සහන කෝ… ගංවතුරේ බැහැගෙන විපක්‍ෂය – ප්‍රමිත සටනක

32

වන්දි නොදුන්නොත් බලා ගන්නම් – විපක්‍ෂ මන්ත්‍රීවරයෙක්

චණ්ඩි පාට් දාන්න එපා – ඇමැති ප්‍රමිත

දැන් ඔය කලබැගෑනිය නවත්වන්න – කථානායක

ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සහ වන්දි ලබා දීම් ප්‍රමාදවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) බහින්බස්වීමක් සිදුවිය. එහිදී ඇතිවූ එම තත්ත්වය මෙසේය.

හර්ෂණ රාජකරුණා මහතා-

ඇතිවූ ගංවතුර නිසා විශාල විනාශයක් සිදු වුණා. අපට සිදුවන ස්වාභාවික ආපදා සඳහා වන්දි ලබා දීමට යහපාලන රජයෙන් රක්ෂණයක් ආරම්භ කළා. තවමත් ඒ රක්ෂණය තිබෙනවාද?

එස්.එම්. මරික්කාර් මහතා-

කොළොන්නාවත් යටවුණා. ගියපාර මිලියන 23000ක් වන්දි දුන්නා. මම ඉල්ලනවා හානි ගැන තක්සේරු පටන් ගන්න කියලා.

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා- ආපදාවෙන් පසුව කරන්න ඕනා කටයුතු දැන් සිදු වෙනවා. ආපදා තක්සේරුව කරන්න සති කිහිපයක් යනවා. රක්ෂණය එක කාලෙක කළා ලංකාවේ සියලුම නිවාස. ඒ සඳහා ගෙවන වාරිකය ඉතාම බරපතල ගණනක්. ඉන් ලැබෙන ප්‍රතිලාභ ගැන ප්‍රශ්න තිබෙනවා. රජයකට කළ හැකි දේවල් තිබෙනවා. අපට රටක් බංකොලොත් කරන්න බෑ. අපි රජයක් ලෙස දෙන්න පුළුවන් සහනය දෙනවා. රජයට දරන්න පුළුවන් විදිහට තමයි සහන දෙන්නේ

(විපක්ෂ මන්ත්‍රීවරයෙක් යමක් කියයි.)

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා- මොකක්ද කියන්නේ? වන්දි දෙනවා… මොකක්ද ඉල්ලන වන්දිය. මන්ත්‍රීතුමා තර්ජනය කරලා අහන්න එපා. චණ්ඩි පාට් දාන්න එන්න එපා. රජයට දෙන්න පුළුවන් ගණන දෙනවා. මුළු රටේම වුණු හානිය ගැන තක්සේරු කරලා තිබෙනවා. ඒ නිසා චණ්ඩි පාට් දාගෙන එන්න එපා. චණ්ඩි පාට් දාලා ඉල්ලුවාට දෙන්න අපි සූදානම් නෑ.

කථානායක- දැන් ඔය කලබැගෑනිය නවත්වන්න

විපක්ෂ මන්ත්‍රීවරයෙක්- වන්දි දුන්නේ නැත්නම් බලා ගන්න පුළුවන්.

සුසිල් ප්‍රේමජයන්ත මහතා- මරික්කාර් මන්ත්‍රීතුමා මේ වන්දි ගැන කතා කරලා තිබුණා. පාසල් ළමුන්ගේ අභ්‍යාස පොත් සහ පෙළ පොත් විනාශ වෙලා තිබෙනවා නම් ඒ ගැන මට කියන්න.

සහන කෝ… ගංවතුරේ බැහැගෙන විපක්‍ෂය - ප්‍රමිත සටනක

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා- අපි රජයක් විදිහට මේ වැඩේ හරියට කරන්න ඕනෑ. ඒ ක්‍රමය අවභාවිත කරන්න දෙන්න පුළුවන්කමක් නෑ. ගෙදර ගහක පොල් ගෙඩියක් වැටිලා ඇස්බැස්ටෝස් තහඩුවක් කැඩුණොත් ඒකටත් රජය වන්දි දෙන්න ඕනා. එහෙම ක්‍රමයක් මේ රටේ තිබෙන්නේ.

අපි එක තැනක රුපියල් ලක්ෂය ගාණේ ස්ථාන 18කට වන්දි දුන්නහම, හවසට ගල් බෝතලයයි, කුකුළයි අරගෙන පාටි දාපු ගෙවල් තිබෙනවා. මේක අපි නවත්වන්න ඕනා. (සභාවේ ඝෝෂා) මේ ආපදාව වූ වෙලාවේ සිට සහන දුන්නා. වන්දිත් දෙනවා. ඒ මේ චණ්ඩිපාට් දාපු නිසා නොවේ.

හර්ෂණ රාජකරුණා මහතා- ආපදාවලට ලක්වෙන ප්‍රදේශවලටත් වන්දි දෙන්න. අරක්කු බොන අයත් ඇති. නමුත් අපිට පේන්නේ රජයෙන් සාධාරණ වන්දියක් නොලැබෙන බවක් තමයි. ජනතාවට වන්දි දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලනවා.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා- ජනාධිපතිතුමා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා. හමුදාව දාලා ඒ අවශ්‍ය උපකාරත් කරනවා. ඒ නිසා ලකුණු දාගන්න මෙතන කෑගහන්න එපා. මේ ආපදාවේදී ආහාර දීමනා ලබා දීමට අපි සියයට 33කින් මුදල් වැඩි කළා. වියළි සලාක මල්ල දෙන එක අපි සියයට 40කින් වැඩි කළා. කිරිපිටි, තේ සහන මධ්‍යස්ථානවලට දුන්නා. මම කියන්නේ චණ්ඩි පාට් දාන්න එන්න එපා. ආපදා සහන අවභාවිත කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

එස්.එම්. මරික්කාර් මහතා- මේ රක්ෂණ වන්දි වැඩපිළිවෙළ එදා ආරම්භ කළේ වත්මන් ජනාධිපතිතුමායි. අපි ඉල්ලීමක් කළේ, චණ්ඩි පාට් දැම්මේ නෑ. මේ ගංවතුරට යටවුණු ගෙවල් සුද්ධ කරගන්නයි සහන ඉල්ලන්නේ.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා- ඔහොම කලින්ම කතා කළා නම් ඉවරයි. අපි දෙන්න ඕනා සහන දෙන්න කටයුතු කරලා ඉවරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා- මේ මන්ත්‍රීතුමාලාගෙන් පිටවෙන්නේ ජනතාවගේ වේදනාවයි. පිසූ ආහාර සහ වියළි ද්‍රව්‍ය ලබා දෙන්න වෙන් කරන මුදල තවම වැඩි කරලා නෑ. ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරලා නෑ. ඒ නිසා එම මුදල චක්‍රලේඛයක් හරහා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවන්න.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා- අපි සූම් මගින් මේ වැඩි කිරීම් ගැන නියෝගය දැනුම් දීලා තිබෙන්නේ. අපි දීපු රුපියල් මිලියන 160ක් තිබෙනවා වියදම් නොකළ මුදල්.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment