සහනාධාර ගැන මිසක් අපි පොහොර වර්ගයක් ගෑන මැතිවරණ පොරොන්දු දුන්නේ නෑ…කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්මගේ

67

අලූත් වැඩකදී පොඩි පොඩි අඩුපාඩු සිද්ධවෙනවා තමයි

කිසිම දේශපාලනඥයෙක් මේ ප‍්‍රශ්නය ගැන කතා කළේ නෑ

මාධ්‍යවලට පුද්ගලික න්‍යාය පත‍්‍රත් තියෙනවා

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමට ප‍්‍රධාන වශයෙන්ම බලපෑ කාරණය වූයේ ගොවි ජනතාවගේ වකුගඩු ආරක්‍ෂා කිරීමය. නමුත් එම ව්‍යාපෘතියට එරෙහිව පාරට බැස්සේද එම ජනතාව ම ඒ සඳහා බලපෑ හේතුව කුමක්ද? එම කරුණ පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා දැක් වූ අදහස් මෙසේය.

ප‍්‍රශ්නය – රසායනික පොහොර අඩු මිලට ලබා දීම මේ රටේ ප‍්‍රධාන මැතිවරණ පොරොන්දුවක්ව පැවැතියා. ගොවි ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා එම පොරොන්දුව බොහෝ දුරට ඉවහල් වන්නට ඇති.

මේ ආණ්ඩුව මීළඟ මැතිවරණවලදී රසායනික පොහොර සඳහා සහනාධාර ලබාදෙන බවට මැතිවරණ පොරොන්දු ලබාදෙන්නේ කාටද?

පිළිතුර – පොහොර රසායනික ද කාබනිකද යන බව සලකා බැලූවේ නැහැ. සහනාධාර ලබාදුන්නේ පොහොර සඳහා. ඒ නිසා අද වනවිට රජය කාබනික පොහොර සහනාධාරය දිගටම පවත්වාගෙන යනවා. එම සහනාධාරය දිගටම ලබා දෙනවා.

ප‍්‍රශ්නය – මේ වනවිටත් විපක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකුම ඔවුන්ගේ රජයක් යටතේ රසායනික පොහොර ලබාදෙන බව ප‍්‍රකාශ කර තිබෙනවා.

ගොවිජනතාව අතරිනුත් රසායනික පොහොර අවශ්‍ය බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව ඉදිරි මැතිවරණවලදී විපක්‍ෂය රසායනික පොහොර ලබාදෙන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන්නොත් ඇතිවිය හැකි තත්ත්වය කුමක්ද?

පිළිතුර – කාබනික කෘෂිකර්මාන්තයට සහයෝගය ලබාදීම තමයි රජයේ ප‍්‍රතිපත්තිය. ඒ අනුව රජයේ සහනාධාරය දෙන්නේ කාබනික පොහොර සඳහා.

එතකොට ගොවි ජනතාව උද්ඝෝෂණ කළේ ඔවුන්ට සහනාධාර එපා රසායනික පොහොර ඕන බව පවසමින්. එතකොට ඔවුන්ගේ උද්ඝෝෂණයට අනුව රසායනික පොහොරත් දී තිබෙනවා. එසේ නොමැතිව රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීම පිළිබඳව කතිකාවක් නැහැ.

ප‍්‍රශ්නය – අතීතයේදී මහින්ද රාජපක්‍ෂ මහතා පවා රසායනික පොහොර සඳහා සහනාධාරයක් ලබාදීලා තිබෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණවල දී ආණ්ඩුවේ ඔය ස්ථාවරය වෙනස් වීමට ඉඩ තිබෙනවා නේද?

පිළිතුර – අද වනවිට රජය ඉන්න ස්ථාවරය මට කියන්න පුළුවන්. නමුත් එම තත්ත්වය ඉදිරියේදී වෙනස් වේවිද නැද්ද කියන එක මට අද කියන්න බැහැ.

ප‍්‍රශ්නය – කාබනික පොහොර හඳුන්වාදෙනවාට තමන් විරුද්ධ බව කිසිවකු ප‍්‍රකාශ කරන්නේ නැහැ. එසේ තිබියදී රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර හඳුන්වාදීමේ වැඩ පිළිවෙළට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු වූයේ එම ව්‍යාපෘතිය වෙනුවෙන් ජනාධිපතිතුමා සහ ඔබ පමණක් එම ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටිය නිසා නේද?

පිළිතුර – ඇත්ත වශයෙන්ම අපි ගන්න හොඳ තීන්දුව වෙනුවෙන් රජයත් අප වෙනුවෙන් සිටගන්නේ නැහැ. ඒ වගේම ගොවි ජනතාවත්, අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් වැඩි ප‍්‍රමාණයකුත් අප සමඟ සිටගන්නේ නැහැ. එම නිසා තමයි එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ.

පසුගිය මාස 7 තුළ මමත් ජනාධිපතිතුමාත් හැරුණුවිට එකම දේශපාලඥයෙක්වත් මේ ගැන කතා කළේ නැහැ. පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේ ඇති හොඳ පිළිබඳව ඒ අය කිව යුතුව තිබුණා. මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීමට ප‍්‍රධාන හේතුව තමයි රජය මේ වෙනුවෙන් පෙනී නොසිටීම. සෞඛ්‍ය අමාත්‍යාංශය පරිසර අමාත්‍යාංශය වෛද්‍යවරු ඇටිකෙහෙල් කාපු රිළව් වගේ තමයි සිටියේ. මේ ගැන කට ඇරියේ නැහැ.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන හැටි බලන්න කෝ. මේක අරගෙන රට වටේ යනවා.

රැස්වීම්වලට සෙනඟ ගෙන්වා ගැනීමට මේක පාවිච්චි කරනවා. පොලොන්නරුවේ රැස්වීම් තබන්නේ මේක ගැන කතා කිරීමට. ඒ තරම් පහත් තත්ත්වයට දේශපාලනය පත්වෙලා.

ඒ වගේම මාධ්‍ය ආයතනත් මෙම ව්‍යාපෘතිය විවේචනය කළා මිස කථිකාවක් හැදුවේ නැහැ.

ප‍්‍රශ්නය – කාබනික පොහොර හඳුන්වා දීමේ ව්‍යාපෘතිය පිළිබඳ කතා කිරීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නමත් සඳහන් වෙනවා. ඒ මහතා අපත් සමඟ අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ කාබනික පොහොර හඳුන්වාදීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බළකායට එතුමාත් නම් කළත්, සමාරම්භක උළෙල හැර එම කාර්ය සාධක බළකාය එකදු රැස්වීමක් හෝ නොපැවැත් වූ බව ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තිබෙන්නේ.

පිළිතුර – එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා කාර්ය සාධක බළකායක් පත් කළා. එම කාර්ය සාධක බළකාය එක් දවසක් හෝ රැස්වූයේ නැහැ. ඒක තමයි මම කිව්වේ කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස මගේ හිස මත පැටවුණු වගකීම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය නොලැබුණු බව.

ප‍්‍රශ්නය – රසායනික පොහොර තහනම් කිරීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ එම පොහොර බෝ නොවන රෝග සඳහා හේතුවන බව පැවසීම නිසයි. එම නිසා සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම ඒ සඳහා මැදිහත්විය යුතුව තිබුණා.

එසේ වුවත් සෞඛ්‍ය ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරු හෝ ඒ සම්බන්ධයෙන් කතා කළේ නැහැ නේද?

පිළිතුර – මෙම ව්‍යාපෘතිය අසාර්ථක වීම සඳහා හේතු ගණනාවක්ම තිබෙනවා. පළමු කාරණය තමයි රජය මේ වෙනුවෙන් පෙනී නොසිටීම. දෙවන කාරණය තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය ගල් ගිලපු බිල්ලෝ වගේ කටයුතු කිරීම. නමුත් ඊයේ සතුටුදායක දෙයක් සිද්ධ වුණා. ඊයේ මම මේ පිළිබඳව වත්මන් සෞඛ්‍ය ඇමැතිතුමා සමඟ කතා කළා. මේ වනවිට සෞඛ්‍ය ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් විශාල අඩු පාඩුවක් සිදු වී ඇති නිසා ඒ පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය පැහැදිලිව ම දන්නවා රසායනික පොහොර නිසා සෞඛ්‍යයට බරපතළ හානි සිදුවන බව. නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදාක පරීක්‍ෂණ සිදු කරලා නැහැ.

රසායනික මාෆියාව ඊටත් වඩා බලවත් ඒකයි.

ප‍්‍රශ්නය – ආණ්ඩුවට හිතවත් බව පැවසෙන මාධ්‍ය තිබෙනවා. එම මාධ්‍යවලත් ප‍්‍රධාන වශයෙන් ප‍්‍රචාරය වන්නේ රසායනික පොහොරවලට එරෙහි මතයන් තමයි. ඔවුන් ප‍්‍රචාරය කරමින් සිටින්නේ ‘දැන් සැපද කියන එක තමයි. කාබනික පොහොර භාවිතයට පක්‍ෂපාතීව කටයුතු කරන පුද්ගලයන් සිටියත් ඔවුන්ගේ මතයන්ට එම මාධ්‍යවල ඉඩ වෙන් නොවීම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර – ඔය මාධ්‍යවලට තිබෙනවා පෞද්ගලික න්‍යායපත‍්‍රයක්. එම න්‍යාය පත‍්‍රය හරියට ක‍්‍රියාත්මක වූයේ නැති නම් ඔවුන් ආණ්ඩුවට ගහනවා. ඔවුන්ගේ ව්‍යාපාරවලට සහයෝගය දුන්නා නම් ඔවුන් පාලනය වේවි.

ප‍්‍රශ්නය – නිසි ප‍්‍රමිතියෙන් යුතු නොවීම නිසා චීනයෙන් ඇනවුම් කරන ලද පොහොර තොගයක් ගොඩබෑම තහනම් කළා. නමුත් මේ වනවිට එම පොහොර සඳහා මුදල් ගෙවීමට අධිකරණයෙන් අවසර ලැබී තිබෙනවා. ඒ සඳහා වැය වන මුදලට වගකිව යුත්තේ කවුද?

පිළිතුර – එම ගනුදෙනුවේදී කිසිදු වංචාවක් සිදුවෙලා නැහැ. එම ටෙන්ඩරය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක ඇපකරයක් තිබෙනවා. ඒ සඳහා 6.7ක් ගෙවා තිබෙනවා. ඒ අනුව 1.7ක් වැඩිපුර ගෙවන්න වන්නේ.

ඒ ආකාරයට ගෙව්වත් යළිත් පොහොර ඒ සඳහා ලබා දෙනවා. එම නිසා එම ගනුදෙනුව මගින් රජයට කිසිදු පාඩුවක් සිදුවෙලා නැහැ. එම ගනුදෙනුව පිළිබඳව ඉදිරිපත් කරන අර්ථකතන වැරදියි. ටෙන්ඩර් පටිපාටියට අනුව අපගේ භාණ්ඩ ආනයනය කරන ලද නැවක් පැමිණිවිට 75%ක මුදලක් ගෙවිය යුතු වෙනවා. නමුත් අපි අධිකරණයට ගිය නිසා එම මුදල ගෙවීමට සිද්ධ වූයේ නැහැ. නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා මෙම ගනුදෙනුව පිළිබඳව සමථයකට පත්වෙන්න කියලා. ඒ අනුව තමයි දැන් කටයුතු සිද්ධ වී තිබෙන්නේ.

ප‍්‍රශ්නය- මේ වනවිට ගොවිජනතාවට විවිධ වර්ගයේ කාබනික පොහොර ලබාදී තිබෙනවා. නමුත් එම පොහොර දුඟද හමන බවට ගල් තිබෙන පස් තිබෙන බවට චෝදනා එල්ලවී තිබෙනවා. ඇත්තට ම මේ ආකාරයට පොහොර සම්බන්ධයෙන් ගැටලූවක් ඇතිවීම පිළිබඳව වගකිව යුත්තේ කවුද?

පිළිතුර – කාබනික පොහොර හඳුන්වාදීම අලූත් දෙයක්, අලූත් ව්‍යාපෘතියක්. එම නිසා පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි පිළිගන්නවා. ඒ අතරේ මෙම ව්‍යාපෘතිය තුළට ජාවාරම්කාරයනුත් රිංගලා තිබෙනවා. අපි තේරුම් ගන්න ඕනි අපි මේ හැප්පෙන්නේ, ලෝකයේ දෙවන මාෆියාව සමඟ කියන එක. මෙම ව්‍යාපෘතිය ආපසු හැරවීම සඳහා විශාල වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක වූවා.

ඇයි අපි මේ තීන්දුව ගන්නේ. එම තීන්දුව ගන්නේ රසායනික පොහොර අධිභාවිතය නිසා ඇති වී තිබෙන ගැටලූ නිරාකරණය කිරීම සඳහායි. 2004 දී ලංකාවට රසායනික පොහොර මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 4ක් ආනයනය කරලා තිබෙනවා. 2008 දී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 8ක් ආනයනය කරලා තිබෙනවා. එම ප‍්‍රමාණය 2012 වනවිට මේටි‍්‍රක් ටොන් ලක්‍ෂ 12ක් දක්වා ඉහළ ගිහින් තිබෙනවා. එම සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වෙනවා සෑම වසර 4කට වරක්ම රසායනික පොහොර භාවිතය මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 4කින් ඉහළ ගිහින් තිබෙන බව. මෙම පොහොර කොහෙටද යන්නේ. ඒවා ජලයට, වාතයට එක්වෙනවා.

මේ වනවිට සිටින වකුගඩු රෝගීන්ගෙන් 95%ක් ගොවි ජනතාව. ඇයි එහෙම වෙලා තියෙන්නේ.

ප‍්‍රශ්නය – රසායනික පොහොරවල වැඩිම බලපෑම එල්ල වන්නේ ගොවි ජනතාවට බව පැහැදිලි වුවත්, කාබනික පොහොර හඳුන්වා දීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ගොවි ජනතාව පෙනී සිටියේ නැහැනේ, ඊට හේතුව කුමක්ද?

පිළිතුර – අපි කට කැඩෙනකම් ඒ ගැන කිව්වා. නමුත් ඊට සවන් දුන්නේ නැහැ. අපිට රසායනික පොහොර ම දියව් කියලා පාරට බැස්සා.

ප‍්‍රශ්නය – රසායනික පොහොර තහනම නිසා මහකන්නයේ වගා කටයුතු පාළු වී ඇති බවට චෝදනා එල්ල වෙනවා. ඒ අනුව ඉදිරියේදී සහල් මෙන්ම එළවළු ද හිඟවිය හැකි බවත් වාර්තා වෙනවා නේද?

පිළිතුර – දැනට එළවළු සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව එළවළු සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් ඇති වෙන්න බැහැ.

මහකන්නයේදී ලක්‍ෂ 8 ක ප‍්‍රමාණයක් වී වගා කරලා තිබෙනවා. සමහරවිට අස්වැන්නේ් යම් අඩුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ලක්‍ෂ 8ක් වගා කරලා තිබෙන නිසා ලොකු බලපෑමක් වෙන්න බැහැ. අපි ඉදිරියේදී බලන්න ඕන, මහකන්නයේ අස්වැන්න කොහොමද කියලා.

ප‍්‍රශ්නය – කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන පත‍්‍රිකා විපක්‍ෂයේ දේශපාලඥයන්ගේ අතට පත්වන තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ ආකාරයට කටයුතු සිද්ධ වෙන්නේ කැබිනට් මණ්ඩලය තුළ ඔත්තු කාරයන්, වාර්තාකාරයන් සිටින නිසාද?

පිළිතුර – ඔය තත්ත්වය හැම ආණ්ඩු කාලයකදීම මෙන්ම සෑම කැබිනට් මණ්ඩලයක් තුළම ඇති වී තිබෙනවා.

ප‍්‍රශ්නය – ඇත්තටම කැබිනට් මණ්ඩලය තුළ සිටින වාර්තා කාරයන්, ඔත්තුකාරයන් කවුරුන් කියා ද ඔබ සිතන්නේ,

පිළිතුර – මම හරියට ම දන්නේ නැහැ කියන කෙනා කවුද කියලා.

ප‍්‍රශ්නය – මේ ආණ්ඩුව සන්ධාන ආණ්ඩුවක්. නමුත් එම සන්ධානය නියෝජනය කරන සමහර පක්‍ෂවල ප‍්‍රධාන ප‍්‍රතිපත්තිවලට විරුද්ධව පවා කටයුතු සිදුවන බවට චෝදනා එල්ල වෙනවා. යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඇමෙරිකානු සමාගමක් සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම නිසා ආණ්ඩුව විශාල අර්බුදයකට පත්වෙමින් තිබෙනවා නේද?

පිළිතුර – මෙහෙමයි. අපි දැන ගන්න ඕනී. එක් පැත්තකින් ආණ්ඩුවේ අදායම් අඩු වී තිබෙන බව. එම නිසා විදේශ ව්‍යාපෘතිවල ආධාර අපට අවශ්‍ය වෙනවා. එසේ නොමැතිව රට ඉදිරියට ගෙනියන්න බැහැ. අපි ළඟ මුදල් තිබෙනවාද? ඒ අතරේ ජනතාව විවිධ සහන ඉල්ලනවා. එම තත්ත්වය තුළ අපි කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක කල්පනා කළ යුතු වෙනවා.

ප‍්‍රශ්නය – ආණ්ඩුව නියෝජනය කරන ඇමැතිවරුන් ඇමෙරිකානු සමාගම සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන චෝදනා වැරදි බව ඔබ පවසනවාද?

පිළිතුර – ඔවුන් විවිධ කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුවේ පැත්තෙනුත් මේ පිළිබඳව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් අඩුවක් සිද්ධ වී තිබෙනවා. මෙම ගිවිසුම ඇති කර ගැනීමට පෙර ආණ්ඩුව තුළ මෙම ගිවිසුම ගැන කථිකාවක් ඇති වූවා නම් මෙම ප‍්‍රශ්නය පැන නඟින්නේ නැහැ.

සාකච්ඡා කළේ
එරික් ගාමිණී ජිනප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment