සහල් තොග පවත්වාගෙන යෑමට  වහාම ක්‍රමවේදයක් හැදිය යුතුයි – වී මෝල් හිමියෝ රජයට කියති

110

රට සාගතයකට මුහුණ දෙන බව කියමින් රජයේම ඇතැමුන් ජනතාව බිය වැද්දීම නිසා වී තොග ගෙවල්වලම  රැස්කර ගැනීමට ඇතැම් පිරිස් පියවර ගනිමින් සිටින බැවින් නිසි ක්‍රමවේදයක් යටතේ සහල් තොග පවත්වාගෙන යෑමට රජය වහා මැදිහත් විය යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ කියති.

විවිධ ප්‍රදේශවලින් එන පිරිස් වී තොග මිලදී ගැනීමට පෙළඹී ඇත්තේ අනවශ්‍ය ලෙස හාල් හිඟවන බවට ජනතාව තුළ බයක් ඇති කිරීම නිසා යැයි පවසන මෝල් හිමියෝ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී තොග ඇත්තේ තවත් සති දෙක තුනකට පමණකැයි ද කියා සිටිති.

මීට වසර අටකට පමණ පෙර රට තුළ ක්‍රියාත්මක වූ වී මෝල් 10,000 කින් 7000 ක් පමණ වැසී ගොස් ඇතැයි ද අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෝල් 700 කින් දැනට ඉතිරිව ඇත්තේ මෝල් 70 ක් පමණක් යැයි ද ඔවුහු කියා සිටිති.

සාගතයක් සහ හාල් හිඟයක් කියමින් ජනතාව බියට පත් කිරීම නිසාම අනවශ්‍ය ලෙස වී තොග රැස් කිරීම නිසා හිඟය දරුණු විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

රජය මැදිහත් වී නිසි වැඩපිළිවෙළක් සකසන්නේ නම් හාල් මිල රුපියල් 200 – 250 ත් අතර පවත්වාගෙන යා හැකි බවත්, මේ ආකාරයෙන් මහජනතාව කළඹන ආකාරයට කටයුතු කළහොත් හාල් බෙදාහැරීමේ ලොරි කොල්ලකෑමට පවා ඉඩ ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment