සසුනඹර එකලු කළ සිතුල්පව්වේ නාහිමියෝ අපවත් වෙති

176

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නායක හාමුදුරුවෝ අපවත් වෙති. උන්වහන්සේ අපවත් වන විට 83 වැනි වියේ පසු විය. මේ පෙළගැසෙනුයේ මැටරඹ හේමරතන නායක හාමුදුරුවන්ගේ ගිහි ජීවිතයේ සහ පැවිදි දිවියෙන් බිඳකි.

රුහුණු රට ගාලු පුරවරයේ ඓතිහාසික යටගල ග්‍රාමයට සමීපව පිහිටි මැටරඹ නම් සුන්දර ගම් පියසේ ඈගන්තොල්ල වත්ත නිවසෙහි ජීවත් වූ අක්මීමන පල්ලියගුරුගේ ඇලිස් මහත්මිය හෙවත් යටගල හාමිනේ, අහංගම නානායක්කාර ගමගේ ජේමිස් අප්පුහාමි යන පින්වත් දම්පතීන්ගේ පස්වැනි දරුවා ලෙස උපත ලද මෙම කුල කුමරුවා සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියන් තිදෙනකුද උරුම කරගත්තෝ ය.

සැබෑ බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු මේ පින්වත් දරුවාට ගමේ පන්සල කෙරෙහි තිබූ ලැදියාව හා බැඳීම අප්‍රමාණ විය. එමෙන්ම මූලික අධ්‍යාපනය හැදෑරීමේ දී නිවසට මඳ දුරකින් පිහිටි මැල්කම් විද්‍යාලය වෙත දරුවා ගමන් කළේය. මේ අතර එක් දිනක් මවුපියන් හා යටගල විහාරයට වන්දනාමාන කරන්නට ගිය මොහොතකදී ඉලුක්පිටියේ ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේ මුණගැසුණි. උන්වහන්සේ මෑණියන්ගෙන් ඉල්ලා සිටියේ පිරිමි දරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු ශාසනයට පූජා කරන ලෙසයි.

ගමේ පන්සලේ නායක හාමුදුරුවන් වහන්සේගේ ඉල්ලීම ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත දැමිය නොහැකි බව ඉතා වගකීමෙන් වටහාගත් මෙම මෑණියන් කාලයක් තිස්සේ සිතාමතා නිවැරැදිව හිත හදාගෙන මෙම කුල කුමරුවා විහාරස්ථානයට භාර දුන් අතර උගත මනා බණ දහම් හදාරා අනතුරුව ඉලුක්පිටිය ජිනරතන නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස මැටරඹ හේමරතන නමින් ප්‍රවෘජ්ජා භූමියට පත්විය.

ප්‍රවෘජ්ජා භූමියට පත් වීමෙන් පසුව විහාරස්ථ හෙට්ඨාචල පිරිවෙනෙහි මූලික අධ්‍යාපනය හදාරා ගුණ නුවණින් පිරි දක්ෂ භික්ෂුවක් බවට පත්වෙමින් ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ ආදරය හා කරුණාව ද දිනා ගනිමින් වැඩ සිටි අතර තත් විහාරාධිපති පූජ්‍යපාද වත්තෙහේනේ රතනසාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් යුතුව මහනුවර මල්වතු මංගල උපෝසථාගාරයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගන්නා ලදී.

වර්ෂ 1891 දී කවි කුලතිලක කලහේ ශ්‍රී ගුණරත්න නාහිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ යටගල හෙට්ඨාචල පිරිවෙන් ආයතනයෙහි දීප්තිමත් ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය හැදෑරූ අප නාහිමිපාණන් වහන්සේ බහුශ්‍රැත පඬිරුවනක් බවට පත්විය.

අනතුරුව එම පිරිවෙන් ආයතනයෙහිම ආචාර්යවරයකු ලෙස ක්‍රියාකළ උන්වහන්සේ ඉතා පුළුල් ධර්ම ශාස්ත්‍රීය සේවාවක් සිදු කරනු ලැබීය. මෙම පිරිවෙන් ආයතනය වනාහි බොහෝ උගතුන් විද්වතුන් දැයට දායාද කළ ශ්‍රේෂ්ඨ අධ්‍යාපන ආයතනයක් ලෙස අදට ද හැමදෙනා අතර ජනප්‍රියත්වයට පත් වී තිබීම විශේෂත්වයකි. පසු කලෙක අපේ නායක හාමුදුරුවන් වහන්සේ මෙම පිරිවෙන් ආයතනයෙහි පරිවේණාධිපති බවට පත්වෙමින්ද, කෘත්‍යාධිකාරී බවට පත්වෙමින්ද, පිරිවෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරට පත්වෙමින්ද ක්‍රියා කිරීම විශේෂ කරුණකි. එමෙන්ම යටගල විහාරස්ථානයට සම්බන්ධ අනෙකුත් විහාරස්ථාන පිළිබඳව ද සොයා බැලීම සඳහා මුන්වහන්සේගේ කාරුණික අවධානය යොමු වූයේ, තම ගුරුදේවෝත්තම පූජ්‍ය පණ්ඩිත වත්තෙහේනේ පියරතන නාහිමියන් වහන්සේගේ හදිසි අපවත් වීමත් සමගය.

මේ අතර අක්මීමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී තනතුරෙන්ද අපේ නාහිමියන් වහන්සේ පිදුම් ලැබීම තවත් සුවිශේෂී කරුණකි. කෙතරම් ශාසනික, ආගමික, සාමාජික, වගකීම් දැරුවත් තම ශාස්ත්‍රීය මෙහෙවර අමතක නොකළ අපේ නාහිමියන් වහන්සේ උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා, ඉන්දු ආර්ය සංස්කෘතිය, අපතේ යන අධ්‍යාපන සම්පත් ආදී බොහෝ ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කරන්නට පවා ඉදිරිපත් වීම වටිනාකමක් ගෙන දෙන කරුණකි. යටගල රජමහා විහාරය, සිතුල්පව්ව රජ මහා විහාරය, මඟුල් මහා විහාරය, යද්දෙහිමුල්ල වැල්ලේ දේවාලය, යද්දෙහිමුල්ල අමරසිංහ ආරාමය, බෝධිරාජ විහාරය, උණවටුන සේලුත්තරාරාමය සහ තල්පෙ උතුර ශ්‍රී ගුණරතන ආරාමය අම්පිටියාගොඩ යන විහාරයන්හි ආධිපත්‍යය අප නාහිමිපාණන් වහන්සේ වෙත පැවරුණි. වර්තමානය වනවිට මෙම සියලු විහාරස්ථානයන් හි ආගමික ශාසනික හා සාමාජික කටයුතු සියල්ල අප නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය මැද සිදුවීම සුවිශේෂී කරුණකි. සුවපහසු දිවියට වඩා චාම් සරල ගති පැවතුම් අනුව ගත සිත නිවාගෙන ශාසන බ්‍රහ්මචරියාවේ හැසිරීමේ වැඩි කැමැත්ත නාහිමිපාණන් වහන්සේ සතුවන නිසා ඓතිහාසික සිතුල්පව්ව පුණ්‍ය භූමියට උන්වහන්සේ වැඩි කැමැත්තක් දක්වන බව මගේ හැඟීමයි.

දෛනික ආගමික භාවනා කටයුතු සමග පිරිත් දේශනා පැවැත්වීම ධර්ම සාකච්ඡා පැවැත්වීම වහන්සේ ඉතාමත් කැමැත්තෙන් සිදු කරන ආගමික පිළිවෙත්ය. සොබා සෞන්දර්යයෙන් අනූන සිතුල්පව්ව වන පෙදෙස තම පණටත් වඩා වැඩියෙන් ඉතා ඉහළ තක්සේරුවක් තබා කටයුතු කරන නාහිමිපාණන් වහන්සේ ගහකොළ කෙරෙහි සතා සිවුපාවා කෙරෙහි ඇත්තේ අපරිමිත වූ ආදරයකි. දැඩි නියං කාලයේදී ඈත දුර බැහැර සිට වතුර බවුසර්වලට ගෙන්වාගෙන සතුන්ගේ පිපාසය නිවන්නට තරම් නාහිමිපාණන් වහන්සේගේ සිත කරුණාබරිත ය. දරුණු වග වළසුන්ගෙන් ගහන මෙම වනාන්තරයේ ආරක්ෂිතව වැඩ සිටීමට හැකියාව ලැබී ඇත්තේද ගහකොළ කෙරෙහි සහ සතා සිවුපාවා කෙරෙහි නාහිමිපාණන් වහන්සේගේ සිත තුළ ඇති අප්‍රමාණ කරුණාව දයාව හා මෛත්‍රිය නිසාම යැයි හැඟේ.

ඈත දුර බැහැර සිට සිත නිවා ගැනීමේ අදිටනින් මෙම සිතුල්පව්ව පුණ්‍ය භූමිය වෙත ළඟා වන බොහෝ ජනතාව උදෙසා ජීවිතාවබෝධය ලබා දෙන්නට අප නාහිමිපාණන් අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරනු ලැබීම ප්‍රසංසනීයයි.

වර්තමානය වන විට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක තනතුරෙන් පිදුම් ලබා ඇති නාහිමිපාණන් වහන්සේ, බුරුම දේශයේ පූර්ණ රාජ්‍ය මැදිහත්වීම සහ මහ සඟරුවනේ ආශිර්වාදය ඇතිව අග්ගමහා පණ්ඩිත ගෞරව නාමයෙන් පවා පිදුම් ලැබූයේ උන්වහන්සේ අතින් සිදුවන අනභිභවනීය සේවාව නිසාය.

මෝරන වී කරල නැවෙන්නාක් මෙන් නාහිමිපාණන් වහන්සේ ගෞරව නාම තනතුරු වගකීම් සියල්ල හමුවේ නිහතමානීව ක්‍රියාකිරීම නම් ඇදහිය නොහැක. එතරම්ම පරිණතභාවයක් උන්වහන්සේට ලැබුණේ සැබෑ දැන උගත්කම් නිසා යැයි පැවසීම අතිශයෝක්තියක් නම් නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment