්ඡාවල කෙළවරක් නොවීය. මේ නිසා ඔහුට පාර්ලිමේන්තුවේ එහෙට මෙහෙට උඩට පහළට නිතර නිතර යෑමට සිදු වීම නිසා එක්තරා තට්ටු මාරුවක් ද සිදුවිය.

සාමාන්‍යයෙන් දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයෙකු නිසා බොහෝ තැන්වල දී මුල් තැන ගන්නේ ඔහුය. විදුලි සෝපානයට නැග්ගත් යෑමට අවශ්‍ය මහල තීරණය කරන්නට බොත්තම ඔබන්නට පෙරමුණ ගන්නේ ඔහුය.

ඔහු පාර්ලිමේන්තුවේ හිටපු සභානායක ය. සභානායක කාර්යාලය 1 මහලේය. වර්තමානයේ අගමැති ද ඔහුය. අගමැති කාර්යාලය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ 2 මහලේය.

කාර්ය බහුල වූ පසුගිය දවසක පාර්ලිමේන්තුවට පැමිණි අගමැතිවරයා බිම් මහලින් විදුලි සෝපානයට නැග පළමු මහල සඳහා බොත්තම එබීය. පළමු මහලේ සෝපානය නතර වූ පසු ඔහු ඉන් බැස ගත්තේය.

ඒ සැණින් ආපසු හැරී ඔහු සෝපානයට ගොඩ වූයේ ය. සෙසු මන්ත්‍රීවරු බලා සිටියේ ඔහුට කුමක් වී ද කියාය. ඔහු යා යුතු ව ඇත්තේ දෙවැනි මහලට ය. එහෙත් පුරුදු තැන ඇත්තේ පළමු මහලේ ය…

“නෑ මට තට්ටුව මාරු උනා කියමින්… දෙකටනේ යන්න ඕන… කියමින් ඔහු නිරහංකාරව සිනාසුනේය…

ඒ අතරතුර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සහ දිනේෂ් අගමැතිවරයා හමුවන්නට හදිසියේ කාර්යාලයට පැමිණියේය. විමලවීර දිසානායක, ඩී. වීරසිංහ, ජයන්ත සමරවීර, සෙල්වම් අඩෙක්කලනාදන්, කුලසිංහන් තිලීපන්, කපිල අතුකෝරාල ඇතුළු තවත් කීප දෙනෙක් එහි සිටියහ.

ඔවුන් පැමිණ සිටියේ අගමැතිවරයාට ස්තුති කරන්නට ය.

“අපි ආවේ ඔබතුමාට විශේෂ ස්තුතියක් කරන්න…

ඒ මොකක්ද විශේෂය…. ඇමතිලා අගමැතිවරයා ඇසීය.

“මෙච්චර කාලයක් අපි නියෝජනය කරන දිස්ත්‍රික්කවල ප්‍රධාන නගරය මහනගර සභාවක් කරන්න පළාත් පාලන අමාත්‍යවරයා තීන්දුවක් ගත්තේ නෑ. ඔබතුමා අගමැති හැටියටත් පළාත් පාලන ඇමැති හැටියටත් ඒ එඩිතර තීන්දුව ගත්තා ඒ ගැනයි මේ ස්තුතිය.”

සැබැවින්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පසුගිය 8 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ගෙන තිබූ තීන්දුවක් පැසසිය යුතු එකක් විය. එමගින් මෙතෙක් දිනක් නගරසභා ලෙස තිබූ කළුතර, වවුනියාව, පුත්තලම, ත්‍රිකුණාමලය, කෑගල්ල, මන්නාරම, අම්පාර යන ප්‍රධාන නගර හතක් මහනගර සභාවන් ලෙස නම් කර තිබිණි.

“මේ ගැන අපි මීට කලින් හිටපු පළාත් පාලන ඇමැතිවරුන්ගෙන් ඉල්ලීම් රැසක් කරලා තියෙනවා. ඒ උනාට ඔබතුමාට විතරයි ඒ ගැන කැක්කුමක් තිබුණා. අපේ දිස්ත්‍රික්කවලට ඒ ගෞරවය ලබා දීම ගැන අපි ඔබතුමාට ස්තුති කළ යුතුයි” මන්ත්‍රීවරු කියා සිටියහ.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment