සසුනඹර එකලු කළ විදුලකර මිණි පහන

185

අතිපූජ්‍ය වැළමිටියාවේ  ධර්මකීර්ති ශ්‍රී කුසලධම්ම නාහිමියන්ගේ අපවත්වීම නිමිත්තෙනි.

යෝ මුඛසංයතෝ භික්ඛු, මන්තභාණී අනුද්ධතො
අත්ථං ධම්මඤ්ච දීපෙති මධුරං තස්ස භාසිතං

(යම් භික්ෂුවක් මුඛයෙන් සංයතද, නුවණින් යෙදී කියනසුලූද, සන්සුන් නිවී සිත් ඇත්තේද, අර්ථය ද, ධර්මය ද ප‍්‍රකාශ කෙරේද? ඒ මහණහුගේ වචනය මධුර වේ.)

ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති

(සමථ විදර්ශනා) ධර්මය වාසස්ථානකොට ඇති (සමථවිදර්ශනා) ධර්මයෙහි ඇලූණු (සමථ විදර්ශනා) ධර්මය නැවත නැවත සිහිකරන්නා වූ මහණ තෙම සද්ධර්මයෙන් නො පිරිහෙන්නේ ය.)

මහාවිහාරවංශික ශ්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහපිරිවෙනේ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත‍්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද, දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ ‘වැලමිටියාවේ කුසලධම්ම’ නායක මාහිමිපාණන් වහන්සේ, වර්ෂ 84ක් ආයු වල`දා සිය දිවි ගමන පාරප‍්‍රාප්තියට පත් වූයෙන් සංස්කාර ධර්මයන්හි යථා ස්වභාව සනිටුහන් කරමින්, ශ‍්‍රී සම්බුද්ධරාජ වර්ෂයෙන් 2565ක් වූ වප් මස අව අටවක නම් තිථිය ලත් ගුරු දින හෙවත් රාජ්‍ය වර්ෂ 2021ක් වූ ඔක්තෝබර් මස 28 වන දින, අපවත් වී වදාළ බැව් ධර්ම සංවේගයෙන් යුතු ව මෙසේ දැනුම් දෙමු.

සසුනඹර එකලු කළ විදුලකර මිණි පහන


1937 පෙබරවාරි 20 වැනි දින වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේවමැදි හත්පත්තුවේ දඹදෙණි උඩුගහ උතුරු කෝරළයේ, පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ පිහිටි වැලමිටියාව නම් ගම්මානයේ දී ‘පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර’ නමින් උන්වහන්සේ උපත ලබා ඇත. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනෙහි පස්වැනි පරිවෙනාධිපති වූ සාහිත්‍ය චක‍්‍රවර්තී පණ්ඩිත යක්කඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාරාම නායක මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන්, තවත් තරුණයන් 9 දෙනෙකු සමඟ ‘පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර’ කුමරු 1954 ජනවාරි මස 07 වන දින, ‘වැලමිටියාවේ කුසලධම්ම’ යන නමින් පැවිදි කරන ලදහ.

විසි වැනි විය සපිරීමෙන් ද ශාසනික අවශ්‍යතා සපිරීමෙන් ද අනතුරුව, අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත් කුසලධම්ම නාහිමියෝ 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ගෞරව උපාධිය ද හිමි කර ගත්හ. ඉන්පසු උන්වහන්සේ පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන ධර්මශාස්ත‍්‍ර සේවාව ආරම්භ කළ අතර එහි ප‍්‍රථම කෘත්‍යාධිකාරී ධුරයට ද, පසු ව එහි පරිවෙණාධිපතීත්වයට පත් වූහ. වර්ෂ 1983 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්ෂ ධූරයට පත් වූ උන්වහන්සේ 1989 දී එම විද්‍යාස්ථානයේ පරිවෙනාධිපති ලෙස ද නම් කරනු ලැබූව ද නාත්තන්ඩියේ ප‍්‍රඥාකර නාහිමියන්ට එම ධුරය පිරිනමා, නාත්තන්ඩියේ නාහිමියන් 1990 දී අපවත් වීමෙන් අනතුරුව පරිවේනාධිපතිත්වයට පත් වූහ.

මල්වතු මහා විහාරයේ කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධුරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමිපාණෝ, බුරුම රජයෙන්, ‘අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ’ ගෞරවනාමයෙන් ද පුද ලද අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයෙන් ද නාහිමිපාණෝ පුද ලැබුවේ උන්වහන්සේ තුළ විද්‍යමානිත බහුශ‍්‍රැත බව හා උත්කෘෂ්ඨ ගුණසමුදාය කරණකොට ගෙන ය. ලාංකේය සමය, සමාජ, දේශපාලන කරළිය තුළ මාහැ`ගි සේවයක් ඉටු කළ විදුලකර නාමය පුනරාලෝකවත් කරන්නට නාහිමියන් සමත් වීම ම එකී තනතුරු ලාභයෙහි ලා හේතු භූත වූ කරුණු ය. විද්‍යාලංකාර නාමය 20 වන සියවසේ නිදහස් අරගලයට පවා නායකත්වය සැපයූවකි. 1875 නොවැම්බර් 01 දින විදුලකර පිරිවෙන, ‘‘රත්මලානේ ශ‍්‍රී ධම්මාලෝක’’ මාහිමිපාණන් විසින් අරඹන ලදු ව, ලෝ නන් දෙස වැසි අනන්ත ජනයා කෙරෙහි පතුරන ලද ඤාණාලෝකය අතිමහත් ය. ශ‍්‍රීමත් ඞී.බී. ජයතිලක මහතා 1935 වසරේදී මෙසේ පවසා ඇත.

‘‘පසුගිය අවුරුදු හැට තුළ මම පිරිවෙන සමඟ විශේෂ සම්බන්ධතාවක් ඇතිව ක‍්‍රියා කළා. පළමුව මම මෙහි ශිෂ්‍යයකු ලෙස ඉගෙනුම කළා. ඉන් පසුව දායක සභාවේ සභාපති තැන වශයෙනුත් මම මේ පිරිවෙනට සම්බන්ධයි. මේ පිරිවෙන පටන් ගත් කාලය මට සිහි වෙනවා. මේ ඉඩමේ එක අංශයක තුබූ පොල් අතු සෙවිලි කළ කුඩා ගෙපළක මේ පිරිවෙන පිහිටෙව්වා. මෙහි ආදී කතුවරයන් වහන්සේලා දෙනමට වැඩසිටීමට කුඩා කාමරයක් හා කුඩා ශාලාවක් පමණයි එහි තිබුණේ. උන්වහන්සේලා දෙනම ජීවිත පරිත්‍යාගයෙන් ඇප කැප වී දායකයන්ගේ ආධාරයෙන් මේ පිරිවෙන අද තියෙන අද්විතීය තත්ත්වයට ගෙන ආවා.’’

1887 අගෝස්තු 15 වැනිදා රත්මලානේ ශ‍්‍රී ධම්මාලෝක හිමිපාණෝ අපවත් වූහ. අනතුරුව රත්මලානේ ශ‍්‍රී ධර්මාරාම හිමියන් පරිවෙණාධිපතිත්වයට පත් වූහ. උන් වහන්සේ යටතේ ධර්ම ශාස්ත‍්‍ර ගවේෂණ කාර්යයෙහි නියුතු විශාල ශිෂ්‍ය පිරිසක් හා ලංකාවට උගත් පඬිවරුන් රාශියක් දායාද කෙරුණහ. මේ කාලයේදී විද්‍යාලංකාර පිරිවෙනට බුද්ධ ධර්මය සහ පෙරදිග සංස්කෘතිය හදාරන්න බොහෝ පෙරදිග අපරදිග පඬිවරු පැමිණියහ. විද්‍යාලංකාර පිරිවෙන මඟින් සර් රාධකෘෂ්ණ මහතාට විද්‍යා චක‍්‍රවර්ති උපාධිය ද, මහා පණ්ඩිත රාහුල සංස්කෘත්‍යය, ශාස්ත‍්‍රාචාර්ය ජයදීස කාෂ්‍යප ස්ථවිර, ආචාර්ය බී. ඇම්. බරුවා වැනි උගතුන්ට ත‍්‍රිපිටක විශාරද උපාධිය පිරිනමන ලදී.

කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර නායක ස්වාමීන් වහන්සේ යටතේ පිරිවෙනහි කටයුතු පුළුල් විය. ආචාර්ය මණ්ඩලය පුළුල් විය. උන්වහන්සේගේ යුගයේදී එනම් 1950 අගෝස්තු 15 දින පවත්වන්න යෙදුණ විද්‍යාලංකාර පිරිවෙන් ත‍්‍රිපිටක ධර්ම සංගායනාව ඉතා වැදගත් වූවකි. මේ මඟින් විද්‍යාලංකාර පිරිවෙන ලොවෙහි වෙසෙන බෞද්ධ නායකයන් අතර පුළුල් එකමුතුවක් ගොඩනඟා ගන්නා ලදි. මේ කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර හිමියන්ගේ යුගය, විද්‍යාලංකාර පිරිවෙනේ මෙන් ම සිංහල ද්වීපයේ ද ඉතිහාසය නැවත ලියවෙන යුගයකි. එකල එකී විද්‍යාලංකාර සංඝායනාව ද සියැසින් දැක ගන්නට අපවත් වී වදාළ වැලමිටියාවේ කුසලධම්ම අප නාහිමියෝ භාග්‍යවත් ව ඇත.

කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර හිමි යටතේ විද්‍යාලංකාර පිරිවෙන ලංකාවේ නිදහස් සටනට දිරි දුන් අතර නිදහස් අධ්‍යාපන පනත සම්මත කරගැනීමට මුළුමනින්ම උර දුන්හ. මේ සම්බන්ධව විද්‍යාලංකාර පිරිවෙන ඉදිරිපත් කළ ‘විද්‍යාලංකාර ප‍්‍රකාශනය’ අතිශයින්ම වැදගත් වෙයි. කුසලධම්ම අප නාහිමියෝ එකී ක‍්‍රියාදාමයන්හි පන්නරය ද ලැබූ මහායති පරපුරට අයත් ශ්‍රේෂ්ඨ හිමි නමකි.

1959 වසරේදී විද්‍යාලංකාර පිරිවෙන සහ විද්‍යෝදය පිරිවෙන විශ්වවිද්‍යාල තත්ත්වයට පත් කරන ලදී. මේ අනුව විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පළමු කුලපති වශයෙන් කිරිවත්තුඩුවේ ශ‍්‍රී ප‍්‍රඥාසාර හිමිපාණෝ පත් වූහ. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස වැලිවිටියේ සෝරත හිමියෝ පත් වූහ. අද මෙකී විශ්වවිද්‍යාල කැලණිය විශ්වවිද්‍යාලය හා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බව දන්නෝ අතලොස්සකි. විද්‍යාලංකාර පිරිවෙන හා කැලණිය සරසවිය යනු දෙකක් නොව එකක් වන තරමට ඒ විද්‍යාස්ථාන අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. එකී සබ`දතාව තීව‍්‍ර කරමින් කුසලධම්ම නාහිමියෝ අපවත් වනතුරු ම කැලණිය සරසවියෙහි කුලපති ධුරය හෙබවූහ.

අපවත් වී වදාළ, මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප‍්‍රධාන සංඝනායක, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ ‘වැලමිටියාවේ කුසලධම්ම’ නායක මාහිමිපාණන් වහන්සේගේ ශ‍්‍රී දේහය පිළිබ`ද ආදාහන පූජෝත්සවය කැලණිය විශ්වවිද්‍යාලයීය ක‍්‍රීඩාංගන පරිශ‍්‍රයේදී මහත් ගෞරව බහුමාන සහිත ව රාජ්‍ය වර්ෂ 2021ක් වූ ඔක්තෝබර් මස 31 වන ඉරු දින සවස සිදු කිරීමට කටයුතු සංවිධානය කර ඇත.

නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් පිණිස ම උන්වහන්සේ විසින් වඩන ලද සකල කුසලධර්මයෝ හේතු වේවා.

රුහුණ විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මාකොළ මංගල ස්ථවිර

 

ශ‍්‍රී කුසලධම්ම නාහිමිපාණෝ

පතල මහා වියතෙකු සේ වැඩසිටි දේසේ
විසුල මහා මෙහෙවර නිමකොට හෙළ දීපේ
කුසලධම්ම නාහිමි සඳ වැලමිටියාවේ
නිසල විය සැඟවුණු සේ සඳ අඹරෝරේ

මහ පිරිවෙන්පති පෑලියගොඩ විදුලකරේ
කුලපති සේ වැඩසිටි කැලණිය සරසවියේ
නිලතල කොතෙකුත් ලැබුණිද සිල්වත් දිවියේ
මහ මෙර සේ නොසැලූණිෟ අස්ථිර ජීවිතයේ

සඟ නාහිමි කොළඹ හලාවත දෙදිසාවේ
නිලතල දැරූ ලෝ බොදු සමුළුවෙ ඉතිහාසේ
සාසන ආරක්ෂක මණ්ඩල මුල් පුටුවේ
වැඩ සිට කළ සේවා අපමණි දිවි තලයේ

අග්ග මහා පණ්ඩිත සම්මාන පුද ලද
දස දහසක් දරුවන්ට ඇඳුරිඳු වූ රට
සඟ ශෝභන ගුණයෙන් පිරි නිර්මල හදවත
නිවන් පුරට යන ගමනට වැඩිදුර හෙම නැත

සදහම් මුතු වරුෂාවෙන් දියතම තෙත් කළ
සිත්තම් කළ රූ වන් දුටු දුටු නෙත් සනහන
පින්දම් කෙරුමට කාටත් මංපෙත් පෑදුව
උත්තම නාහිමි පායුග වැඳුමට අවසර

කලාභූෂණ කිවිපති
සරත් විමලසිරි

advertistmentadvertistment
advertistmentadvertistment