සස්න බැබලේවා!

45

එක් සමයක්හි දිනෙක සන්ධ්‍යාවේ මඤ්ඤංලන්ත අගනුවර වූ කෝලම්භපුරට නොදුරු නුගගොඩු නම් නුවර උත්තර දෙසින් වූ මරුහේන නම් වූ උප නුවරෙක එක් පටු මගෙක පිහිටියා වූ තුමූ පුඟුලික නිවස්නයෙහි ඉදිරි ආලින්දයෙහි වූ අසුනක මහත් වූ පහසු ඉරියව්වකින් හිඳිමින් දෑස් මානයෙහි පෙනෙනා නේක නේක තුරු ලතා පුෂ්පාදියෙන් සුසැදි උද්‍යානයෙන් හමනා සුගන්ධ මාරුතය දෑස් පියා විඳ ගනිමින්ද තුමූ ප‍්‍රිය දේවිය අතින්ම පිලියෙළ වූ සන්ධ්‍යා ඖෂධීය පානය මඳින් මඳ පානය කරමින්ද විවේක සුවය විඳිනා මඤ්ඤංලන්ත මහරජාණෝ දෑවුරුද්දක් සපිරුණු තුමූ රාජ පාලනයේ ගුණාගුණ අනුලෝමද ප‍්‍රතිලෝමද ලෙස සිහි කෙරෙමින් සිටිනාහ. ඒ වේලායෙහි ආලින්දයට සපැමිණි ප‍්‍රිය දේවිය දෙස බැල්මක් හෙළුෑ රජ්ජුරුවෝ, ”සොඳුර, පෙර රජදරුවනට පසු සසුන් පිණිසැ මහා සෑයක් ඉදි කළ එකමැ රාජෝත්තමයාණයන් මා නොවන්නේදැ? ඉදින් එකී පුණ්‍ය කර්මය හැර සසුන පිණිස මා කළ තවත් පුණ්‍ය කර්ම තිබේදැ?’’යි මහත් අභිමානයෙන් අසනාහ. එබස් ඇසූ දේවීන් වහන්සේ,”කිමෙක්දැ? මහා සංඝයා විෂයෙහි නුඹ වහන්සේ කළ පුණ්‍ය කර්ම නුඹ වහන්සේට නොමතකදැ? කළණපුර හා අබසරණාරාම හිමිවරුන් මහා දිසාපාමොක් ඇදුරු පදවියට පත් කෙරේ නොවේදැ? තවද තෙල නානසාර තෙරුන් අසවල් කමිටු නා පදවියට පත් කෙරේ නොවේදැ? ඉදින් සසුන් පිණිසැ කළ ඒ සා දෑ සොඳ නොවේදැ? සොඳටම කරන ලදුයේ නුඹ වහන්සේයැ’’යි පිළිවදන් දෙන්නීයැ. සිය දේවියගේ සුපුරුදු නිර්දය වදන් හමුවේ මොහොතක් නිසොල්මන්ව හුන් රජ්ජුරුවෝ,”එක් කලණපුර තෙර නම නාග දමනයෙන් ද අනෙක් දෙතෙරුන් නේකාකාරයෙන්ද අපට බොහෝ මෙහෙ කොට ඇත්තේයැ. ඉදින් දේවිය කෙළෙහි ගුණ සැළකියයුතු නොවේදැ? සකළ ශාස්තෲවරුන්මැ කෙළෙහි ගුණයෙහි ආදීනව දෙසා නොමැත්තේදැ?’’යි ඇසූ කල්හි දේවිය එබසට පිළිවදන් දීමට පෙර, මැදුරෙහි ඉදිරි පවුරට එපිටින් වූ මහා මාර්ගයෙන් මහා ඝෝෂාවක්ද ඒ හා බැඳුණු, මහා කාල පාෂාණයක් සුණු කරනු පිණිසැ හෙලනා යකුළු පහරින් නැඟෙනා බඳු කඨෝර නාදයක්දැ ඇසී යළි සුනාමි වෑසනයක්වත්දැයි සිතාගත නොහී, එහෙත් කාල නිමිති බමුණන් එවැනි අනාවැකියක් නොකීවේ නොවේදැයි සිහිවැ උන් පෙරත් කාල ගුණ නිමිති පැවසුවේ වෑසනයට පසුවැ නොවේදැයි එසැණින්ම සිහිවැ ගිය රජ්ජුරුවෝ අන්ද මන්දව හිඳිනේ දේවිය එතුමන් දෙස මොහොතක් බලා මෙතරම් සතුරු අනතුරු තිබියදී වහා ක‍්‍රියා නොකරමින් ඔහේ බලා හිඳිනුයේ මෙතුමනට පෙර වූ මනා ක‍්‍රියාශීලී ගුණය කොහි ගියෙහිදැයි සිතී මා පමණක් නොව මහ ජනයාද සිතනුයේ එලෙස නොවේදැයි එසැණින්ම යළි සිතනුයේ කුමන වෑසනයක්දැයි තුමූවත් බැලූව මනා යැයි ක්ෂණිකව සිතා වහා පෙර පවුරු දොරටුවෙහි මුරට සිටිනා දොරටුපාලයකු කැඳවූ කල්හි උහුද කිසිදු කළබොලයකින් තොරව මන්දගාමීවැ පැමිණෙනු දැකැ උහුට තරවටුවෙක් කළ මනා යැයි සිතූවද තුමූ ප‍්‍රතිරුව හානි කරගැනුම නොමනා නොවේදැයි නැගැ එන කෝපය සමහන් කොට ගෙන,”එම්බල, තෙල ඇසෙනා මහා ඝෝෂා නාදය කිමෙක්දැ? ඈතින් වූ මිහිතොටමුළු කසළ පව්ව යළි නාය ගොස්දැ? තෙල හොරනිකාවන් ඊට යටවැ ගොස් ඇතිදැ?’’යි කළබොළයෙන් අසන්නීයැ. දොරටුපාල තෙමේද එකත්පස්වැ, ”නැත දේවීන් වහන්ස, එබන්දක් නොවේයැ. එකී ඝෝෂාව වනාහී මඤ්ඤං ජනයා තුමූ අහර පිසුම් පිණිසැ ගන්නා ජීව වායු ඇසුරුම් පුරවාගනු පිණිස ගොස් එකී කාර්යය ඉටු කොටගත නොහී කෝපව එකී බඳුන් මහමඟ ගසනා හඬයැ.’’යි මහා හඬට හේතු පහදන්නේයැ. දේවියද මහා වසංගතයක් පැමිණ රට මහා පසුබැසුමකට පත් වූ නියා මුනට මෙසැණින් නොමතකව ගියේදැයි මුමුණමින් කුමක් සිදුවේදැයි තුමූමැ ගොස් බැලූම යහපත්යැයි තීරණ කොට ඉදිරි පවුර අසලට ගොස් කුරුබිළියෙන් හිස පොවා මහමඟ බලන්නීයැ. එසේ බැලූ කල්හි දොරටුපාලයා කිවූ දෑ සත්තක් නොවේදැයි සිතා තව විපරමින් ඉන් ඈත බැලූ කල්හි පෙනෙනා තෙක් මානයේ වූ අස්රිය පෙළක් දැකැ දොරටුපාලයා අමතා, ”එම්බල, තෙල අස්රිය පෙළ එසේ නිශ්චල ලෙස තිබෙනුයේ කවර හෙයින්දැ? පෙම්දස් සජිතයා යළි රිය විරෝධයක් පිණිසැ කොළොම්පුරට පැමිණියේදැ?’’යි අසන්නීයැ. දොරටුපාලයාද එදෙසට හිස පොවා, ”නැතැ දේවීන් වහන්ස, ඒ වනාහී හුදී ජනයින් පරිහරණ කරනා අස් රිය බැඳි අසුන් පිණිසැ වූ ඉන්ධන අහර හිඟයක් එතැයි වූ ආරංචියෙන් එකී ඉන්ධන අහර හැකිතෙක් ලබා ගැනුම් පිණිසැ වූ අස් රිය පෙළැක්යැ. එසේ රිය පෙළ මෙකල්හි මුළු මඤ්ඤංලන්තය පුරා පවත්නේයැ’’යි පහදා දෙන්නායැ.

එබස් ඇසූ දේවිය මා ස්වාමියා මෙබැව් නොදනිත්දැයි සිතමින් පෙරළා ආලින්දය වෙත පැමිණෙනුයේ තුමූ අසළින්ම එක්වර හමා ගිය අදිසි සුළං රැල්ලක් වන් යමෙක් දැනී කිමෙක්දැයි වටපිට බැලූ කල්හි සෙවණැල්ලක් වන් යමෙක් විදුලියක් සේ වේගයෙන් තමා ළඟින්ම දිව යනු දැකැ උහු කවරෙක්දැයි බලනුයේ සිය ස්වාමියා අසළ පොළොවෙහි තප්පලං ලා හති ලමින් හිඳිනා පුඟුලෙකු දැකැ, එකී පුඟුලා වනාහී ගෙම්බන්පිලයා නොවේදැයි හැඳින මූ කවර හෙයින් ප‍්‍රාණය අනවැසි සේ දිවෙත්දැයි දැනගනු පිණිසැ ළංව බලන්නීයැ. එසේ ගෙබිම මත වැදහොත්වැ සිටිනා ගෙම්බන්පිලයා, ”අහෝ දේවයන් වහන්ස, තෙල ඉන්දන පැනය සඟවනු වස් මා දන්නා තරම් පද කස්තිරම් ආරළු බූරළු කොට පැවසුවද යූනියානුවන් මා පච කොට දමනාහ. අනුනට පාචයා යැයි මා කෝචොක දැමුවද පාචයා වී ඇත්තේ මා යැ. ඉදින් ගැලවුම් පිණිසැ තවත් නම් කීමට දැයක් නොමැත්තේයැ.’’ යි අඳෝනා නගනායැ. රජ්ජුරුවෝද ඊට පිළිවදනක් දීගත නොහී තුෂ්ණිම්භූතගතවැ හිඳිනුයේ සිවුරුහන් හඬක් හා ”පියඹා යනවා මා ආකාෂයේ’’ යැයි ගී නදක් ඇසී කවුරුන්දැයි බැලූ කල්හි මුව වටා වූ දළ රවුළු එක් අතෙකින් පිරිමදිමින්ද, අනෙක් අතින් ගීයට අනුරූපවැ අසුරු ගසමින්ද මහත් වූ සතොසින් එන්නා වූ එකකු දැකැ තිදෙනම බලනුයේ එසේ නර්තනාගමනයෙන් එනුයේ නවගමයා බැව් හැඳින උහු ඇමතුමටත් පෙරමැ බිම දපා හිඳිනා ගෙම්බන්පිලයා මතට පීනූ නවගමයා උහු වැළඳ සිප ගනිමින් සියොළඟමැ ලොවමින්, ”මා ගැලවුම්කරුවායැ. මා දෙයියායැ. උම්මායැට්යි ගෙම්බන්පිලයා බිම පෙරළාගෙනැ නටනා නාඩගම කිමෙක්දැයි වටහාගත නොහී සිටිනේ නවගමයා, විළියෙන් හා කෝපයෙන් ඉවත බලා සිටිනා රාජ දේවිය දෙස වරක් බලා සමා අයදින බැල්මෙක් හෙළා, ”ස්වාමීනි, පොහොර පැනය ගැන දෙස් තබනා එකකුදු දැන් සොයාගැනුමට නොමැත්තේයැ. දැන් සැවොම ඉන්ධන පානය පිණිසැ පෙළ ගැසී යන්නෝයැ. වායු බඳුන් හිස පිට තබා පෝළිම්හි ලගින්නෝයැ. ඉදින් මා ගලවා ගත් දෙයියා වනාහී මුහුයැ’’යි කියන කල්හි, ”මුව කචල්යැ. පශ්චාද්භාගය සුරතල්යැ. නැතැ. නැතැ. වැරදුණෙහියැ. පිට සුරතල්යැ. ඇතුළ කචල්යැ’’යි වනපොත් කරමින් සේ තෙපලමින් එන්නා වූ එකකු දැකැ රජ්ජුරුවෝ, ”මූ කවුරුන්දැ? උන්මන්තකාගාරයෙන් පලා එන්නෙක්දැ?’’යි ඇසූ කල්හි, ”එසේත් විය හැක්කේයැ. ස්වාමීනී, මූ වනාහී කූඨතිස්සයා යැ. පැන ඇත්තේ වැසියනට නොව මූටයැ. මැදි වැද්දන් කැඳවඅමන වදන් දොඩමින් යන්නේයැ’’යි කිවූ කල්හි රජ්ජුරුවෝ, ”අහෝ මා රට ගොඩ නඟනුයේ මුන් සමඟදැ’’යි කියා ඇතුළු ගෙට වදිනාහ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment