සර්ව පාක්ෂික කතා පසෙක තබා  ජාතික වැඩපිළිවෙළකට යොමු වෙමු

164

අරගලය අවසන් වී ඇත්තේය. අරගලකරුවන් සී සී කඩ විසි වී ගොසින්ය. ඇතැමුන්ට අරගලයට මුවා වී සිදු කළ නීති විරෝධී ක්‍රියාවන්ට වග උත්තර බඳින්නට සිදු වී තිබේ. කෙසේ වුව ද අරගලයේ මුඛ්‍ය පරමාර්ථය ඉටු වී ඇතැයි කෙනකුට කියන්නට පුළුවන. එනම් පටන් ගැන්මේ සිට අරගලකරුවන් දිවා රෑ නොබලා දින සියයකටත් අධික කාලයක් එක හඬින් කියා සිටි ‘ගෝඨා ගෝ හෝම්’ හා ‘මහින්ද ගෝ හෝම්’ ඉල්ලීම හෝ වේවා විධානය හෝ වේවා එයාකාරයෙන්ම සිදු වූයේය. පළමුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා තනතුරින් ඉවත්ව ගෙදර ගියේය. එසේ ඉවත්ව යෑම හේතුවෙන් සිදු වූ නස්පැතියෙන් ‘ගෝඨා ගෝ හෝම්’ තවත් තීව්‍ර වූවාට සැක නැත. පසුව කල් යල් බලා සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගෙදරින් පමණක් නොව, රටින් ද පලා යෑමට වැඩ කටයුතු සිදු වූයේය. අද වනවිට හෙතෙම රටින් රට රැකවරණ පතා සහ ‘රාජ්‍ය තාන්ත්‍රික සරණාගතයකු’ බවට පත්ව ඇත්තේය. බලයේ හැටි ඔහොමය. ඇතිදාට ඇති වෙන්න තියෙන, නැතිදාට නැත්තට ම නැති වෙන දෙයකි බලය.

 බලය සම්බන්ධයෙන් මෙරට දේශපාලනයේ කරුණු කාරණා එසේ සිදුවෙද්දී කිසිදු බලයක් නොමැතිව ඒ අහල පහලකවත් නොසිටි රනිල් වික්‍රමසිංහ මහතා අටවන විධායක ජනාධිපතිවරයා බවට පත්ව ඇත්තේය. ඇතැමෙකුට සිදුව ඇති බල පෙරළිය සිහිනයක් සේ පෙනුන ද සිදුව ඇති සියල්ල ව්‍යවස්ථානුකූලය. සිය පළමු ප්‍රවෘත්ති ප්‍රකාශන කතාව තුළත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමා රජෙකු හෝ දෙවියෙකු හෝ නොව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ජනාධිපති බවට කළ ප්‍රකාශය කතාබහට ලක්කළ යුතු දෙයකි. මෑත යුගයේ ජනාධිපතිවරුන් පැවැත්වූ ප්‍රතිපත්ති ප්‍රකාශන අතර වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කතාව ප්‍රශස්ත මට්ටම අතින් ඉදිරියෙන් ඇති ප්‍රකාශනයක් ලෙස හැඳින්වූවාට එහි වරදක් නැත.

 ජනාධිපති ධුරයේ ජීවිත කාලයටම රැඳී සිටීමට සිතා සිටි ජනාධිපතිවරුන් අප දැක ඇත්තේය. රාජකීයත්වයක් ආරෝපණය කර ගනිමින් ඒ සඳහා තනා ගැයුණු ප්‍රශස්ථ ගීත ගායනා හා පුරසාරම් දේශනා ද අසා ඇත්තේය. ඒවාට ඓතිහාසික ආලවට්ටව් දමා බොරු බේගල් ගෙන හැර පෑ දීන බයිස් කෝප්කරුවන් ද සිටියේය. ශ්‍රීමත්, අතිගරු, උතුමාණන් උපහාසයට අපහාසයට ලක්ව කවි, ගීත, නාට්‍යක ඉදිරිපත් වූයේය. මෙයාකාරයෙන් නෙක ආලවට්ටම්වලින් විරාජමානව පවතින විධායක ජනාධිපති ධුරයේ පැතිකඩ කීපයක් දැක ගැනීමට ද මෙරට ජනතාවට හැකි වූයේය. ඒ අතර මැතිවරණයකින් තොරව පළමු ජනාධිපතිවරයාගේ පත්වීම, මැතිවරණයකින් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම බලයේ සිටි ජනාධිපතිවරයකු හදිසියේ මිය යෑම හා ඒ සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර

 ගැනීම මෙන්ම ජනාධිපතිවරයකු ඉල්ලා අස්වී රටින් ද පලා යෑම ආදී ලෙසින් ප්‍රධාන අවස්ථා කීපයක් පෙළගැස්විය හැකි වන්නේය. මේ ආදී ලෙසින් කරුණු කාරණාවලදී ප්‍රධාන භූමිකා රඟ දැක්වූ ජනාධිපතිවරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව වෙනම කතා කළ යුතු පුළුල් මාතෘකාවක් ද වන්නේය.

 විවිධ වූ කරුණු කාරණා පෙරදැරි කොට ගෙන වෙන්ව බෙදි සිටින රටක ජනතාවට පාලකයාගේ කතාව තමත් අමතන්නක් ලෙසින් හැඟෙන ආකාරයෙන් සිදුකිරීමට ජනාධිපතිවරයා උත්සාහ ගෙන ඇත්තේය. එහිදී තමන් බලයට පත් කළ පොදුජන පෙරමුණේ අදහස් හා ප්‍රතිපත්ති කෙරෙහි ඒ මහතා කිසිදු තැකීමක් කර නැත්තේය. එසේම සිය කතාව තුළින් හිටපු පාලකාධිකාරීන්ගේ හිස අතගා හීන් ටොක්කක් ඇනීමට ද ඒ මහතා අමතක නොකළේය. රට හමුවේ විහිද විසිර ඇති ආර්ථික, සමාජ හා දේශපාලනික අර්බුදයන්ට විසඳුම් සෙවීමේදී සියලු ජන කොටස්වල සහභාගීත්වය ඉතා වැදගත් සාධකයක් වන්නේය. ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් එය ඉතා මැනවින් වටහා ගත් බවත් පෙන්නුම් කරන්නේය.

 රට හමුවේ ඇති අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට මතයක් රට පුරා ඇති වන්නට පටන් ගෙන තිබේ. ඊට විරුද්ධ මත ද ඉදිරිපත් වන්නේ නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සම්බන්ධ කොටගෙන සිදු කරන ආණ්ඩු වාරණයක් මේ තුළින් සිදු කරන්නට අදහස් කර ඇත. වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවැනි ආකාරයේ ආණ්ඩුකරණයක් ගැන සිතුවේ අද ඊයේ නොව. දිගු කලක පටන් හෙතෙම මේ ගැන ඉතා උනන්දුවක් දක්වන දේශපාලන නායකයෙකි. ඉතිහාසයේ කිසිම නායකයකුට නොහැකි වූ ආකාරයේ විශ්වාස දනවන දේශපාලනයක් ඔහු තුළින් පෙන්නුම් කරන්නේය. ප්‍රතිපක්ෂ ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ අගමැති ධුරය දරන්නට හැකි වූ රනිල් වික්‍රමසිංහ මහතාට එම ප්‍රතිපක්ෂ සභානායකවරුන් දෙදෙනකු තමාට පිටුපසින් තබා ගැනීමට ද සමත් වූයේය.

 මැතිවරණ කාලවලදී එක් එක් දේශපාලන පක්ෂ එකිනෙකා පරයන ඡන්ද දායකයන් සිහින දේශන් කරා රැගෙන යන සිත් ඇද ගන්නා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනු ලබන්නේය. එකිනෙකාගේ පරායෑම කෙසේදයත් මැතිවරණයට ඔන්න මෙන්න තියා නව ප්‍රතිපත්තිය ජනතාව හමුවේ තැබීමට ඔවුහු පරිස්සම්වෙති. ඒ මුලින් ඉදිරිපත් කළ එකේ නැති නැතහොත් ඊට වැඩි දෙයක් ඉදිරිපත් කිරීමේ අරමුණින්ය. එහෙත් මෙරට කිසිම දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනයන් කියවා ජනතාව ඡන්දය ප්‍රකාශ කරන් නැති බව ඔවුහු මේ වන තෙක් නොදනිති. ඒ ඔවුන්ගේ දැනුමේ තරමය. රටේ ජනතාව හැමදාම සිදු කළේ පැවැති ආණ්ඩුව කෙරෙහි විපක්ෂයේ වෛරී අදහස් හා යෝජනා මත ඡන්දය ප්‍රකාශ කිරීමකි. යටත් විජිත පාලනයෙන් මිදී වසර 75 ක් තරම් ඉතා දිගු කාල පරාසයක් ගෙවා දමා ඇති අපට අපේ නායකකාරකාදීන් විචිත්‍රවත් ලෙසින් උත්සවශ්‍රීයෙන් අත තැබූ දේශයේ සංවර්ධන සැලසුම් අනුව අද අප සිටින්නේ කොතැනක දැයි සිතා බැලිය යුතුය. ඉදිරිපත් කළ සංවර්ධන සැලසුම්වලින් සියයට දහයක්වත් ක්‍රියාත්මක වූයේ නම් අද අපට පළමු කෙසේ වෙතත් දෙවැනි පෙළේ රටක් වීමටවත් බොහෝ ඉඩකඩ තිබිණි.

 අර්බුදයට විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවකින් සපුරා ගැනීමට අදහස් කරනවිටදී පෙර පැවැති ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න වැලක් මතුවීම වැළැක්විය නොහැකි කරුණකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට ආණ්ඩුවට එකතුවීම තුළින් පමණක් ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමක් සිදු කළ හැකි නම් ඔවුන් පසුගිය දශක හතක කාලයක් පුරාවට මෙරට ජනතාවට සිදු කර ඇත්තේ බරපතළ වංචාවකි. මුලාවකි. වෙන් වෙන් වශයෙන් සිදු කළ ආණ්ඩු වනාහි බලය හුවමාරු කර ගැනීමක් පමණක් වන්නේද? තනි දේශපාලන පක්ෂයක් ලෙසින් රට සංවර්ධනය කිරීමට යථාර්ථවාදී නිවැරදි ගමන් මඟක් ක්‍රියාවේ යෙදවීමට අසමත් නුසුදුසු සමූහයක් ඒකමතික වීමෙන් සිදු වන ව්‍යසනය සිතා ගැනීමටවත් නොහැකි තරම් වනු ඇත.

 “ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් ඔස්සේ රටත් ජාතියත් ගොඩනැංවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන ගියහොත් 2048 වසරේ 100 වැනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාවේදී රට පූර්ණ සංවර්ධිත රටක් බවට පත් කරන්නට අපට පුළුවන් වෙන බව ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශනය ගෙන හැර දක්වා ඇත. නිදහස ලබාගත් දා සිට සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ නොවුණු සිහිනය ද මෙයම වන්නේය. නිදහසේ ශත සංවත්සරයට තව වසර 25ක් ඇත්තේය. එනම් වර්ෂ 2048 දීය. ඒ වනවිට ජනාධිපතිවරයා ජීවතුන් අතර නැති බව හෙතෙම හොඳාකාරවම දන්නේය. තමන් සිටුවන ගසේ ඵල භූක්ති විඳින්නට තමන්ට හැකි නොවනු ඇතැයි වික්‍රමසිංහ මහතා සිය කතාවේදී කියා සිටියේ ඒ නිසා ම විය යුතුය. සංවර්ධිත ශ්‍රී ලංකාවක් කෙරෙහි ජනාධිපතිවරයාගේ කතාව සම්බන්ධයෙන් මැදිහත්ව බලන ජනතාවට එය තවත් එක් කතාවක් පමණක් සේ පෙනීම කිසිවෙකුට අසාධාරණීකරණයට ලක් කිරීමට නොහැකිය. ඒ මන්ද යත් ඔය කියන ආකාරයේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ඇත්තේ කොහේද? කා ළඟද? කියාය. අනෙක් අතට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය ආර්ථිකයට පමණක් නොව පෙර පාසලේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්ව සෑම සියලු ක්‍ෂේත්‍රයක්ම නියෝජනය වන පරිද්දෙන් ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු වන්නේය. ක්‍රීඩා සමාජයේ සිට සංඝ සමාජය දක්වා වූ සියලු ප්‍රතිදේහයන් කඩා වැටී පතුලට ම කිදා බැස ඇත්තේය. එසේ වූ සමාජ රාමුවක් තුළ ආර්ථිකය පමණක් ප්‍රධාන කොට ගැනීම සාර්ථක රාජ්‍යයක් කරා යන ගමනකට අත්වැල් නො සපයන්නේය.

 ජනරජයේ පළමු හා ප්‍රධානම අර්බුදය වන රාජ්‍ය ණය ගෙවා දැමීමට ගත යුතු වැඩපිළිවෙළක් ගැන කිසිදු ක්ෂේත්‍රයකින් ඇසෙන කතාවක් හෝ ඉදිරිපත් වීමක් තවම දක්නට නැත්තේය. ණය ගෙවීමට ණය ගැනීමේ ජාතික වැඩපිළිවෙළික් මිදීමක් ඇත්තේම නැතිද? එනම් පළමුව සියලු දේශපාලන පක්ෂ වෙත සකස් කළ ප්‍රතිපත්තිමය ලියවිල්ලක් ඉදිරිපත් කර ඒ සඳහා ඔවුන්ගේ ද අදහස් හා සහයෝගය ඉල්ලා සිටීම ප්‍රායෝගික වැඩපිළිවෙළක් වන්නේය. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන අයුරින් ජාතික කමිටුවක් පත් කළ හැකි වන්නේය. මහජනතාවට ද ඒ සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව දිය යුතුය. මෙවැනි ආකාරයේ ජාතික කමිටුවක් තුළින් රටේ සියලු විෂයන් හා ක්ෂේත්‍රයන් විහිද විසිර යන පරිද්දෙන් ජාතික වූ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළකට එළැඹිය හැකි වන්නේය. එවැනි වූ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩු අවශ්‍ය නොවන්නේය. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන එසේ වූ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන් නිදහසේ ශත සංවත්සරයේදී ශ්‍රී ලංකාවට සංවර්ධිත රටක් වීමට ඇති හැකියාව තවත් එක් ඓතිහාසික පුරසාරමක් හෝ සිහිනයක් නොවනු ඇත.

 ● සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment