ඉදිරි ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මසකටත් වඩා අඩු කාලයකි. ජනපතිවරණ සටන මේ වනවිට ඉතා උණුසුම් තත්ත්වයට පත්ව ඇත. දේශපාලන වාසි අපේක්ෂාවෙන්, එනම්, තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ අරමුණින් ජනපති අපේක්ෂකවරු සහ ඒ ඒ පක්ෂවල නියෝජිතයෝ ඡන්දදායක මහජනතාව ඉලක්ක කරගෙන නොයෙකුත් ප්‍රකාශ කරමින් සිටිති. මේ වනවිට රට තිබෙන තත්ත්වය අප අවබෝධ කරගත යුතුය. එනම් ආර්ථික අර්බුදයෙන් රට යම් තරමකට මිදී ඇති බව ඇත්තය. එහෙත් ආර්ථික අර්බුදයෙන් තවමත් රට මුළුමණින්ම මිදී නැති බව අප තේරුම් ගත යුතුය. ඒ සඳහා තවදුරටත් අප සිහිනුවණින් ඉදිරියට ගමන් කළ යුතුව තිබේ. මැතිවරණය හමුවේ ජනපති අපේක්ෂකවරුන් කුමන දේ කීවත් පොදු ජනතාවට සැබෑ සහනයක් සැලසෙනු ඇත්තේ 2022 වසරේදී අප මුහුණ දුන් ආර්ථික අගාධයෙන් තවදුරටත් රටත්, ආර්ථිකයත් යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පමණකි. ඒ නිසා මහ බැංකුව ද ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය තවදුරටත් ස්ථිරසාර ස්ථායිතාවකට පත් කර ගැනීමට නම් ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමට අනුගමනය කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ද අනුගමනය කරමින් දැනට ගමන් කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්ති දිශානතියේ අඛණ්ඩව ගමන් කළ යුතු බවයි.
මේ නිසා ඉදිරි ජනපතිවරණය හමුවේ කවර අපේක්ෂකයෙක් නව ජනාධිපතිවරයා ලෙස පත් වුවත්, ඒ අනුව ඔහු සමග කටයුතු කිරීමට කවර අමාත්‍ය මණ්ඩලයක් බලයට පත් වුවද එම අනාගත රජය ප්‍රමුඛතාව ලබාදිය යුතු ප්‍රධානම කරුණ වන්නේ ආර්ථිකය තවදුරටත් යථා තත්ත්වයට පත් කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට මිස අනෙකකට නොවේ. ඒ සඳහා ඒ ඒ ජනපති අපේක්ෂකයන්ගේ හෝ පක්ෂවල ප්‍රතිපත්ති වෙනස්කම් බාධාවක් නොවිය යුතු බවද අවධාරණය කළ යුතු වේ. ප්‍රායෝගික යථාර්ථය නම් නොයෙකුත් දේශපාලන පක්ෂවල සහ අපේක්ෂකයන්ගේ ප්රතිපත්තිවල යම් යම් වෙනස්කම් ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑමට බාධාවක් නොවන්නේ නම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නොගැලපෙන තැන් සාකච්ඡා කර ඉදිරි එකඟතාවන් ඇති කරගෙන ආර්ථික ගමන් මගේ පෙරට යෑමට හැකියාවක් ලැබෙන්නේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ක්‍රියාත්මක කරමින් තිබෙන වත්මන් වැඩසටහනට බලපෑමක් ද නොවනු ඇත. එසේ නම් ආර්ථිකය තවදුරටත් යථා තත්ත්වයට පත් කර ගැනීමේ ප්රයත්නයට ද බලපෑමක් සිදු නොවනු ඇත. ඒ නිසා පවතින අයි.එම්.එෆ්. වැඩසටහන දශමයකින් හෝ වෙනස් කළ නොහැකි බවට පළ වන දේශපාලන අදහස් යථාර්ථවාදී නොවන බව මේ වනවිට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රකාශවලින් ද තහවුරු වී ඇත. එනම් අනාගතයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට වෙනත් ජනපති අපේක්ෂකයෙක් බලයට පත් වුවත් එම රජයේ ප්‍රතිපත්ති වෙනස්කම් අයි.එම්.එෆ්. සමග සාකච්ඡා කර නව එකඟතාවන්ට ද එළඹීමට හැකිවනු ඇත. බරපතළ ගැටලුවක් මතුවනු ඇත්තේ දැනට පවතින අයි.එම්.එෆ්. වැඩසටහනින් ඉවත් වීමට තුඩුදෙන ආකාරයේ වෙනස්කම් සිදු කිරීමට ගියහොත්ය. එසේ වුවහොත් ආර්ථිකයට බලවත් අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇති නිසාත්, ඒ නිසාම පොදු ජනතාවට ද බලවත් පීඩාවකට පත්වීමට ද සිදුවනු ඇති නිසාත් ‘අනාගත රජය’ ද පවතින මූල්‍ය අරමුදලේ වැඩසටහනින් ඉවත් වනු ඇතැයි සිතීමට අපහසුය. අනිත් අතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කරන්නේද යම්කිසි රටක පවතින රජය සමග මිස ඒ ඒ දේශපාලන කණ්ඩායම් සමග නොවේ. ඒ නිසා ඉදිරි ජනපතිවරණයෙන් පසුව පත්වන නව රජය සමග වත්මන් මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යෑම ගැන සාකච්ඡා පැවැත්වෙනු ඇත.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් අගෝස්තු 22 වැනිදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පහත ප්‍රකාශය කළ බවට ඊයේ (23දා) පුවත්පත් ඇතුළු මාධ්‍ය වාර්තා කර තිබුණි.
‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගෙන තිබෙන ගිවිසුම සම්බන්ධව නැවත සාකච්ඡා කිරීමට සූදානම් බව ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් වේදිකාවල පැවැසුවද එවැන්නක් සිදු කිරීමට යෑමෙන් වන්නේ රටට ලැබීමට තිබෙන මුදල් අහිමිව, නැවත රටේ ආර්ථිකය කඩා වැටීමයි’.
ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයේ යම් සත්‍යයක් තිබුණ ද මෙය පූර්ණ සත්‍යයක් නොවන බව අපගේ විශ්වාසයයි. එනම් අයි.එම්.එෆ්. වැඩසටහන සකස් කර ඇත්තේ රට 2022 මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මුදා ගැනීමට වන නිසා ආර්ථිකයේ ඇතිවන නව වර්ධනයන් සමග සාකච්ඡා කර නව එකඟතාවන්ටද එළඹීමට හැකියාව ලැබෙනු ඇත. මේ නිසා අයි.එම්.එෆ්. එකඟතා සම්බන්ධයෙන් අනාගත රජයට මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කිරීමට හැකියාවක් තිබේ. උදාහරණයක් වශයෙන් වැට් බදු ප්‍රතිශතය අඩු කර වෙනත් මාර්ගවලින් බදු ආදායම් වර්ධනය කිරීම ගැන අනාගත රජයකට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට බාධාවක් තිබීමට හේතුවක් නැත. ඒ නිසා අයි.එම්.එෆ්. එකඟතා දේව වාක්‍ය මෙන් කිසිසේත්ම වෙනස් කළ නොහැකි ඒවා බව යමෙක් කියන්නේ නම් එය ඇත්තක් නොවේ.
යම් යම් කණ්ඩායම් ඉලක්ක කර රජයෙන් සහන ලබාදෙන බවට ජනාධිපතිවරණ වේදිකාවලින් අපට නොයෙකුත් ප්‍රකාශ අසන්නට ලැබේ. එහෙත් මෙහිදී අප ඉතා සරලවම කියන්නේ සහන ලබාදිය යුත්තේ පොදු ජනතාවට බවයි. ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීම සඳහා අනුගමනය කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හමුවේ රටේ අතිමහත් බහුතර පොදු ජනයා විශාල ආර්ථික පීඩාවකට මුහුණ දී සිටී. ඔවුන් ජීවත් වන්නේ ඉතා අමාරුවෙනි. ඒ සඳහා නොයෙකුත් කණ්ඩායම් ඉලක්ක කරගෙන සහන සලසනවාට වඩා වැදගත් වනු ඇත්තේ පොදු ජනතාවට සහනයක් සැලසීම බව අපි රජයට අවධාරණය කරමු.