හර්ෂණ රාජකරුණා (සජබ)
සහල් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ යුගයේ සිද්ධ වුණ දේම අද ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාලසීමාවේදී ද සිදුවෙමින් පවතිනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හර්ෂණ රාජකරුනා මහතා මෙසේ පැවැසීය.
වියත් මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අවුරුදු දෙකකින් ගෙදර යන්න සිද්ධ වුණා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ළඟ සිටින්නෙත් බොරුකාරයන් පිරිසක්ද කියලා අපිට සැකයක් මතුවෙනවා. එම නිසා ජාතික ජන බලවේගයේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර තිබෙන පිරිස වෙනුවෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෝඨා පාට් ටූ ද මේ ගෙන යන්නේ කියන ප්‍රශ්නය ගැටලුව අපට මතුවෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාල සිමාවේදීත් රටේ හාල් ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා හාල් මෝල් හිමියන් හමුවෙලා සාකච්ඡා කළා. හාල් මෝල් හිමියන් සහල් සඟවාගෙන සිටින බව ප්‍රකාශ කළා. මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ ගබඩා පරීක්ෂා කළා. අදත් සිදුවෙන්නේ මේ සිද්ධි මාලාවම තමයි. අනුර දිසානායක ජනාධිපතිවරයාත් හාල් මෝල් හිමියන් හමුවෙලා සාකච්ඡා කළා. මහා පරිමාණ හාල් මෝල් හිමියන්ගේ ගබඩා පරීක්ෂා කළා. නමුත් සහල්වල මිල අඩුවෙලා නැහැ. වෙළෙඳ පොළ තුළ රටේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය නැහැ. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රඟ දැක්වූ රංගනයම අනුර දිසානායක ජනාධිපතිවරයාත් රඟ දක්වන බව අපට පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා හාල් ඇටයක් පිටරයින් ගේන්නේ නෑ කියලා. ඒ කතාවම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතාත් ප්‍රකාශ කළා. නමුත් හාල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයනය කරන්න වර්තමාන රජය කටයුතු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ යුගයේ සිද්ධ වුණ දේම අද ජනාධිපති අනුර දිසානායක මහතාගේ කාලසීමාවේදී සිදුවෙමින් පවතිනවා. රටේ ජනතාව නැවත රැවටුණා. ජනතාව බලාපොරොත්තු වුණ දේ අද වර්තමාන පාලකයින් ඉටු කරනවාද කියලා අපි ජනතාවගෙන් අහන්න කැමැතියි. ඒ නිසා රටේ ජනතාවට අවශ්‍ය වන සහල් අඩු මුදලට, ජනතාවට දරාගත හැකි මිලකට ලබාදෙන්න රජය වහාම පියවර ගත යුතුයි.
ඒ වගේම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව තිබෙන සහල් ප්‍රමාණය වෙළෙඳ පොළට නිකුත් කරගන්න බැරිව ජාතික ජනබලවේගය කොහොමද ලංකාවෙන් හොරකම් කළ සල්ලි නැවත රටට ගේන්නේ. ඒ නිසා පිටරට තියෙන සල්ලි ලංකාවට ගේන්න කලින් මහා පරිමාණ වී මෝල් හිමියන් හංගගෙන ඉන්නවා කියන සහල් ටික වෙළෙඳපොළට නිකුත් කරලා අඩුමිලට ජනතාවට සහල් ලබාදෙන්න කටයුතු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වනවිට රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වී ජීවත් වීමට නොහැකි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා රජය අඩු කරන බව පැවැසු බදු අඩු කර ජනතාවට සහනයක් ලබාදිය යුතුයි. එසේ නැතිනම් භාණ්ඩ මිල අඩු කර ජනතාවට සහනයක් ලබාදෙන්න කටයුතු කළ යුතුයි.
ඒ වගේම සමගි ජනබලවේග ආණ්ඩුවක් වර්තමානයේ රටේ තිබුණානම් 2025 වර්ශයේදී ඉදිරිපත්කරන අයවැය හරහා රටේ ජනතාවට ලබාදිය හැකි සියලුම සහන ලබාදීමට කටයුතු සිදුකරනවා. නමුත් රටේ ජනතාව සමගි ජන බලවේගයට ආණ්ඩු බලයක් ලබාදීමට කටයුතු කළේ නෑ. ඒ වගේම වර්තමාන රජය ප්‍රකාශ කළා ඉන්ධන මිල සූත්‍රය අහෝසි කරනවා කියලා. නමුත් අපි එවැනි දේවල් ප්‍රකාශ කළේ නෑ. නමුත් ඉන්ධන සඳහා සහනයක් රටේ ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා කියලා සමගි ජනබලවේගය පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රයට විරුද්ධ වුණ කණ්ඩායම අද රටේ පාලන බලය ලබාගෙන තිබෙනවා. ඒ නිසා ඔවුන් ප්‍රකාශ කළ යුතුයි ඉන්ධන සඳහා සහනයක් ලබාදිය හැකිද නොහැකිද කියලා. ඒ නිසා ජාතික ජන බලවේග ආණ්ඩුව මැතිවරණ වේදිකාවල ලබාදුන්න පොරොන්දු ඉටු කරන තුරු රටේ ජනතාට බලාගෙන සිටිනවා.