සසර දුකින් එතෙර වන්න නිවැරදිව දන් දෙන්නේ මෙහෙමයි

271

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

 අට්ඨිමානි භික්ඛවේ සප්පුරිසදානානි, කතමානි අට්ඨ සුචිං දේති, පනීතං දේති, කාලේන දේති, කප්පියං දේති, විච්‍යෙය දේති, අභිණ්හං දේති, දදං චිත්තං පසාදේති, දත්වා අත්තමනෝ හෝති, ඉමානි ඛෝ භික්ඛවේ අට්ඨ සප්පුරිසදානානීති.’’

 සියලූ ලෝ සතුන් අමා දහමින් සනසා වදාළ අප අංගීරස අමාමෑණී තථාගත බුදුපියාණන් වහන්සේ විසින් දේශීත වටිනා දහම් කරුණු කිහිපයක් මෙසේ ගෙනහැර පාන්නෙමු.

 දානය පිළිබඳ කියැවෙන ඉතා අගනා කරුණු අටක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතකයේ ‘‘සප්පුරිසදාන’’ සූත‍්‍රයෙහි දැක්වේ. දානය යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ අත්හැරීමයි. මේ සඳහා පරිත්‍යාගය, දීම ආදී අර්ථ ද සපයනු ලැබේ. ඒ අනුව ඉහත සූත‍්‍ර පාඨයෙන් කියැවෙන්නේ දන්දීමේදී දන් දිය යුතු ආකාරයත් එය තවදුරටත් අර්ථසම්පන්නවීම උදෙසා සප්පුරිස දාන දේශනා කරනු ලැබීමයි. එකී කරුණු පිළිවෙළින් මෙසේය.

 01. සුචිං දේති -(පිරිසිදු දෙය දන් දෙයි)

 02. පණීතං දේති – (ප‍්‍රණීත දෙය දන් දෙයි)

 03. කාලේන දේති – (සුදුසු කාලයෙහි දන් දෙයි)

 04. කප්පියං දේති – (කැපවූ දෙයක් දෙයි)

 05. විච්‍යෙය දේති – (පරීක්‍ෂාකර දන් දෙයි)

 06. අභිණ්හං දේති – (නිතර දන් දෙයි)

 07. දදං චිත්තං පසාදෙති – (සිත පහදවාගෙන දන් දෙයි)

 08. දත්වා අත්තමනෝ හෝති – (දන්දී් සතුටු සිත් ඇත්තෙක් වෙයි.)

 මෙම කරුණු අට දන්දීමේදී අතිශය වැදගත් වනු ඇත. මෙයින් පළමු වැනි කරුණ මගින් කියැවෙන්නේ පිරිසිදු දේ පමණක් දන්දීමයි. අපිරිසිදු අප‍්‍රසන්න දෙයක් දීම කිසි විටෙකත් නොගැළපෙන්නකි. තිරිසන්ගත සත්ත්වයකුට වුවද ආහාර වේලක් ලබා දුන්නද එය පිරිසිදු ලෙස ලබාදීම සත්පුරුෂ ක‍්‍රියාවකි. දෙවැනි කරුණ වනුයේ ප‍්‍රණීත දෙයක් දන්දීමයි. ප‍්‍රණීත ප‍්‍රසන්න යම් දෙයක් ලබාදිම තුළින් එය ලබන තැනැත්තා ද අතිශය සතුටට පත්වේ. දන්දීමේදී මෙකී කරුණු ඉතා වැදගත් වනු ඇත.

 සුදුසු කල දන්දීම ද බුදු හිමියන් තෙවැනි කරුණ වශයෙන් පෙන්වා වදාරනු ලබයි. එයින් අර්ථ ගන්වන්නේ තමා ධනයෙන් පෝෂණය වීම හා සිල්වත් ගුණවත් උතුමන් ලොව පහලවීම දන්දීමට සුදුසු කාලයයි. එමගින් මහත්ඵල මහානිශංස ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇත.

 කැපවූ දෙයක් දීම යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රයෝජනයට ගත හැකි කැමැති දෙයක් දීමයි. එමගින් දෙන කෙනා මෙන්ම එය ලබන කෙනාද ඉතා සතුටු වනු ලබයි. පස්වැනි කරුණ වනුයේ පරීක්‍ෂාකර දන්දීමයි. දෙන දේ පිළිබඳ සොයා බලා එහි හොඳ නරක පරීක්‍ෂාකර දන්දීමයි. දෙන දේ පිළිබඳ මනාව සොයා බලා එහි හොඳ නරක පරීක්‍ෂා කිරීම බෙහෙවින් වැදගත් වනු ඇත. නොමැති නම් එකී දීමෙන් ඵලක් නොවේ. ලබන අයද ප‍්‍රසාදයට පත්නොවනු ලබයි. ‘‘අභිණ්හං දේති’ යනුවෙන් අදහස් කරන්නේ නිතර දන් දීමයි. එසේ දන් දෙන තැනැත්තා ‘දදං චිත්තං පසාදේති’’ සිත පහදවා ගන්නා බව සත්වැන්න තුළින් බුදුරදුන් අර්ථ දක්වයි. එලෙස දන් දෙන්නා අවසානයේදී ද සතුටු සිත් ඇති කර ගන්නා බව ‘‘දත්වා අත්තමනෝ හෝති’’ යනුවෙන් අටවැනි කරුණ මගින් පෙන්වා දෙනු ලබයි.

 දන්දීමේදී ඉහත සඳහන් මෙකී කරුණු බෙහෙවින් වැදගත් වේ. අතීතයෙහි බෞද්ධයා තුළ මෙකී ලක්ෂණ තිබුණද නූතනයෙහි ඇතිවී තිබෙන පරිහානිය නිසා ඒවා ගිලිහී ගොස් ඇති බව නොරහසකි.

 මේ නිසා සත්පුරුෂ ගුණධර්මයන් අපගේ දිවි මඟට බෙහෙවින් වැදගත් වන්නේය. දන්දීමේදී එකී ලක්ෂණ පුද්ගලයා තුළින් දැක ගැනීමට හැකි නම් එය දියුණුවට ලක්ෂණයකි. ලෝභ, ද්වේශ, මෝහ, යන අකුසල මූලයන් ප‍්‍රහාණය කර ගැනීමට උත්සාහ දරන අප දන්දීම මනා අවබෝධයෙන් කළ යුතු ක‍්‍රියාවකි. විශේෂයෙන් සප්පුරිසදාන සූත‍්‍ර දේශනාවෙහි සඳහන් කරන අපගේ දිවි මඟට බෙහෙවින් වැදගත් සහ ආලෝකය සලසන ඒවා බව අමතක නොකළ යුතුය. තමා සතු දෙය අන්කෙනකුට දීම තරම් අපහසු දෙයක් නොමැති නිසා ‘දානය’ බුදු සමය ඉතා ඉහළින් අගය කරනු ලබනුයේ ඒ නිසාය. විවිධ දාන පිංකම් සිදු කරන අප මෙම කරුණු දෙස අවධානය යොමුකොට තථාගත බුදුරදුන් පෙන්වා දුන් ඉහත දහම් කරුණු ඔස්සේ ගමන්කොට සසර දුකින් එතෙරවීම උදෙසා සත් පුරුෂ කරුණු ඔස්සේ පිංකම් කිරීමට අදිටන් කර ගැනීමම ඉතා වැදගත් බව මතකයෙහි තබා ගත යුතුයි. ඒ වෙනුවෙන් ඔබට ධර්මයේ ආශිර්වාදයම ලැබේවා යි ප‍්‍රාර්ථනා කරන්නෙමු.

 තෙරුවන් සරණයි!

 ගාල්ල ශ‍්‍රී ලංකා ධර්මදූත මහ පිරිවෙනේ ආචාර්ය ශාස්ත‍්‍රපති කනංකේ විජිතනන්ද හිමි

advertistmentadvertistment
advertistmentadvertistment