සසර බැම්ම, රනිල් වික්‍රමසිංහ සහ භික්ෂු ශාසනය

1105

අප අද සාකච්ඡා කරන්නේ යම් පමණකට සංවේදී කාරණයකි. පැවිද්දන් උන්වහන්සේලාගේ වැඩක් බලාගෙන සිටිය යුතු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බවත් මින් පෙර කිසිදු රාජ්‍ය නායකයකු භික්ෂුන් සම්බන්ධයෙන් එවැනි කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති. අගලකඩ සිරිසුමන හිමියන් යනු මේ රටේ සිටින ඇතැම් දේශපාලන හෝ ව්‍යාපාරික චීවරධාරීන් මෙන් පරිහානියට පත්ව නැති සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. විද්‍යාර්ථියකු වූ උන්වහන්සේ V 8 වාහන විකුණන්නේ නැත. එසේම උන්වහන්සේ විසින් ව්‍යාපාර කටයුතු සඳහා මුදල් ආයෝජනය කරන්නේ ද නැත. මේ උත්කෘෂ්ට භික්ෂුව දහම සහ දැනුම පිළිබඳ පර්යේෂණ පවත්වමින් ශාස්ත්‍රීය කටයුතුවල නිරත වෙමින් සුපේශල ශික්ෂාකාමී ජීවිතයක් ගත කරති. එබැවින් ජනාධිපති වික්‍රමසිංහ කියූ කතාව උන්වහන්සේගේ සිතට සෑහෙන පීඩාවක් ගෙනදුන්නක් විය යුතුය. මේ පිළිබඳ අර්ථ නිරූපණයක් අපටද තිබේ. සියලු භික්ෂුන් වහන්සේ සාවධානව අපේ අර්ථ නිරූපණය ශ්‍රවණය කරත්වා.

ශ්‍රී ලංකාවේ භික්ෂුව නමැති ඒකකය බුදු දහමේ ආරක්ෂකයාය. උන්වහන්සේ පිළිබඳ මතය එය වේ. එහෙත් විමලා විජේවර්ධන නමැති ඇමැතිවරියක සමග එක්ව නැව් බිස්නස් එකක් කරන්නට ගිය මාපිටිගම බුද්ධරක්ඛිත නමැති චීවරධාරියා විසින් ගිය ශතවර්ෂය මැදදී මේ රටේ සංඝ සමාජය අල කරන ලද්දේය. එවකට සිටි අගමැති වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනයක මේ නැව් බිස්නස් එකට අකැමැති වූ බැවින් තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියාට කොන්ත්‍රාත්තුවක් දී අගමැතිට වෙඩි තබා මැරීමට බුද්ධරක්ඛිත කටයුතු කළේය. එම වරදට සෝමාරාම එල්ලුම් ගස් ගිය අතර බුද්ධරක්ඛිත හිරේ ගියේය. හිරේදී පන්සිල් සමාදන් වී උපැවිදි වූ හෙතෙම සෙසු සිරකාරයන් අතර සම්පූර්ණ ගිහියකු මෙන් ජීවත් විය. ලංකා ඉතිහාසයේ භික්ෂු ශාසනය මහත්ම අපහාසයට ලක්වූ පළමු අවස්ථාව එය විය හැකිය. ගම් දනව්වල සිටින දුප්පත් පන්සල්වලට දානය දීමෙන් පවා දායකයෝ වැළකුණහ. සිද්ධිය ක්‍රමයෙන් යට ගිය අතර 1970 වනවිට ඇතැම් භික්ෂුන් වහන්සේ දේශපාලනයට පිවිසියහ.

අතීත ලංකාවේ වැඩ සිටි භික්ෂුව වූකලී රජුට ඉහළින් සිටි උපදේශකයකු විනා රජුට පහළින් සිටි මන්ත්‍රීවරයකු නොවේ. භික්ෂුන්වහන්සේ දේශපාලනයට පැමිණීම බරපතළ ලෙස නොඉවසූ රාජ්‍ය නායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන තම අභිමතයට ඉඩදුන් භික්ෂුන්ට ආවතේව කිරීමටත් ඊට එරෙහි වූ භික්ෂුන්ට හිස පැලෙන ලෙස පහර දීමටත් කටයුතු කළහ. මහාචාර්ය වල්පොල රාහුල හිමියෝ මේ ආකාරයෙන් ජේ. ආර්. ජයවර්ධනගේ මැරයන් වෙතින් ගුටි කෑ සංඝ පීතෘවරයෙකි. ඊළඟට භික්ෂුන් වහන්සේ කෙළින්ම පාර්ලිමේන්තු දේශපාලනයටත් ප්‍රාදේශීය සභා දේශපාලනයටත් පිවිසුනාහ. දේශපාලනය යනු අපිරිසිදු වැසිකිළි වළකී. දේශපාලනය කර පාර්ලිමේන්තු යන භික්ෂුන් වහන්සේට සිදුවන්නේ මන්ත්‍රීවරුන් බවට පත්ව ගිහියන්ගෙන් නියෝග ලබා ගැනීමටය. මේ නිසා භික්ෂු ශාසනය තවත් ටිකක් අල විය. ඒ අතර ඇතැම් භික්ෂුන් වහන්සේ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් මරා ගත්හ. ඒ සියල්ලම අපේ රටේ භික්ෂු ශාසනයට කළේ සුවිශාල අවැඩකි. ඇතැම් චීවරධාරීන් පිළිබඳව ගිහියන් කතා කරන ලද්දේ ඉතාම නරකටය.

තිලිණි ප්‍රියමාලිගේ සිද්ධියටද හික්ෂුන් වහන්සේ නමක් කෙළින්ම සම්බන්ධය. එබැවින් උන්වහන්සේ මේ දිනවල වැලිකඩ රිමාන්ඩ් එකේ වැඩ වාසය කරති. ප්‍රියමාලිගේ සිද්ධිය අතරතුරේදී කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් සමග V 8 ගනුදෙනුවක් කළ භික්ෂුන් වහන්සේ නමක් ගැන හෙළිවිය. පසුව උන්වහන්සේ රූපවාහිනී නාලිකා වෙත පැමිණ තමන් සහ එම නාගරික මන්ත්‍රීවරිය අතර සිදුවූ බිස්නස්වල ගිවිසුම් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළහ. මේවා භික්ෂුන් වහන්සේට ගැළපෙන්නේද? සිරිසුමන හිමියන් වැනි භික්ෂුන් අනුව යමින් විනයවත් සහ ප්‍රයෝජනවත් ජීවිත ගතකිරීමට ඇතැම් භික්ෂුන්ට බැරි ඇයි?

මේ රටේ භික්ෂු ශාසනය රටේ ලෝකේ ජනතාවගෙන් කුණු කතා අසා ගන්නේ චීවරයට නොගැළපෙන දේ කිරීමට යෑමෙන් බව අපගේ වැටහීම වේ. භික්ෂුන්වහන්සේ අරලියගහ මන්දිරයට කඩාවැදිය යුතු නැත. ජනාධිපති මන්දිරයේ ගේට්ටු කැඩිය යුතුද නැත. උන්වහන්සේ විසින් කඩා දැමිය යුත්තේ සසර බැම්ම නමැති භයානක දම්වැලය. ඇතැම් භික්ෂුවක් එසේ නොකර වෙනත් දේ කරන විට පෘතග්ජනයා විසින් උන්වහන්සේ විවේචනය කරනු ලැබීම සාධාරණයක් නොවුවද අසාධාරණයක්ද නොවන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment