සල්ලි බිම දමා පෑගූ පුණ්‍ය ආයතන ප්‍රධානියාට ඇප

97

රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තොගයක් බිම දමා පාගමින් සිටි යාපනයේ පුණ්‍ය ආයතනයක ප්‍රධානියා යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත 10 දා මුදාහරිනු ලැබීය.

යාපනය නගරයේ බංකුවක් අසල දී රුපියල් හැට පන්දහසක මුදලක් එම පුණ්‍ය ආයතන ප්‍රධානියා විසින් බිම දමා සපත්තුවලින් පාගමින් සිටිය දී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කළේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ ඔහු මුදල් නෝට්ටු පාගා දැමුවේ මුදල් නෝට්ටුවලට අගෞරව කිරීමට නොව ඔහුට නෝර්වේ සිට ලැබුණු විශාල මුදලක් අහිමි වී යෑම නිසා උපන් වේදනාව තුනී කර ගන්නට බවයි. එම අවස්ථාවේදී ඔහු ඉතා ආවේගශීලී වූ බවත් ඔහු මුළු උතුරු පළාතේ ම වැසියන්ට විවිධ අවශ්‍යතා මත ආධාර කරන පුද්ගලයකු බවත් සිදු වූ වරදට ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. ඒ අනුව ඔහුට තරයේ අවවාද කොට පුද්ගලයින් දෙදෙනකුගේ ශරීර ඇප මත ඔහු මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේය. මුදල්වලට අගෞරව කිරීමේ චෝදනාව යටතේ මොහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment