සහජීවනය නෑ කියන රටේ බුදු දහම උගන්වන මුස්ලිම් පල්ලියක්

573
මුස්ලිම්වරුන්ගේ ආගමික ඉගැන්වීම් සම්බන්ධව මවුලවිවරයකු මහා සංඝරත්නය දැනුවත් කළ අයුරු.

ආගමික සංහිඳියාවට මහනුවරින් මාවතක්…

පල්ලියේ කුරාණයත් පන්සලේ ත්‍රිපිටකයත් එකම හඬකින් ….

මද්‍රසා පාසලක ගැයෙන බුදුදහමේ ගාථා හඬ

අපට වුවමනා කරන්නේ එකාවන්ව ජීවත්වන රටක්…..!

කටුකැලේ ජුම්මා පල්ලියේ සිද්ධික් මහත්තයාත් බහිරවකන්දේ විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද ස්වාමින්වහන්සේත් එකහඬින් දේශනා කරන්නා වාගේය අපට ඇහුණේ….

මේක තරමක් නුහුරු නුපුරුදු අත්දැකීමක්… ඒත් අපේ රටට වුවමනා කරන්නේ මේ වගේ ජාති ආගම් කුලමල භේද නැති හැමදෙනාම ඒකාවන්ව වෙසෙන පසුබිමක්, පරිසරයක්, සමාජයක්.

ලාංකේය ජන සංස්කෘතිය යනුම විචිත්‍ර වර්ණ සංකලනයකි. බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම් ආගමික සම්ප්‍රදායන්ගෙන් මෙන්ම එම සම්ප්‍රදායන් පෝෂණය කළ ජනවාර්ගික හැඩතලවලින් විචිත්‍ර වුණු ඒ සංස්කෘතික මහෝඝය දේශපාලනික අශිෂ්ඨකම් නිසා පටු හුදකලා වර්ණ තීරු බවට පත් වී තිබූ වකවානුවක් පසුකරමින් සිටිමු.

එවැනි පරිසරයක අපේ සැබෑ ශ්‍රී ලාංකික වර්ණය යළිත් කුළු ගන්වන විශිෂ්ට ප්‍රයාමක් ගැන ඇසෙමින් තිබේ. ඒ මහනුවරිනි.

මේ රටේ ශිෂ්ට මිනිස්සු ප්‍රාර්ථනා කළේ පටු ගෝත්‍රික ආකල්ප බිඳී පල්ලියකත් පන්සලකත් අන්තරය නැතිවී මනුෂ්‍ය අධ්‍යාත්මයට අමතන දිනයක් ගැනය. ඒ දවස උදා වී තිබේ.

මේ සටහන ඒ සොඳුරු කතාව ගැනය.

මහනුවර කටුකැලේ ජුම්මා… පල්ලියේ ත්‍රිපිටක අභිධර්මය සහිත බුදු දහම ඉගැන්වීම ආරම්භ වී ඇත. ඒ දැක ගැනීමට මහා සංඝරත්නය පල්ලියට වැඩම කළහ. එය අපූරු මොහොතක් විය.

මද්‍රසා පාසල් පිළිබඳ පටු බාල නොහොබිනා කතා රට තුළ රැව් පිළිරැව් දුන් අයුරු අපට මතකය. එම පාසල්හි සැබෑ අරුථ අත්විඳින්නට අවස්ථාව ලද කල යටගිය දවස කතා ගැන අපුලක්ම දැණිනි. අද වන විට ජුම්මා පල්ලියේ මද්‍රසා පාසලේ බෞද්ධ දර්ශනය විනය පාලි අභිධර්ම සහිත ත්‍රිපිටකය උගන්වන්නට පටන්ගෙන තිබේ. දැන් මුස්ලිම් ලේබලය අවැසි නැත. පල්ලියේ දෝංකාර දෙන්නේද බුදු දහමය. මේ සා සතුටු විය හැකි තවත් සංහිඳියාවක් ලොව කොතැනකවත් ඇත්ද ….?

ජාතික හා ආගමික සහජීවනය යථාර්ථයක් බවට පත්කරමින් ත්‍රිපිටකය හා අභිධර්මය මූලික කරගනිමින් විෂයක් ලෙස බෞද්ධාගම මහනුවර කටුකැලේ ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයට අයත් අරාබි මද්‍රසා පාසලේ අධ්‍යාපනය ලබන සියලුම සිසුන්ට ඉගැන්වීමට එහි පාලක මණ්ඩලය පියවර ගෙන තිබිණි. අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන ආකාරය සොයා බැලීමට ජුම්මා මස්ජිදයේ ආරාධනාවකට අනුව උඩරට අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය කොනකලගල උදිත නාහිමි ඇතුළු හැට නමකින් යුත් භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් ඉස්ලාම් දේවස්ථානයට වැඩම කළහ. එම අවස්ථාවට බහිරවකන්ද විහාරාධිපති යටවත්තේ ධම්මානන්ද හිමියෝද වැඩියහ.

උන්වහන්සේ මෙම මොහොත පිළිබඳව අපමණ සතුටකින් පිරිස ඇමතූහ.

සහජීවනය නෑ කියන රටේ බුදු දහම උගන්වන මුස්ලිම් පල්ලියක්

“ මේ කාර්යයට මුල් වුණේ, උඩරට අමරපුර නිකායේ අනුනායක පූජ්‍ය කොනකලගල උදිත ස්වාමින් වහන්සේ. උන්වහන්සේ සමග එතනට යනතුරු එහි අරුථ මා දැන සිටියේ නෑ. මම මේ වගේ වැඩසටහනක් තනිව කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශයේදී එතැනත් සිදුකළේ ආගමික සංහිඳියාව ඇති කරමින් වැඩසටහන්. මේ වැඩසටහන තුළ මා දකින සුවිශේෂත්වය පල්ලියට යෑමට අවස්ථාව ලැබීමයි.. මේ සෙසු ආගම්වල කිසිදු පුද්ගලයෙක් මුස්ලිම් පල්ලියකට යන්නේ නැහැ. ඒ නිසා මිනිසුන්ගේ සිත්වල තිබෙන්නේ ඒ පිළිබඳව සැකයක් සංත්‍රාසයක් කුකුසක්. ඒ සියල්ල තුරන් කරන්න මෙය ඉවහල් වුණා.

මව්ලවිවරයෙක් ලෙස මද්‍රසා පාසලකින් උගන්වන්නේ කුමක්ද කියන දේ මනාව අවබෝධ කරගන්න මෙය ඉතා හොඳ අවස්ථාවක් වුණා. මද්‍රසා පාසලක් තුළ දී කුරාණය ඉස්ලාම් ධර්මය පුරුදු පුහුණු කරන අතර සමාජයේ විවිධ මත පිළිගත යුත්තේ කොහොමද බැහැර කළ යුත්තේ කොහොමද කියන කාරණය මැනවින් උගන්වනු ලබනවා. සියලු ජාතීන්ට සියලුම ආගම් අදහන අයකුට මෙතන සිදුවන දෙය බලාගෙන යා හැකියි.

මුස්ලිම් පල්ලියේ මේතාක් පැවැති ක්‍රම පිළිබඳව පොදු මහත් ජනතාවට අවබෝධ කරදීමට ඒ අය ඉදිරිපත් වෙලා ඉන්නවා. සමස්ත ජනතාවටම මෙතනට ගිය හැකියි. ලංකාවේ සෑම මුස්ලිම් පල්ලියක්ම ජනතාවට විවෘත වන බව අපට හැඟී යනවා.”

ත්‍රිපිටකයේ සහ ශුද්ධවූ කුරාණයේ ඇති සමානාත්මක ඉගැන්වීම පිළිබඳව මෙන්ම ඉස්ලාම් ආගම හා බුදු දහම අතර පවතින සමානතා පිළිබඳව ද මෙහිදී මවුලවිතුමන්ලා විසින් මහා සංඝරත්නය දැනුවත් කරනු ලැබූහ. ශුද්ධ වූ කුරාණයේ සිංහල පිටපත් මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරුණි.

සහජීවනය නෑ කියන රටේ බුදු දහම උගන්වන මුස්ලිම් පල්ලියක්

බෞද්ධාගමික සිද්ධස්ථානවල ආගමික කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් දැකබලා දැනුවත් වීම සඳහා ඉස්ලාම් මවුලවිතුමන්ලාට සහ සිසුන්ට ඉදිරියේදී ආරාධනාවක් සිදු කරන බව කොනකලගල උදිත අනුනාහිමියෝ ද මෙම අවස්ථාව අගයමින් කීහ. මෙදින ජුම්මා මස්ජිද් ඉස්ලාම් දේවස්ථානයේ සියලුම ආගමික වතාවත් සිංහල භාෂාවෙන් සිදු කිරීම ද විශේෂත්වයකි. ඒ සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සම්මේලනයේ සභාපති කටුකැලේ ජුම්මා පල්ලියේ ලේකම්, කේ. ආර්. ඒ. සිද්ධික් මහතා ය.

මේ වගේ වැඩසටහන් පල්ලිය ඇසුරෙහි ආරම්භ කළේ අද ඊයේ නෙවෙයි. දැනට වසර හයකට හතකට කලින් සිටම අපි මෙවැනි සහයෝගිතා වැඩසටහන් ආරම්භ කළා. කටුකැලේ ජුම්මා පල්ලිය ආශ්‍රිතව සහයෝගිතා මධ්‍යස්ථානයක් (harmony center) ආරම්භ කර තිබෙනවා. අපි මෙය සැලසුම් කළේ සිංගප්පූරුවේ මෙවැනි ස්ථානයක් දැකීමෙන් පසුවයි. අපේ එකම අරමුණ සමස්ත ජනතාවගේ සිතිවිලි එකිනෙක යා කරමින් සමස්ත ජනතාව තුළ මානුෂීය හැඟීම් බැඳීම් ඇති කරලීමයි.

අල්කුර්කා මද්‍රසා පිරිවෙන හරහා අපි මව්ලවිවරුන් වීමට ඉගෙන ගන්නා පිරිස් සඳහා ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවා. ත්‍රිපිටකය සහ බෞද්ධ ආගම තුළ ඇති ගැඹුරු ධර්මය මව්ලවිවරුන්ට තිබිය යුතුයි. ඉදිරි අවුරුදු පහක කාලය තුළ අපි අපේක්ෂා කරනවා මව්ලවිතුමන්ලාට බෞද්ධ ආගම පිළිබඳව පුළුල් දැනුමක් ඇති කරන්න. මොකද ඔවුන්ගේ දේශන ඔස්සේ රටේ සමස්ත මුස්ලිම් ජනතාවට බෞද්ධ දර්ශනය පිළිබඳව ගැඹුරු අවබෝදයක් ඇති කළ හැකිවනු නියතයි.

ඉදිරියේදී භික්ෂුන් වහන්සේලා මෙතනට වැඩම කර මින් ඉගැන්වීමේ කටයුතු සිදු කරනු ලබනු ඇති. අද රටේ ප්‍රශ්න වැඩියෙන් තිබෙන්නේ භාෂාව නිසයි. භාෂාව පිළිබඳ දැනීම ඇති නැති වීම ඔස්සේ මිනිසුන්ගේ සම්බන්ධතා ඇති නැති වෙනවා. රටේ සෑම පුද්ගලයකුටම ආගම භාෂාව පිළිබඳව හැඟීමක් තිබිය යුතුයි. පල්ලියට සහ මද්‍රසා පාලසට වෙන වෙනම පාලක මණ්ඩල ඉන්නවා. ඒ අය පියවර අරන් තිබෙනවා මෙවැනි කටයුතු ඉදිරියට කරගෙන යමින් රටේ සමස්ත ජනතාව තුළ ආගම් භේද ජාති භේද නැති කරලන්නට.

සහජීවනය නෑ කියන රටේ බුදු දහම උගන්වන මුස්ලිම් පල්ලියක්
කටුකැලේ ජුම්මා පල්ලියේ කාරක සභාවේ ලේකම්කේ . ආර්. ඒ. සිද්ධික් මහතා කොනකලගල උදිත අනුනාහිමියන් වෙත කුරාණයේ සිංහල පිටපතක් පිළිගැන්වූ අයුරු.

සහජීවනය කියන්නේ මෙයයි. මේක ස්වාධීන විනයක්. ජාතීන් අතර අන්‍යොන්‍ය සුහදතාවයක් ආගම් අතර අන්‍යොන්‍ය අවබෝධයක්. සෑම ආගමක්ම ජනතාවට කියන්නේ යහපත් ජීවිතයක් ගත කරන්න කියා.

වැරදි ආකල්ප නැති විය යුතුයි. මේ රටේ සෑම පල්ලියක් ළඟම තිබෙන කෝවිල් පන්සල් කිතුනු පල්ලි එකට එකතු කරන වැඩසටහන් ඇති කරනවා. කුමන හෝ උත්සව අවස්ථාවක වුවත් අපි සියලු දෙනාම එකට එකතු වෙනවා. මගේ සතුටත් හැමෝම එකට එකතු වෙලා ඉන්නවා දකින්නයි….”

ජීවිතයේ එළිය දකිමින් අඳුරින් ආලෝකය කරා යන්නට වෙර දරන පිරිස් අතර මොහොමඩ්ලා ෆාතිමාලා සුමනසිරිලා පාර්වතීලා පමණක් නොව සිල්වා අල්විස්ලා ද වෙති. මානසික සුවතාවය වෙනුවෙන් භාවනාව මේ හැම දෙනාටම රුකුලක් සපයයි. භාවනාව බෞද්ධාගම සමග බැඳී පැවතියද, ඉස්ලාම් ආගම අදහන්නන්ටත් කතෝලික ආගම අදහන්නන්ටත් කෝවිලේ හින්දු ආගම අදහන්නන්ටත් පොදුය. ඒ වග ආගමික නායකයන් සියල්ලෝම පිළිගන්නා සත්‍යයකි.

දැන් සිංහල දෙමළ අපට මුස්ලිම් පල්ලියේ කුරාණය කියවිය හැකිය. මුස්ලිම් අපට බුදුදහමේ හරය අවබෝධ කරගත හැකිය. සියලුම ආගම් එකට අත්වැල් බැඳ ගනිමින් මනුෂ්‍යත්වයේ ශක්තිය ලොවට පෙන්විය හැකිය. දේශපාලන මඩ ගොහොරුවක එරෙමින්, බඩට තුන්වේල කන්නට නැති තැනට රට ඇද දැමූ නරුමයන්ට ආගම් අතර ඇතිවන සංහිඳියාවෙන් ජාතීන් අතර සමගිය සමග බඩගින්න නිවාලන යථාර්ථය පෙන්වන්නට මෙයම අවස්ථාවක් කරගත හැකිය. මේ තදින් බැඳගත් ජාතීන් ආගම් අතර වූ අත්වැල තව තවත් ශක්තිමත්ව පෙරට ගෙන යමින් මිනිසත් බවේ සැබෑව ජුම්මා පල්ලියෙන් ලෝකයටම හඬගා කියන්නට අධිඨන් කර ගැනීම කාලෝචිත බවම හැඟී යයි.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment