සසුනඹර එළිය කළ දකුණු ලක මිණි පහන

258

ආදාහන පූජෝත්සවය හෙට

ගාල්ල යටගල රාජමහා විහාරය, රුහුණු මාගම සිතුල්පව්ව රාජමහා විහාරය, රුහුණේ මඟුල් මහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති හෙට්ඨාචල පිරිවෙන් අධ්‍යක්ෂ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහාපණ්ඩිත ගෞරවාර්හ මැටරඹ හේමරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වී වදාළෙන් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය මෙම මස (05) අඟහරුවාදා ගාල්ල යටගල ඓතිහාසික රාජ මහා විහාර භූමියේ දී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ.

දක්ෂිණ ලංකාවේ ගාලු නගරයට නුදුරුව පිහිටි මැටරඹ නම් සුන්දර ගම්මානයෙහි 1941 සැප්තැම්බර් මස 17 දින අප නාහිමිපාණන් වහන්සේ ජන්මලාභය ලැබූහ. නෙල්සන් නානායක්කාර නම් වූ උන්වහන්සේ ගිහි කල මූලික අධ්‍යාපනය ලැබුවේ යටගල මැල්කම් බෞද්ධ මිශ්‍ර පාසලෙනි. නෙල්සන් කුමරුවා කුඩා කල සිටම අම්මාගේ ශ්‍රද්ධාවන්ත දිවියෙන් ඔපවත් විය. අම්මා සෑම සන්ධ්‍යාවකම පාහේ ගැමි කතුන් ද සමග යටගල විහාරයට පැමිණීම සිරිතක් කොට ගෙන පැවතුණි. විහාරයට ගිය නෙල්සන් කුමරුවා කුඩා කලම මිහිරි හඬින් ගාථා කියවීමෙහි ශූරයෙකු විය. මෙම විහාරයේ විහාරාධිපතිව වැඩ සිටි වත්තහෙනේ පියරතන නායක මාහිමිපාණන් වහන්සේ මෙම කුමරුවා පැවිදි කරන්නට දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව 1955 අප්‍රේල් මස පස්වැනිදා බුදු පුතෙකු ලෙස සිරිලක් සඟ සසුන සෝබමාන කරන්නට නෙල්සන් කුමරුවා මැටරඹ හේමරතන නමින් පැවිදි බිමට පත් විය.

සසුනඹර එළිය කළ දකුණු ලක මිණි පහන

නාහිමිට අවසන් ගෞරව
අපවත්වී වදාළ සිතුල්පව්ව රජමහා විහාරාධිපති අතිපූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ ශ්‍රී දේහයට එම විහාරස්ථ දායක සභාවේ උප සභාපති හා කැලණි රජමහා විහාරයේ බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා අවසන් ගෞරව දැක්වූ අවස්ථාව. පූජ්‍ය ලේල්වල සමිත හිමියෝ ද අසල වෙති.

උන්වහන්සේගේ මූලික භික්ෂු අධ්‍යාපනය ගාල්ලේ හීනැටිගල විද්‍යා කාන්ති පිරිවෙනෙන් ලබා ප්‍රාචීණ අධ්‍යාපනය ගාල්ල හෙට්ඨාචල පිරිවෙණෙන් සහ කොළඹ මරදාන ශ්‍රී ලංකා විද්‍යාලය පිරිවෙණෙන් සපුරා ගත්හ. 1965 වසරේ දී මහනුවර මල්වතු මහා විහාරයේ දී උපසම්පදාව ලද අප නාහිමිපාණන් වහන්සේ 1976දී රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව ගුරු අධ්‍යාපන පුහුණුව සම්පූර්ණ කළහ. විද්‍යොදය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය සම්පූර්ණ කළ අප නාහිමිපාණන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියත් සම්පූර්ණ කළහ.

1976 දී ගාල්ල යටගල රාජමහා විහාරස්ථ හෙට්ඨාචල පිරිවෙනෙහි පරිවෙණාධිපති ධුරයට පත්ව මෙම පිරිවෙණ ජ්‍යෙෂ්ඨ පිරිවෙනක් බවට පත් කරවා උපාධි අධ්‍යයනයට අවශ්‍ය පහසුකම් ද සපුරාලීය. ප්‍රවීණ ගී පද රචක රඹුකන සිද්ධාර්ථ හිමියන් වැනි විශිෂ්ට ගිහි පැවිදි සිසු පරපුරකට ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන්නට මෙම පිරිවෙණ ඉතා ඉහළ මට්ටමකින් උන්වහන්සේ දියුණු කළහ.

තම ගුරු දෙවි වත්තෙහේනේ රතනසාර නාහිමියන් රැකබලා ගනිමින් සියලු පහසුකම් සැපයූ අප නාහිමියන් උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු 2004 දී විහාර ගණයේ ආධිපත්‍යයට පත් වූහ. එමෙන්ම උන්වහන්සේ යටගල රජ මහාවිහාරයෙහි පුස්තකාල ගොඩනැගිල්ල දෙමහල් දාන ශාලාව සුවිසල් සංඝාවාස මන්දිරය සහ ශිෂ්‍ය නේවාසිකාගාරය උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදි විය. දෙවන පෑතිස් යුගයට දිවයන ඉතිහාසයක් ඇති ඓතිහාසික ලෙන් විහාරය දඹදෙණි යුගයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහුගේ අග්‍රාමාත්‍ය දේව ප්‍රතිරාජයන් විසින් ඉදිකළ සැතපෙන බුද්ධ ප්‍රතිමාව අදත් හොඳින් සංරක්ෂණය කර තබන්නට අප නාහිමියෝ ක්‍රියා කළහ. මේ නිසාම මෙම පුදබිම ගාලු දිසාවේ ප්‍රධාන පුදබිමක් බැවින් ශ්‍රී ලංකා රජයට තොරතුරු ඉදිරිපත් කර යටගල රජමහා විහාර භූමිය පූජා භූමියක් ලෙස රාජ්‍ය සම්මත කරන්නට උන්වහන්සේට හැකි විය.

අනුරාධපුර යුගයට දිව යන ඓතිහාසික සිද්ධස්ථානයක් වන සිතුල්පව්ව විසිවැනි සියවස සමාරම්භයේ පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගැනීමෙන් පසු 1917 දී යටගල රාජමහා විහාරයේ විසූ කලහේ ගුණරතන හිමියන් ප්‍රථම විහාරාධිපති ධුරයට පත්වීමෙන් මෙම විහාරය යටගල රාජමහා විහාරයට අයත් පුදබිමක් බවට පත්විය. අප මැටරඹ හේමරතන නා හිමියන් වහන්සේ පසුගිය කාල පරිච්ඡේදය පුරාම මෙහි වැඩ සිටිමින් සිතුල්පව්ව සියලු පහසුකම් වලින් යුත් අංගසම්පූර්ණ ඓතිහාසික පූජා භූමියක් ලෙස සංවර්ධනය කරන්නට මුළු කාලයම කැප කළහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මා මෙහි දායක සභාවෙහි සභාපතිවරයා බවට පත් කොටගෙන රාජ්‍ය අනුග්‍රහය නොමදව ලබා වර්තමානයේ සිතුල්පව්ව ඉතා විශිෂ්ට පූජා භූමියක් ලෙස සංවර්ධනය කර තිබේ.

ගත් කතුවරයෙකු ලෙස උන්වහන්සේ ග්‍රන්ථ රාශියක් රචනා කර තිබේ. උසස් පෙළ බෞද්ධ ධර්ම සංග්‍රහය, ලේඛන රේඛා වන්දනා ගාථා, ඓතිහාසික මඟුල් මහා විහාරය වැනි ග්‍රන්ථ ඒ අතර වෙයි. විහාරස්ථාන අටක ආධිපත්‍ය උසුලමින් එහි පරිපාලන කාර්යයන් ශිෂ්‍ය බාලාදීන්ට පවරා අනතිමානී ගුණයෙන් සිනාමුසු මුහුණින් අතිශය කාර්යබහුල දිවිපෙවතක් උන්වහන්සේ ගත කළහ.

උන්වහන්සේගේ මෙහෙවර ඇගයූ මල්වතු මහා විහාරීය මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක සංඝ සභාව විසින් උන්වහන්සේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ධුරයට පත් කොට වදාළහ. එසේම එම සංඝ සභාවේ උපාධ්‍යාය තනතුරට සඳහා ද උන්වහන්සේ තෝරා පත්කර ගත්හ. එපමණක් නොව ශ්‍රී ලංකාවේ විශිෂ්ට යතිවරයෙකු විශේෂයෙන් ඇගයෙන අග්ග මහා පණ්ඩිත ධුරය බුරුම රජයෙන් ප්‍රදානය කෙරිණි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ විශ්‍රාමලත් ධර්මාචාර්ය ලේල්වල සමිත හිමියන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ කෙහෙල්වල සුමංගල හිමියන් ඇතුළත් ශිෂ්‍යයන් දහනම දෙනෙකු සකසා ශාසනික අධ්‍යාපනික මෙහෙවරට යොදවා වදාළ අප නායක මාහිමිපාණන් වහන්සේ දක්ෂිණ ලංකාවට පමණක් නොව ශ්‍රී ලාංකේය වර්තමාන සම්බුද්ධ ශාසනය බැබළවූ ඉතා ශ්‍රේෂ්ඨ මහා පඬිරුවනකි. ආදර්ශවත් භික්ෂු දිවියක් ගෙවමින් ගිහි පැවිදි දෙපිරිසගේ ම මහත් වූ බුහුමන් ලබමින් 83 වසක් ආයු වළඳා අපවත් වී වදාළහ.

උපාලි සමූහ ව්‍යාපාරය 1988 සිට වාර්ෂිකව පවත්වන පොසොන් ආලෝක පූජාවට උන්වහන්සේ ලබාදුන් අනුශාසකත්වය, මඟපෙන්වීම අතිමහත්ය.

උන්වහන්සේ නිවනින් සැනසේවා!

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ
මහාචාර්ය අගලකඩ සිරිසුමන නාහිමි
බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක

advertistmentadvertistment
advertistmentadvertistment