සල්ලි කොළ මතින් උපදින තන්හා ධනය

121

පිංවත බුද්ධ විෂය ගැන ඔබ සිතන්න එපා. බුද්ධ විෂය අයිති ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාට පමණක්මයි. බෝධිසත්වයන් සාරා සංඛ කල්ප ලක්ෂ ගණනාවක් පිරූ දසපාරමී ශක්තියෙන් පෝෂණය වූ උතුම් බුද්ධ විෂය ගැන අවම වශයෙන් උතුම් සෝවාන්ඵල අවබෝධයවත් නොලැබූ අපි, සිතන්නට ගියොත්, එම සිතුවිලි අපිට අකුසලයේ ගින්දරමයි සකස්කොට දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සෑම ධර්ම කාරණාවක්ම, විනය කාරණාවක්ම, අයිති උතුම් බුද්ධ විෂයට. කිසිත් නොදත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් වන අපි, මේ උතුම් බුද්ධ විෂය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් සරණ යන්න ඕනේ. මේ උතුම් බුද්ධ විෂය, පිංවත් ගිහි සහ පැවිදි අපේ මෝහයේ සහ තෘෂ්ණාවේ දිග සහ පළලට අදාළව වෙනස් කරන්නට ගියොත්, විකෘති කරන්නට ගියොත්, අපි උමතුභාවයට පත්වෙනවා යැයි, ධර්මයේ සඳහන් වෙනවා. පිංවත සංස්කාර අධිකරණය හරිම සාධාරණයි. සමාජය දෙස බැලීමේදී මේ සාධාරණ සංස්කාර අධිකරණයේදී දිට්ඨධම්ම වේදනීයව දඬුවම් ලැබූ, උමතු රෝගීන් ඕනෑ තරම් පෙනෙන්නට තිබෙනවා. උමතුභාවයේ ආශ්වාදයෙන් සමාජගත වෙන මිච්චා වාචාවන්, මිච්චා හැසිරීම්, මිච්චා ධර්මයන්, මිච්චා අධිගමයන්, පිංවත මේ අපි අත්දකින්නේ උතුම් බුද්ධවිෂය විකෘති කිරීමේ දිට්ඨධම්ම වේදනීය උමතුභාවයන්ගේ ඒහිපස්සික ගුණයයි.

පිංවත මේ උතුම් සද්ධර්මය දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ පිරිනිවී ගියත්, අපේ ඵස්සය මුල්කොටගෙන සකස්වෙන සංස්කාර අධිකරණය, අපි භව ගමනේ කවදා හරි දවසක පිරිනිවී යනතෙක්ම පටිච්ච සමුප්පන්නව ජීවමානයි. පිංවත ඔබ දෙස ඔබ සිහිනුවණින් බලන්න. ඔබ උමතුවෙන්ද පසුවෙන්නේ. එසේත් නැතිනම් ඔබ තෙරුවන්ගේ රැකවරණය තුළ ද පසුවෙන්නේ. සල්ලි පස්සේ අපේ ගිහි සහ පැවිදි ජීවිත දුවන කොට, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවට හති වැටෙනවා. සල්ලි විසින් අපේ ජීවිත ගිලගන්න කොට, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අපෙන් වාෂ්පවෙලා යනවා. පිංවත සල්ලි ද වටින්නේ, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ද වටින්නේ කියලා ඇසුවොත්, සල්ලි වටිනවා යැයි, කියන පිරිස සමාජය තුළ ගොඩාක් වැඩියි. පිංවත ලෝකයේ ශ්‍රේෂ්ඨම ධනය වෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. උතුම් ශ්‍රද්ධා ධනය පිංවත් ඔබට ශීල, සමාධි, ප්‍රඥා, ඥානදර්ශන, විමුක්ති කියන ආර්ය ධනයමයි උරුමකොට දෙන්නේ. උතුම් ආර්ය ධනයේ කල්‍යාණ මිත්‍රභාවය පිංවත් ඔබට විමුක්තියේ නික්ලේෂී රසයමයි ලබාදෙන්නේ. පිංවත තෘෂ්ණාවේ සල්ලි කොළවලින් අපි කුමක් නම් ලබන්නද? සල්ලි කොළවලින් අපි ලබන කොන්ක්‍රීට් ගොඩවල්, යකඩ වාහන ගොඩවල්, දෙතිස්කුණුප ගොඩවල්, මේවා පරිහරණයේදී අපි ලබන ලෝභ, ද්වේශ, මෝහයන්, සල්ලිවල බරට යටවී බිඳී යන ශීලයේ අර්ථයන්, සල්ලිවල ආශ්වාදයෙන් පටිච්චසමුප්පන්නව උපදින සතර අපා දුක් ආදීනවයත්, පිංවත ශ්‍රද්ධාවෙන් උපද්දවා දෙන ආර්ය ධනයත්, සල්ලි කොළ මතින් උපදින තෘෂ්ණා ධනයේත් ඇති අයෝමය වෙනස නුවණින් දකින්න.

පිංවත යම් පිංවතෙක් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ තම ජීවිතය විසිරුවා දකියිද, ඔහුයි උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ උරුමය ලබන්නේ. දුක කියන අර්ථය දැකලා, යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගය දුර්වල කොටගෙන සැප සොයයිද, එතැන තිබෙන්නේ අශ්‍රද්ධාවමයි. කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ දුර්වලභාවයන් නිසාම අශ්‍රද්ධාව වැඩිවෙන සමාජයක මිච්චා ධර්මයන්ට හොඳ වටිනාකමක් ලැබෙනවා. පිංවත කෘතවේදීභාවය කියන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව වගේම දුර්ලභ දෙයක්. පෙර පින නිසාම අපි ලැබූ උතුම් සිංහල බෞද්ධකමට, අපි කෘතවේදීභාවය දක්වනවා හුඟාක් අඩුයි. අපි තුළ ලෝභ, ද්වේශ, මෝහයන් වැඩිවෙන කොට අපි අපේම පිනට පයින් ගහනවා. උතුම් සිංහල බෞද්ධකම දුර්වලවෙලා යනවා කියන්නේ, අපි අපේම පිනට පයින් ගහනවා කියන අර්ථයමයි. පිංවත අවම වශයෙන් අවුරුදු අසූවක් වැනි ජීවිතයක්, ලෞකික ප්‍රඥාවෙන් නිවැරදිව කළමනාකරණය කර ගැනීමට බැරිව, අපි මේ යන්නේ කොයිබටද? අධර්මානුකූලව කළමනාකරණය කිරීම හේතුවෙන් අවුරුදු අසූවක ජීවිතයක්, පටිච්චසමුප්පන්නව කල්ප ගණනාවක් දීර්ඝ වුණොත්, අපි මොනතරම් නම් අදක්ෂයෝද. අවිද්‍යාව හේතුවෙන්ම රැස්කොටගත් අතීත සංස්කාරයෝ හැර, වෙන කාත් කවුරුවත්ම නැති, අසරණ, අනාථ, අපේ ජීවිතවලට, ආර්ය ශ්‍රද්ධාවේ ආලෝකය හැර වෙන කිනම් ආලෝකයක්ද. පිංවත සැබෑ කල්‍යාණමිත්‍රයා කියලා කියන්නේ, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයමයි. අසත්පුරුෂ ආශ්‍රය, අශ්‍රද්ධාව, දුශ්ශීලභාවය යනු මිච්චා ශාසනයමයි. පිංවත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය වගේම, මේ උතුම් ශාසන ධර්මයන්ට එරෙහිව ගිය මිච්චා ශාසනයන් අතීතයේදිත් තිබුණා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට එරෙහිව යමින්, මිච්චා ශාසනයට අතීතයේදී නායකත්වය දුන්නේ, තමන් දෙවැනි බුදුන් යැයි සිතාගත් දේවදත්ත හාමුදුරුවෝයි. කෝකාලික හාමුදුරුවෝ ඇතුළු තවත් මිච්චා ශ්‍රාවකයෝ දහස් ගණනක් මේ මිච්චා ශාසනය පෝෂණය කළා. මේ අතීත දේවදත්ත හාමුදුරුවෝ ඇතුළු මිච්චා ශ්‍රාවකයෝ තුන් සිවුර දැරුවා, හිසකෙස් මුඩු කළා, මිච්චා ධර්මයන් දේශනා කළා, මේ මිච්චා ශ්‍රාවකයින්ටත් රජවරු, සිටුවරු, ගිහි පිංවතුන්, අනුග්‍රහයන් දැක්වූවා. පිංවත ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන, ස්වභාවයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. සංස්කාරයෝ කැඩී බිඳී විසිරී යද්දී, අපි ජීවත්වෙන සම්මුති ලෝකය තුළ, අපි කැමති සහ අපි අකැමැති අර්ථයන් දෙකම අපිට මුණගැසෙනවා. පිංවත සංස්කාර විසින් මෙහෙයවන ඉරණම් ගමනක් යන ලෝකය දෙස ඉවසීමෙන් බලන්න.

භික්ෂුවගේ භික්ෂු ජීවිතයේදී ඇසූ අවාසනාවන්තම කතාවක්, පරිවේනාධිපති ස්වාමින් වහන්සේ නමකගෙන් පසුගියදා අසන්නට ලැබුණා. උන්වහන්සේ කියනවා, පිරිවෙනේ ඉගෙන ගන්න තරුණ හාමුදුරුවෝ කිහිපදෙනෙක් තම හිතවත් ගිහි පිංවතුන්ට කියනවලු බුද්ධ වන්දනාවන්, බෝධි පූජාවන් කරන්න එපා, බුද්ධ පූජාව තියන්න එපා මේවා බොරු වැඩය කියලා. පිංවත උමතු දේශපාලනයෙන්, උතුම් භික්ෂුත්වයත්, එකට කැකෑරී ඇතිවෙන මෙවන් ශාසන විකෘතීන්, ඉදිරියේදී තව තවත් බලවත් ලෙස ඔඩුදුවනවා. පිංවත මේ අපි දකින්නේ අපේ අකුසලයද, එසේත් නැතිනම් අපේ අසාර්ථකභාවයද. ධර්මානුකූල පිළිතුර වෙන්නේ අපේම අකුසල් හේතුවෙන් සකස්වෙන අසාර්ථකභාවය කියලයි. පිංවත භව නිරෝධය සොයාගෙන යන අපිට මේවා ගැන සිතීම, මේවා ගැන ලිවීම, මේවා ගැන කතාකිරීම සුදුසුද. මේ උතුම් ශාසන අර්ථයන් බිඳ වැටීම ගැන කථා කිරීම අවශ්‍යයද. උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට වෙන දෙයක් වෙන්න දීලා, අපි අපේ භව නිරෝධයේ ගමන යමුද. පිංවත ඉහත ප්‍රශ්නාවලියට ඔබේ පිළිතුර කුමක්ද.

පිංවත අපි හැමෝගේම ඉන්ද්‍රීය ධර්මයන් සහ බල ධර්මයන් එක හා සමාන නැහැ. ඒ නිසාම ඉහත ප්‍රශ්නයට අපි හැමෝටම තිබෙන්නේ විවිධත්වයෙන් යුත් උත්තර පත්තරයක්. පිංවත බුද්ධ විෂය වගේම උතුම් අරිහත්, අනාගාමී, සකෘදාගාමී, සෝවාන්ඵල අවබෝධයන්ට අදාළව වෙන් වෙන්වූ විෂයන් තිබෙනවා. ඒ විෂයන් තීරණය වෙන්නේ උන්වහන්සේලා ලැබූ පංචඋපාදානස්කන්ධ ධර්මයන්ගේ අවබෝධයන් තුළින්. උතුම් රහතන් වහන්සේ නමක් අවබෝධයෙන්ම දකින පංචඋපාදානස්කන්ධ දුක, සෝවාන්ඵල අවබෝධය ලැබූ උත්තමයා, ඒ ආකාරයෙන්ම දකින්නේ නැහැ. අනාගාමී උත්තමයා දකින පංචඋපාදානස්කන්ධ දුක, සෝවාන්ඵල අවබෝධය ලැබූ පිංවතා ඒ ආකාරයෙන්ම දකින්නේ නැහැ. පිංවත අපේ දැක්ම, අපි ලැබූ අවබෝධයන්ට අදාළව එකිනෙක වෙනස් වෙනවා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක, බල ධර්මයන් තම ජීවිතයට එකතුකොටගත් පිංවතා, ලෝකය දකින්නේ ඇලීම් සහ ගැටීම්වලින් බැහැරට හේතුඵල ධර්මයන් දකින ධර්මයේ උපේක්ෂාවෙන්. බලධර්මයන් තම ජීවිතයට එකතුකොටගත් පිංවතා ආත්මීය දැඩි දෘෂ්ටිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කරලයි ජීවත්වෙන්නේ. එවැනි පිංවතුන් සමාජගත ප්‍රශ්නයක් දෙස බලන්නේ, එම ප්‍රශ්නයේ අගින් හෝ මැදින් නොවේ. එම ප්‍රශ්නයට හේතුවූ මුලින්මයි. ඊට උපකාර කරන්නේ එම පිංවතුන්ලා තුළ වැඩෙන ආර්ය සමාධියයි.

පිංවත ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනාගේ විෂය මීට හාත්පසින්ම වෙනස්. මේ දෙදෙනා පංචඋපාදානස්කන්ධයේ නිත්‍යභාවය දකිමිනුයි ජීවත්වෙන්නේ. මේ දෙදෙනා තුළ වැඩෙන්නේ විදර්ශනාවේ පහස නොලැබූ ඉන්ද්‍රීය ධර්මයන්මයි. මමත්වයේ දැඩිභාවය නොසිඳ ඇති නිසාම, මේ දෙදෙනා ඇලීම් සහ ගැටීම් තුළිනුයි ප්‍රශ්නයක් දෙස බලන්නේ. ඒ නිසාම ප්‍රශ්නයක මුල මතුකොට ගැනීමට අවශ්‍ය ඉන්ද්‍රීය සංවරභාවය දුර්වලවෙලා, ප්‍රශ්නයයි අල්ලාගන්නේ. මේ හේතුඵල ධර්මයන් නොමතුකොට ගන්නා දුර්වලභාවය නිසාම, මේ දෙදෙනා සමාජගතවෙන ප්‍රශ්නයක්, තවත් ප්‍රශ්නාවලියක් දෙසටමයි අරගෙන යන්නේ. ලෞකික ප්‍රඥාවේ අර්ථයන්ගෙන් පෝෂණය ලැබූ, මේ ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරි පිංවතුන් දෙදෙනා හේතුඵල ධර්මයන්ට අදාළ ධර්මයන්, සද්ධර්ම ශ්‍රවණය තුළින් දැන සිටියත්, පංචඋපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන්ම, ඇලීම් සහ ගැටීම් තුළින් ආත්මීය දෘෂ්ටිය මුල්කොට ගෙනයි ප්‍රශ්නයක් දෙස බලන්න යොමුවෙන්නේ. නමුත් මේ දෙදෙනා දක්ෂයි තමන් තුළ වැඩෙන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සමාජගතවෙන ප්‍රශ්නවලට අකුසලයෙන් ප්‍රතිචාර නොදක්වා, එම ප්‍රශ්න දරාගෙන ජීවත්වෙන්න. පිංවත සද්ධා ඉන්ද්‍රිය නොමැති පෘථග්ජන පිංවතාගේ විෂය ඉහත සියල්ලටම වඩා වෙනස්. කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදත් එම පිංවතා, සමාජගතවෙන ප්‍රශ්න ඇලීම් සහ ගැටීම් තුළින් යොමුකොට ගන්නේ, අකුසලයේ ගින්දර දිශාවටමයි.

පිංවත් ඔබට වැටහෙනවා නේද ඉන්ද්‍රීය ධර්මයන් සහ බල ධර්මයන් විවිධ වූ සමාජයක, එකම ප්‍රශ්නය පැති කිහිපයකින්ම දකිනවාය කියන කාරණය. මේවා පිංවත් ඔබේ හෝ අපේ වැරදි නොවේ. සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්මයි. පිංවත අවිද්‍යාව දෝරෙ ගලාගෙන යන සමාජයක තෘෂ්ණාවේ සැඩ පහර, ශ්‍රද්ධාව, මෛත්‍රිය, ශීලය, සතිය, සමාධිය, සෝදාපාලුවට ලක් කරනවා. පිංවත ලබන්නා වූ නව වසරේදී උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේත්, මිච්චා ශාසනයේත් ඇති වෙනස නුවණින් විමසා තේරුම් ගන්න. මේ වෙනස සමාජය තුළ අදත් ජීවමානයි.

පිංවත මේ උතුම් ධර්මදානමය පිංකම් ශක්තියෙන් ලබන්නා වූ 2023 නව වසර ‘දිවයින’ පිංවත් සභාපතිතුමන් ඇතුළු පවුලේ සියලුම පිංවතුන්ලාටත්, දිවයින කාර්ය මණ්ඩලයේ සියලුම පිංවතුන්ලාටත්, ගෞරවණීය උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයටත්, රටවාසි සියලුම පිංවතුන්ලාටත්, නිදුක්, නිරෝගී සුවපත්භාවය, දීර්ඝායුෂ, ධර්මයේ අර්ථයන් තව තවත් වැඩෙන ශිල්වත්භාවයටම මුල් තැන ලැබෙන සුභ නව වසරක්ම වේවා යැයි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment