සහරා ප්ලෑෂ් ප‍්‍රසංගයට පහරදුන් දෙදෙනෙක් අත්අඩංගුවට

319

නිවිතිගල පොදු කී‍්‍රඩාංගණයේ ”සහරා ප්ලෑෂ්” සංගීත කණ්ඩායම සහභාගි වූ සංගීත ප‍්‍රසංගයක් අවසානයේදී එම සංගීත කණ්ඩායමේ වාදන හා විද්යුත් භාණ්ඩවලට පහරදී රුපියල් ලක්‍ෂ 14 කට අධික අලාභයක් සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි නිවිතිගල පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසීය.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 24 හා 32 යන වයස්වල පසුවන දෙල්වල හා නිරිඇල්ල යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවද හෙතෙම කීය.

මෙම සිද්ධිය සිදුවූයේ 09 වැනිදා රාති‍්‍රයේදීය.

එදින රාති‍්‍ර 11.30 ට පමණ සංගීත ප‍්‍රසංගය අවසන් කිරීම සම්බන්ධයෙන් කෝපයට පත් පිරිසක් වේදිකාවට පහරදී තිබේ. එහිදී ”සහරා ප්ලෑෂ්” සංගීත කණ්ඩායමේ වාදන හා විද්යුත් භාණ්ඩවලට පහරදී ඇත.

එහිදී සංගීත කණ්ඩායමේ සාමාජිකයන්ව සංවිධායක මණ්ඩලය විසින් ආරක්‍ෂිතව රැගෙන ගොස් තිබේ.

කෝපයට පත් පිරිස් කී‍්‍රඩාපිටිය වටකර තිබූ ටකරන් හා යකඩ බට ද ගලවා ඇතැයි පොලිසිය කියයි.

එසේම සංගීත ප‍්‍රසංගය සඳහා නර්තනයන් ඉදිරිපත් කළ නර්තන ශිල්පිනියන්ගේ ඇඳුම් බෑග් කීපයක් ද සොරාගෙන ගොස් තිබූ අතර පසුව ඒවා සොයාගත් බවද පොලිසිය කියයි.

තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

දැනටමත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10 දෙනකුගෙන් පොලිසිය ප‍්‍රකාශ සටහන් කරගෙන ඇත.

නිවිතිගල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන් පාලිත මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment