සසර ගමන කෙටිකර ගන්න, මේ පාරෙන් එන්න

347

සසර යන්නෙහි කෙටි අදහස සැරිසැරීම යන්නයි. සැරිසැරීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ එක්තරා ආකාරයක තැනින් තැන ඇවිදීමකි. මේ ලෝකයෙහි ජීවත්වන අපි යම් යම් තැන්වල යම් යම් සේ ඇවිදිමු ද එසේම සත්ත්වයා ද කාමලෝක, රූප ලෝක, අරූප ලෝක යන තෙවදෑරුම් ලෝකයන්හි ඉපදීම් මැරීම් වශයෙන් ඇවිදී. ඒ ඇවිදීම වූ කලී එක්තැනෙක ඉපදී එහි ජීවත්ව සිට, එහිදී මැරී තවත් තැනෙක උපදිමින් සිදුවන ඇවිදීමකි. මෙය කෙළවරක් නොපෙනෙන ඇවිදීමකි. ඒ නිසා එයට සසර යැයි කියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ සංසාරය සාගරයකට ද, කාන්තාරයකට ද, සැඩපහරකට ද උපමාකොට ඇත.

‘මහණෙනි මේ සංසාරයෙහි නොපෙනෙන කෙළවර ඇත්තේය. අවිද්‍යාවෙන් වෙළී තෘෂ්ණාවෙන් බඳිනු ලැබ දුවන සැරිසරන සත්ත්වයන්ගේ මුල ද නොපෙනේ’ යනුවෙනි.

මහණෙනි යම් පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ දඬු, අතුකොළ වේනම් ඒවා කපා එක්රැස් කර අඟල් සතරේ කෑලිවලට කපා මේ මාගේ මවය. මේ මාගේ මවගේ මවය. ආදී ලෙස එම කෑලි වෙන්කරයි ද ඒ මවගේ පරපුරේ කෙළවරක් නොවන්නේය. තණ, දඬු, කොළ, අතු, අවසන් වන්නේය. හේතුව අවිද්‍යාවෙන් වැසුණු තෘෂ්ණාවෙන් බැඳුණු එහි සැරිසරන සත්ත්වයන්ගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි ඔබ වහන්සේලා විසින් දිගු කලක් දුක් විඳින ලදි. තියුණු දුක් විඳින ලදි. ඥාති ව්‍යසනාදී ව්‍යසන විඳින ලදි. එනිසා සසරෙහි නොඇලීමම සුදුසුයි. තවදුරටත් මෙහිදී ප්‍රකාශ වන්නේ සංසාරික දුක්ඛ ස්වභාවයයි. අතෘප්තිකර කරදරකාරී ස්වභාවයයි. අමනාපයන් සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් මව් මළ දුකට, පියා මළ දුකට, සහෝදරයා සහෝදරිය, දුව, පුතා ආදීන් මළ දුකට, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, වෙනුවෙන් රෝග ව්‍යසනවලට මහණෙනි ඔබලාගෙන් වෑහුණු වැහැරුණු කඳුළු සිව් මහා සාගරයෙහි ජලයට වඩා වැඩි බවයි.

සංසාරික ජීවිතයේදී විඳිනු ලබන සැප සම්පත්වල ආස්වාදයන් නැත්තේම නොවේ. එහෙත් ඒ හා සමගම ඒවායේ ආදීනව ද සැපසම්පත්වල වෙනස්වීම සහ අනිත්‍ය ස්වභාවය ද අතෘප්තිකර ස්වභාවයක් ද දක්නට ලැබේ. ඒ නිසාම ඒවායෙන් නික්මිය යුතුයි. නිස්සරණයක් ලැබිය යුතුය. කුමන විදියේ දෙව් මිනිස් සැප සම්පත් තිබුණ ද ඒවා අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක්සහගතය. යමක් දුක්සහගත නම් මමය මගේය යැයි ගත යුත්තක් ද නැත්තේය.

කාම, දිටඨි, භව, අවිජ්ජා යන සැඩ පහරවල් හතරට පෘතග්ජන සත්ත්වයෝ අසුවී සිටිති. පටිච්ච සමුප්පාදය අවබෝධ කර නොගැනීමෙන් සත්ත්වයා සසර දිගු කලක් ඇවිදින බව බුද්ධ භාෂිතයයි. ඉහත කරුණු හතරෙන්ම සත්ත්වයා සුගතිගාමීත්වයෙන් වළක්වා සසර ඇවිද්දවන බව පැහැදිලි වෙයි. එසේනම් කළ යුත්තේ කුමක් ද? සසර සැරිසරන, චතුර් ඕඝයට අසුව සිටින සත්ත්වයා ඉන් මුදා ගැනීමයි. ඒ සඳහා සැමදා සිල්වත්ව සිටිමින්, ප්‍රඥාවෙන් පරිපූර්ණව නිවැරදි වීරයයෙන් ද යුක්ත විය යුතුය.

චතුරාර්ය සත්‍ය ධර්ම විස්තරයේදී ආර්යාෂ්ඨාංගික මාර්ගයට එකම මාර්ගය බව දක්වා තිබේ.

  1. සම්මා දිට්ඨි-යහපත් දැකීම
  2. සම්මා සංකප්ප-යහපත් සංකල්පනා – ප්‍රඥා
  3. සම්මා වාචා-යහපත් වචන
  4. සම්මා කම්මන්ත-යහපත් කායික ක්‍රියා
  5. සම්මා ආජීව-යහපත් දිවි පෙවෙත – සීල
  6. සම්මා වායාම-යහපත් වෑයම
  7. සම්මා සති-යහපත් සිහිය
  8. සම්මා සමාධි-යහපත් සමාධිය – සමාධි

බුද්ධ දේශිත දහස් ගණන් ධර්ම කාරණාවල සාරය මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය බව පැහැදිලිය. මේ අංග අටෙන් අදහස් කරන්නේ බුදුදහමේ ඉගැන්වෙන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන් දියුණුකර පරිපූර්ණත්වයට පැමිණීමයි. සීලය වනාහි බුදුදහමේ පදනමයි. සීලමය ශික්‍ෂාව පිරීමේදී කරුණාව හා ප්‍රඥාවට මුල්තැන දිය යුතුය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමාධි ශික්‍ෂාවට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන ඇතුළත්ය. මෙහිදී නූපන් අකුසල් ඉපදීමට ඉඩ නොදීම, උපන් හෙවත් තමා තුළ පවත්නා අකුසල් නැති කිරීමත්, නූපන් කුසල් ඉපිදවීමත්, උපන් කුසල් දියුණු කිරීමත් කළ යුතුය.

සත්ත්වයාගේ විසුද්ධිය පිණිස පවත්නා ඒකායන මාර්ගය හැටියට සැලකෙන සතර සතිපට්ඨානය වැඩීම සසරින් එතෙර වීමේදී අවශ්‍ය වන යථා තත්ත්වාවබෝධයට අතිශයින්ම ඉවහල් වෙයි. සම්මා සමාධිය ධ්‍යාන සතර ලබාගැනීමට ඉවහල් වෙයි. පංචනීවරණ ධර්ම යටපත් වී සම්මා සමාධියේදී ඒකාග්‍රතාවෙන් යුතු පිරිසිදු උපේක්‍ෂාවත් සිහියත් ඇතිවෙයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ යථා තත්වාවබෝධය සම්මා දිට්ඨියෙන් සිදුවෙයි.

කම්සැප හැර දැමීමේ කල්පනා, ව්‍යාපාදයෙන් තොර මෛත්‍රී කල්පනා සහ හිංසාවෙන් තොර කරුණා කල්පනා සම්මා සංකප්ප අංගයට ඇතුළත්ය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටෙන් අදහස් කරන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පුද්ගලයා පැමිණවීමය. බොහෝදෙනකු පින්දහම් කරනු ලබන්නේ සසර එපාවී සසරින් එතෙර වීමට නොව සසර පතාම බව දක්නට ලැබේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තනි තනිව එක එක මාර්ග නොව පොදුවේ හැම ගුණාංගයක්ම එකවර සමගාමීව පුහුණු කළ යුතුව ඇත. සසරින් එතෙර වීමේ මාර්ගයේදී චතුරාර්ය සත්‍ය සම්බන්ධව පුද්ගලයකු විසින් කළ යුතු කාර්යයෝ සතරක් වෙති.

දුක්ඛ සත්‍යයෙන් ජීවිතයේ ස්වභාවයත්, එහි දුක් දොම්නස් භාවය මෙන්ම අඩුපාඩුත්, එහි වෙනස් වන සුළු බවත් දැක්වෙන බැවින් එය සත්‍යයක් බව වටහා ගත යුතුය. සමුදය සත්‍ය නම් තෘෂ්ණාව මුල්කරගෙන පවත්නා කෙලෙස් නිසා දුක හටගන්නා බවය. මෙයද සත්‍යයක් බව වටහා ගත යුතු අතර එයම ප්‍රමාණවත් නොවේ. එසේ නම් කළ යුත්තේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමයි. නැති කිරීමයි. නිරෝධ සත්‍ය නම් නිර්වාණයයි. පරම සත්‍යයි. සසරින් එතර වීමයි. නැවත උපතක් ඇති කරන තෘෂ්ණාව සහමුලින්ම නැති කිරීමයි.

කාමච්ඡන්දාදී දශ සංයෝජනයන් සෝවාන් ආදී මාර්ග හා ඵල සතරෙන් බිඳ දමා කෙලෙස් සහමුලින්ම දුරුකර ලබන අරහත්භාවය ලබා නිවන් සාක්‍ෂාත් කිරීමයි. සැබවින්ම මේ දිවිය ටික කලක්ම පවතින බැවින් කළ යුතු වන්නේ අරි අටඟිමග පිළි පැදීමයි. වැඩීමයි. පුහුණු කිරීමයි. ක්‍රියාත්මක වීමයි.

දඩල්ල, වාලුකාරාම වෙහෙරවැසි,
● ශාස්ත්‍රපති රත්ගම සුනීත හිමි

advertistmentadvertistment
advertistmentadvertistment